ෆේස්බුක් ජනමාධ්‍ය ව්‍යාපෘතිය සහ විමර්ශනාත්මක වාර්තාකරණ මධ්‍යස්ථානය ඒකාබද්ධව ඩිජිටල් සාක්ෂරතා වැඩසටහනකට මුල පුරයි.

0
279

2020 දී ශ්‍රී ලාංකික මාධ්‍යවේදීන් 300 කට පුහුණු අවස්ථා

සිංගප්පූරුව/ කොළඹ: ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින මාධ්‍යවේදීන් 300 කට අධික පිරිසක් පුහුණු කිරීම සඳහා ෆේස්බුක් ජනමාධ්‍ය ව්‍යාපෘතිය සහ විමර්ශනාත්මක වාර්තාකරණ මධ්‍යස්ථානය (සීඅයිආර්) හවුල් වැඩසටහනක් ආරම්භකර තිබේ.

 ‘ජනමාධ්‍යවේදීන් සඳහා ෆේස්බුක් පදනම්’ නමින් පැවැත්වෙන මෙම පුහුණු වැඩසටහන, අන්තර්ජාලය ඔස්සේ සිදුකරණ සතියකට පැය තුනක පුහුණුවාරය බැගින් සති තුනක කාලයක් තිස්සේ පැවැත්වේ. සහභාගිවන්නන්ට සිංහල හෝ දෙමළ භාෂාවෙන් පුහුණුව ලැබීමට අවකාශ හිමිවේ.

ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්ගේ එදිනෙදා කාර්යයන්ට සහාය වීමේ සැසි කිහිපයක්ම මෙම පුහුණුවට ඇතුළත් වේ. ඵලදායී ලෙස කතන්දර කීම සඳහා ඔන්ලයින් වේදිකාව භාවිත කිරීම, ෆේස්බුක් හි ජනමාධ්‍යවේදීන් සඳහා හඳුන්වාදී ඇති යහ භාවිතයන් සහ ෆේස්බුක් ප්‍රජා ප්‍රමිති මාලාව, අන්තර්ජාල භාවිතයේදී ආරක්‍ෂාව සලසාගැනීම යනාදී විෂය ක්ෂේත්‍රයන් ඊට ඇතුළත්ය. 

ෆේස්බුක් හි ආසියා පැසිපික් කලාපීය ප්‍රවෘත්ති හවුල්කාරිත්වයේ අධ්‍යක්ෂ අංජලී කපූර් මේ පිළිබඳව අදහස් දක්වමින් පවසන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රවෘත්ති ප්‍රජාවේ ධාරිතාවයට සහය දැක්වීමට සහ ප්‍රවෘත්ති පරිසර පද්ධතියට සහය වීමට සීඅයිආර් සමඟ හවුල් වීමට ලැබීම ගැන ආඩම්බර වන බවයි.

ජනමාධ්‍යවේදීන් ඇතුළු විවිධ පුද්ගලයින් දිනපතා ෆේස්බුක් වෙත පැමිණෙන බැවින්, මූලික ආරක්ෂක අංග, යහ භාවිතයන් සහ ප්‍රජා ප්‍රමිතීන් ඇතුළු ඊට අදාළ ප්‍රතිපත්ති ඉගෙන ගැනීම වැදගත්යයි මෙවැනි පුහුණු වැඩසටහනක් ක්‍රියාවට නැංවීමේ අරමුණු පැහැදිළි කරමින් විමර්ශනාත්මක වාර්තාකරණ මධ්‍යස්ථානයේ (සීඅයිආර්) විධායක අධ්‍යක්ෂිකා දිල්රුක්ෂි හඳුන්නෙත්ති පවසයි.

“ක්ෂේත්‍රයේ නියැලී සිටින සන්නිවේදකයන් වශයෙන්, මාධ්‍යවේදීන්ට අවම වශයෙන් අන්තර්ජාල ආරක්ෂාව පිළිබඳ සාමාන්‍ය අවබෝධයක් තිබිය යුතුයි. වෛරී ක්‍රියාවන්ට සහ සාවද්‍ය තොරතුරුවලට ප්‍රතිචාර දැක්විය යුතු ආකාරය සහ ප්‍රශ්නකාරී අන්තර්ගතය සලකුණු කිරීමේ යාන්ත්‍රණයන් පිළිබඳ සාමාන්‍ය අවබෝධයක්වත් තිබිය යුතුයි,” ඇය පවසයි .

ෆේස්බුක් ජනමාධ්‍ය ව්‍යාපෘතිය ලොව පුරා ප්‍රකාශකයන් සමඟ කටයුතු කරන අතර මාධ්‍යවේදීන් සහ ඔවුන් සේවය කරන ප්‍රජාවන් අතර සම්බන්ධතාවය ශක්තිමත් කිරීම සඳහා ක්‍රියාකරයි.

සීඅයිආර් යනු මෙරට සහ දකුණු ආසියානු කලාපය තුළ පුවත්පත් කලාවේ විමර්ශනාත්මක වාර්තාකරණය විශිෂ්ටත්වයට ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ මුල්වරට පිහිටවනු ලැබූ මධ්‍යස්ථානයි. එය ජනමාධ්‍යවේදීන්ගේ විමර්ශනාත්මක කුසලතා වැඩි දියුණු කිරීම සහ විමර්ශනාත්මක කතන්දර අන්තර්ගතය සංවර්ධනය කිරීම වෙනුවෙන් කැපවී ක්‍රියාකරයි.

ෆේස්බුක් පුහුණුව සඳහා උනන්දුවක් දක්වන අයට පහත අයදුම්පත සම්පූර්ණ කිරීමෙන් අන්තර්ජාලය ඔස්සේ ඉල්ලුම්පත් ඉදිරිපත් කළ හැකිය: https://cir.lk/category/opportunities/