Sunday, June 7, 2026
27.8 C
Colombo

සංක්‍රමණික ශ්‍රමිකයන්ට තරුණයෙකුගෙන් පණිවිඩයක් ! සැලසුම් කළොත් ජීවිතය ජයගන්න පුළුවන් !

ඡායාරූපය – HRZ වෙබ් අඩවියෙනි.

“කොල්ලෙකුට කොරියාවේදී සල්ලි වියදම් කරන්න ඕන තරම් අවස්ථා තියෙනවා. සමහර වෙලාවට අපි නොදැනුවත්වමයි ඒවට ඇදිලා යන්නේ. ඒත් මම කොරියාවේ රැකියාවට ගියේ බලාපොරොත්තු ගොඩක් තියාගෙන. ඒ නිසා අතට ගන්න මුදල පරිස්සමෙන් කළමනාකරණය කිරීම ගැන මුල සිටම අවධානය යොමු කළා.”

                                  ඔහු නමින් නන්දන යාපා බණ්ඩාර තවමත් තිස් හැවිරිදි තරුණයෙකි. මේ වන විට කුඩා ව්‍යවසායකයෙකි. එසේම ජීවිතය ජය ගැනීමට වෙර දරන්නට ආදර්ශයට ගත හැකි සංක්‍රමණික ශ්‍රමිකයෙකි. 

ඡායාරූපය – HRZ වෙබ් අඩවියෙනි.

වරෙක වැරදෙමින් ද, නැවත ඒ වරද නිවැරදි කර ගනිමින් ද, ඊළඟට තමන් කරන දෙය තුළ නැවත වරදකට ඉඩක් නොතබමින් ද, අනාගත අවධානමට කල්තියා සූදානම් වෙමින් ද, සැලසුම් සහගතව ඔහු මෙතෙක් පැමිණ ඇති ගමන සංක්‍රමණික ශ්‍රමිකයෙකු ලෙස විදෙස් ගතවීමේ අපේක්ෂාවෙන් සිටින තරුණයෙකු හෝ තරුණියකට අපූරු මාර්ගෝපදේශයක් වැන්න.

                                        “මට රස්සාවක් තිබුණේ නෑ. අපි වගේ අයට ලංකාවේදී කරන්න පුළුවන් ලේසිම රස්සාව ත්‍රීවීල් රස්සාව. ඉතින් මටත් ත්‍රීවීලයක් ගන්න ඕනෑ වුණා.ඒත් මට ත්‍රීවීල් එකක් ගන්න වත්කමක් තිබුණේ නෑ. ඒ නිසා අනුන්ගේ ත්‍රීවිල් එකක් ඉල්ලගෙන කුලී පදනමට හයර් දිව්වා. ටික කාලයක් ඒ රස්සාව කරන කොට මට තේරුණා මේකෙන් මගේ දියුණුවක් ඇති වෙන්නේවත්, මගේ ආර්ථිකය ශක්තිමත් වෙන්නේවත් නැති බව.”

                                        “ත්‍රීවිල් රස්සාව කරන කොට සමාජය අපි දිහා බලන්නේ වැරදි කෝණයකින්. ඒක වෙනස් කරන එකත් එච්චරම පහසු නෑ. අනික, ඒ වනවිට අපේ කට්ටියත් මත්ද්‍රව්‍ය සහ වෙනත් නොමනා කටයුතු වලට ඇබ්බැහි වෙමින් තිබුණේ. මට ඒ ජීවිතයෙන් ගොඩ ඒමේ උවමනාවක් තිබුණා. මේ වගේ විවිධ හේතු කීපයක් එක්කයි මම සුපුරුදු රැකියාව අත්හැර දාලා විදේශ රැකියාවකට යන්න තීරණය කළේ.”

                                        “විභාගයට ලියලා. සම්මුඛ පරීක්ෂණයට ඉදිරිපත් වෙලා විදේශගත වීම දක්වා කාලය තුළ මම මහන්සි වෙලා වැඩිදුරටත් කොරියානු භාෂාව ඉගෙන ගත්තා. මම හඳුනාගෙන තිබුණ මගේ අඩුපාඩු සම්පූර්ණ කරගන්න ඒ කාලය උපරිම වශයෙන් කාලය ප්‍රයෝජනයට ගත්තා. ඒ වෙච්ච මහන්සිය කොච්චර වටිනවද කියල තේරුණේ කොරියාවට ගියාට පස්සෙයි.”

                                        ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ දත්ත අනුව, 2018 – 2022 පස් වසර තුළ එම කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ ගතවී ඇති ශ්‍රමිකයින්ගේ සංඛ්‍යාව 901,952 කි. ඔවුන් අතරින් සියයට 61.33% ක් පිරිමිය. ඉතිරි 38.66% කාන්තාවෝය. එම පිරිස අතර 20% ක්ම අයත් වන්නේ කිසිදු පුහුණුවක් ලබා නැති නුපුහුණු ශ්‍රමිකයින්ගේ ගණයටය. ලියාපදිංචි නොවී විවිධාකාර ක්‍රම මගින් රැකියා සඳහා විදෙස් ගතවන්නන්ගේ සංඛ්‍යාවද මෙයට එක් වූ විට නුපුහුණු ශ්‍රමිකයන්ගේ සංඛ්‍යාව තවත් ඉහළ යන බව රහසක් නොවේ.

                                        සංක්‍රමණික ශ්‍රමිකයෙකු ලෙස විදේශගත වීමට පෙර ඔබ සිතා බැලිය යුතු කරුණු කාරණා ගණනාවක් විදේශ සේවා නියුක්ති කාර්යංශය විසින් හඳුන්වා දී ඇත. ඒ අනුව ඔබ සංක්‍රමණය වීමට තීරණය කිරීමට පෙර ඔබ එහිදී කිරීමට බලාපොරොත්තු වන රැකියාවේ ආරක්ෂිතභාවය තහවුරු කර ගත් යුතුයි. විදේශ රැකියා නියෝජිතයා විශ්වාසදායක දැයි ද ඔබ පරික්ෂා කර ගන්නේ කෙසේද. ඔබ වඩාත් විමසිල්ලෙන් සොයා බැලිය යුතුය ඒ සම්බන්ධව ඇති මූලාශ්‍ර තොරතුරු හා ඔවුන්ගේ ලියාපදිංචි පිළිබඳව ද ඔබ වඩාත් නිවැරදි තොරතුරු සොයා ගත යුතු වේ. රටේ ලියාපදිංචි නොවී වෙනත් ක්‍රම මාර්ගයෙන් මුදල් ඉපයීමේ පරමාර්ථයෙන් පවත්වාගෙන යන හොර ඒජන්සි බහුලව ඇත. ඒ වගේම ඔබ විදේශ ගමන් බලපත්‍රයක් සාදා ගන්නේ කෙසේද. විදේශ ගමන් බලපත්‍රයක් යනු කුමක්ද. වීසා බලපත්‍රයක් යනු කුමක්ද. එය ලබා ගන්නේ කෙසේද. ෂෙන්ගන් වීසා හා වැඩ බලපත්‍රයක් ලබා ගන්නේ කෙසේද පිලිබඳවත්. පවුල් පසුබිම් වාර්තාව යනු කුමක්ද. සෞඛ්‍ය ඇගයීම. රැකියා කොන්ත්‍රාත්තුව. රැකියා ගිවිසුම. රැකියා ගිවිසුම ගැන ඔබ දැනගත යුතු කරුණු හා විදෙස් සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වන්නේ කෙසේද. ඔබ කරන රැකියාවේ ස්වභාවය අනුව ඔබ ලබාගන්නා පුහුණුව පිළිබඳ නිවැරදි තොරතුරු දැන සිටීම ඔබට මහත් පිටුවහලක් වේ. මේ සදහා ඔබට මග පෙන්වීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය සැදී පැහැදී සිටියි.    

                                         ඔබ කුමන ක්‍රමවේදයකට විදේශ ගත වුවත් ශ්‍රී ලංකාව තුළ ඉන්නා ඔබේ සමීපතමයන් නෑදැයින් හිතමිත්‍රාදීන් ඔබට තනිකර දමා රැකියාවට යා යුතුය. එහෙත් ඔබ මුදල් ඉපයීමේ පරමාර්ථයෙන් විදේශ ගත වුවත් ශ්‍රී ලංකාවේ ඔබ වඩාත් ආදරේ කරන දරුවන් දෙමාපියන් ගේ ආරක්ෂාව ද සුරක්ෂිත කිරීම ඔබට පැවරෙන තවත් වගකීමකි. ඔබ මුදල්ම ඉපයීමේ පරමාර්ථයෙන් ඔබ විදේශගත වී ඔබ නැවත පැමිණෙන විට ඔවුන්ගේ ජීවිත විනාශ වී අයාලේ ගොස් තිබුණේ නම් උපයන මුදල් වල නිසි වටිනාකමක් ඔබට නොලැබෙනු ඇත.

                                        නන්දනටත් විදෙස් ගතවීමේ උවමනාව තිබූ නමුත් ඔහු බොහෝ තරුණ තරුණියන් මෙන් රැකියා ඒජන්සියකට මුදල් බඳිමින් හැකි ඉක්මනින් විදේශ ගතවීමේ සිහිනය පසුපස හඹා ගියේ නැත. ඔහු මුලින්ම කළේ තමන් හරිහැටි නොදන්නා අලුත් රැකියා ක්ෂේත්‍රය ගැන හොඳින් සොයා බැලීමය.

                                        “විදේශ රැකියා වලට ගියපු අය අතරේ ජීවිතේ සාර්ථක කරගත් අය වගේම වරද්දවා ගත් අයත් ගොඩක් ඉන්නවා. මට ඕනෑ වුණා වරදින්නේ නැතුව, ඒ ගමන යන්න. ඒ ගැන කරුණු සොයා බැලීමේදී විධිමත් ලෙස ලියාපදිංචි වීමත්, තමන් රැකියාවේ යෙදෙන්න යන වෘත්තීය ක්ෂේත්‍රය ගැන මනා පුහුණුවක් සහිතව යාමත් ඉතාම වැදගත් බව මට තේරුම් ගියා.”

                                        “ඒ කාලේ තරුණයින් සඳහා වැඩිම රැකියා අවස්ථා තිබුණේ කොරියාවේ. මමත් කොරියන් විභාගයට හොඳින් සූදානම් වෙලා විභාගය ලිව්වා. සමහර අය හිතාගෙන ඉන්නේ කොරියන් එක්සෑම් එක ලියපු  ගමන්ම රට යවනවා කියලා. ඒත් එහෙම වෙන්නේ නැහැ. අපේ තොරතුරු පරිගණකයට ඇතුලත් කරලා ඒ මාර්ගයෙන් තමයි අපි කොරියානු නියෝජිතයන් සමග සම්බන්ධ කරන්නේ. මගේ සුදුසුකම් සහ හැකියාවන් බලලා තමයි ඒ රටේ රැකියා සඳහා බඳවා ගත්තේ. පොරොත්තු ලේඛනය තුළ සිටි කාලය තුළදී අපට විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් හොඳ පුහුණුවක් ලබා දුන්නා. කොරියාවේ ගිහිල්ලා අපිට කරන්න තියෙන කටයුතු සම්බන්ධයෙන්, යන්ත්‍ර සූත්‍ර ගැන, ලියකියවිලි ගැන සහ විවිධ පැති ඔස්සේ නායකත්ව පුහුණුව වගේ විවිධ අංශ කිහිපයක්ම ගැන.”

                                        “කොරියාවේ තරුණ තරුණියන්ට මුදල් උපයන්න වගේම වියදම් කරන්නත් විවිධ අවස්ථා රැසක් තියෙනවා. අපේ සමහර තරුණ තරුණියන් මහන්සි වෙලා සෑහෙන මුදලක් අතට ගන්නවා ඒ වගේම එක රැයකදී සෑහෙන මුදලක් නාස්ති කරගන්නවා. ඒ රටවල් වල හැම දෙයක්ම දියුණුයි. සමහර ඒවට අහු වුනොත් අපි නැත්තටම නැති වෙනවා. මං දන්න සමහර තරුණ තරුණියන් හිටියා උපයපු මුදල් වලින් සෑහෙන ප්‍රමාණයක් නාස්ති කරගත්ත අය.”

                                        නන්දන නිරන්තරයෙන්ම අවධාරණය කිරීමට උත්සාහ කරන්නේ ඉපයීම මෙන්ම උපයන දේ පරිස්සමින් කළමනාකරණය කර ගැනීමේ අවශ්‍යතාවයයි. ඒ සඳහා තමා තුළ තිබූ ඉලක්කය මෙන්ම විදේශ රැකියා නියුක්ති කාර්යාංශයෙන් ලැබුණ පුහුණුව හා මාර්ගෝපදේශයද බෙහෙවින් උපකාරී වූ බව ඔහු සිහිපත් කරයි.

                                        විදෙස් ගත වී සිදු කිරීමට බලාපොරොත්තු වන රැකියාව පිළිබඳ මනා නිපුණතාවක් ලබා ගැනීම, ඒ පිළිබඳ NVQ මට්ටමේ සහතිකයක් හෙවත් ජාතික වෘත්තීය සුදුසුකම් සහතිකයක් ලබාගැනීම, පිළිගත් පොලිස් වාර්තා, රැකියා ගිවිසුම්, සංක්‍රමණ නීති, ගුවන් ටිකට්පත් සහ සංචාරක රක්ෂණ ආවරණ ආදී සියල්ල පිළිබඳව හොඳින් දැනුවත් වීමට එම පුහුණුව උපකාරීවන බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.

                                        වෘත්තීමය තත්ත්වය පිළිබඳ ජාත්‍යන්තර පිළිගත් මට්ටමේ සහතිකයක් ලබා ගැනීමට නම් NVQ 4 මට්ටමවත් තිබීම වැදගත් වේ. මෙවැනි කාරණා සම්බන්ධයෙන් සංක්‍රමණික ශ්‍රමිකයෙකුට හෝ ඒ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන අයෙකුට මතුවන ඕනෑම ගැටලුවකදී සහය වීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ 1989 ඇමතුම් සේවාව සූදානම්ය.

                                        ස්වෝත්සාහයෙන් මෙම තොරතුරු සොයාගෙන, එම තොරතුරු වලින් විපුල ප්‍රයෝජන දිනාගත් තරුණයෙකු වශයෙන් නන්දන යාපා බණ්ඩාර පවසන්නේ උනන්දුවක් ඇත්නම් මේ වන විට අන්තර්ජාලය හරහා ස්වභාෂාවන්ගෙන්ම බොහෝ තොරතුරු වලට ප්‍රවේශවීමේ අවස්ථාව පවතින බවයි.

                                        “තවමත් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචියකින් තොරව වෙනත් අනීතික මාර්ගවලින් හොර රහසේ විදේශ ගතවන තරුණ තරුණියන් විශාල සංඛ්‍යාවක් ඉන්නවා. එහෙම යන සංක්‍රමණිකයින් අතරින් ඇතැමෙකු එතෙරදී බරපතල ගැටළු වලට මුහුණ දෙනවා. තවත් සමහරු කපටි ජාවාරම්කරුවන්ගේ උගුල් වලට හසු වෙනවා. ඒවා රටක් වශයෙන් අවධානය යොමු කළ යුතු ගැටළු” බව ඔහු සඳහන් කරයි.

                                        ආරම්භයේ සිටම දැනුවත් සංක්‍රමණික ශ්‍රමිකයෙකු ලෙස විදේශ ගතවීමට වෑයම් කළ, වෙහෙස මහන්සියෙන් ඉපයූ මුදල් පරිස්සමින් කළමනාකරණය කරමින් අනාගතය වෙනුවෙන් යමක් ඉතිරි කරගත් නන්දන අද තරුණ ව්‍යසායකයෙකි. 

                                        “මම කොරියාවේ ගත කළේ අවුරුදු තුනයි. නැවත ශ්‍රී ලංකාවට ඇවිත් ඉතිරි කරගත් මුදල් ටිකෙන් යම් ආයෝජනයක් කරන්න ඕන කියලා මම තීරණය කළා. මට ඕන වුණේ  මගේම ව්‍යාපාරයක් ආරම්භ කරන්න. ඒකට සුදුසු තැනක් සොයාගෙන මම මගේම ව්‍යාපාර කටයුතු වෙනුවෙන් මහන්සි වෙන්න පටන් ගත්තා. මේ වනවිට පේරාදෙණියේ මගේ ව්‍යාපාරය ආරම්භ කරලා වසර කිහිපයක්. දැනට මගේ ව්‍යාපාරය තුළ තවත් කිහිප දෙනෙකුට රැකියා අවස්ථා සලසා දී තිබෙනවා.

ඡායාරූපය – HRZ වෙබ් අඩවියෙනි.

ව්‍යවසායකයෙකු වුවද ඔහු තවමත් කළමනාකාරුවෙකු පමණක් නොවේ. දවස පුරා මහන්සි වී වැඩ කරන සේවකයින් අතර ඔහු ද තවත් එක් සේවකයෙකි. නිදහසේ ඔහු ගැන අපට කියන්නට වේලාවක් සොයා ගන්නට විවේකයක් නැති තරමට තවමත් ඔහු අවිවේකීය. උදේ පාන්දරින් දඹුල්ලට ගොස් එළවළු තොග රැගෙන එන ඔහු ඇතුළු පිරිස දවස පුරා කඩිසරව තම ව්‍යාපාරික කටයුතුවල යෙදී සිටිති.

                                        මේ කතාව ඔබට ඉදිරිපත් කර ඇත්තේ විස්තරාත්මක ප්‍රතිචාර අපේක්ෂාවෙන්. ඔහු වෙත ඉදිරිපත් කළ සමහර ප්‍රශ්න වලට ඔහුගෙන් ලැබුණු කෙටි පිළිතුරු තවත් සංක්ෂිප්ත කරමිනි. එහෙත් ඔහු කියන සහ නොකියා කියන කතා තුළ තරුණයෙකුට ජීවිතයේ ඉලක්කයක් ඇතිකර ගැනීමටත්, සංක්‍රමණික ශ්‍රමිකයෙකුට වැඩිදුර සිතීමටත් වැදගත් කරුණු රැසක් අන්තර්ගතව ඇතැයි අපට සිතෙයි.

ලලන්ත වන්නිආරච්චි

මෙම වාර්තාව 2023 සැප්තැම්බර් මස 13 දින HRZ වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් කරන ලද වාර්තාවක උපුටනයකි.

Hot this week

From Sri Lanka to Gaza’s waters: Sameera’s chilling account of detention, defiance and hope

After days in detention and treating injured activists with...

Sri Lanka faces rising inflation and economic strain as rupee weakens against USD

Speed Read: Rupee slides past Rs. 350 as Sri Lanka...

Displaced Asian cybercrime operatives find a new operational home in Sri Lanka

Speed Read In coordinated cybercrime raids conducted within 24 hours,...

Sri Lanka Airbus probe shaken by ex-CEO’s death

Speed Read Ex-CEO of SriLankan Kapila Chandrasena found dead under...

Sri Lanka’s Treasury heist exposes gaps in debt management system and 24/7 security shield

Speed Read: A debt payment to Export Finance Australia was...

Topics

Sri Lanka faces rising inflation and economic strain as rupee weakens against USD

Speed Read: Rupee slides past Rs. 350 as Sri Lanka...

Displaced Asian cybercrime operatives find a new operational home in Sri Lanka

Speed Read In coordinated cybercrime raids conducted within 24 hours,...

Sri Lanka Airbus probe shaken by ex-CEO’s death

Speed Read Ex-CEO of SriLankan Kapila Chandrasena found dead under...

Sri Lanka hit by fuel storage capacity, not supply

Speed read Sri Lanka’s fuel system is constrained by limited...

Sri Lanka’s air quality crisis: where data gaps meet drifting pollution

Speed read In Sri Lanka, air quality consistently deteriorates between...

Related Articles

Popular Categories