Wednesday, May 13, 2026
23.9 C
Colombo

ගංවතුරේ පාවෙන ජා-ඇල ජීවිත

2024 වසරේ මාස හයක් තුළ ගංවතුර අවස්ථා තුනක්…

ඔක්තෝබර් ගංවතුරෙන් පවුල් 2,977ක පුද්ගලයන් 11,639ක් පීඩාවට…

ජුනි ගංවතුරෙන් පීඩාවට ලක්වූ පිරිසත් 11,635ක්…

අයෝධ්‍යා කිරිඇල්ල විසිනි.

ජා ඇල නගරයේ ගංවතුර – 2024 ඔක්තෝබර් 13 – වීඩියෝ අයිතිය ගෙදර TV

“ඉස්සර ගංවතුර ආවෙ අවුරුද්දකට සැරයක් වගේ… පහුගිය අවුරුදු තුනක ඉඳන් පොඩි වැස්සටත් ගංවතුර… අපි කරන්නෙ ඇන්තූරියම් බිස්නස්. අපේ එකම ආදායම ඒක…  මේ පාර ගංවතුර දැම්මම ඇන්තූරියම් ලොරියක පටවගෙන අම්බලන්ගොඩ අරන් ගියා… කරන්න පුලුවන් හැමදේම කළා… දැනුම් දෙන්න ඕන හැමතැනටම දැනුම් දුන්නා… දැන් අපි වෙන දිහාවක පදිංචියට යන්නයි හිතාගෙන ඉන්නෙ…”

තම නිවස අතහැර වෙනත් ප්‍රදේශයක පදිංචියට යාමට තරම්, ඒකල පන්සල පාරේ ශානකට ගංවතුර ඇති විශාල ගැටලුවක් බවට පත් වී ඇත.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 2008 සිට 2022 දක්වා වන වාර්ෂික වාර්තා අනුව රටේ වැඩි වශයෙන්ම සිදුවන ස්වභාවික ව්‍යසනය ගංවතුරයි.

2024 වසරේ මැයි සිට ඔක්තෝබර් දක්වා මාස හයක් තුළ ජා-ඇල වෙසෙන 25,000කට ආසන්න පිරිසක් පීඩාවට පත්කරමින් මැයි, ජුනි හා ඔක්තෝබර් මාස වලදී ඇති වූ විනාශකාරී ගංවතුර අවස්ථා ත්‍රිත්වයකි. එහි සංඛ්‍යා විස්මය දනවන මුත් ඒවා පසුපස ඇති කතා හෙළි කරන්නේ වඩා ගැඹුරු අර්බුදයකි. මෙම ගැටළු අතර, සැලසුම් නොකරන ලද නාගරීකරණය, තෙත්බිම් විනාශය, සහ රජය මිනිසුන් ආරක්ෂා කිරීමට සූදානම් නොමැතිවීම ප්‍රධාන වේ. ජා-ඇල ගංවතුර, ස්වභාවික විපතක් පමණක් නොව, නොසැලකිලිමත්බව හා පද්ධති මට්ටමේ අසාර්ථකත්වයෙන් මතුවූ අපදාවකි.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ තොරතුරු වලට අනුව ප්‍රදේශයේ පළමු ගංවතුර තත්වය 1978දී වාර්තා වී ඇති අතර 2008 දක්වා ගංවතුර අවස්ථා 16ක් වාර්තා වී ඇත (https://www.desinventar.net/DesInventar/main.jsp).

ජලයෙන් යටවූ යක්කඩුව – මා-එළිය මාර්ගය, 2024 ඔක්තෝබර් 13 –  ඡායාරූප අයිතිය – අරුණ නිමේෂ් පෙරේරා

ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ පිහිටි ජා-ඇල ප්‍රදේශය, උතුරින් අත්තනගලු ඔයටත්, බටහිරින් කොළඹ-කටුනායක අධිවේගී මාර්ගයටත්, දකුණින් මහරටත්, නැගෙනහිරින් ගම්පහටත් මායිම් වන 61.42km2 ක ප්‍රදේශයකි. ප්‍රදේශයේ ජනගහණය 213,559 ක් බව 2021 වසරේ දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස අනුව ඇස්තමේන්තුගත ජනගහන වාර්තාව ප්‍රකාශ කරයි.                                                   

වසර පුරා සැලකිය යුතු වර්ෂාපතනයක් අත්විඳින ජා-ඇල සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය ආසන්න වශයෙන් 2,505mm වේ. වැසි අධිකම මාසය ඔක්තෝබර් වන අතර සාමාන්‍යයෙන් 352mm පමණ වර්ෂාපතනයක් ඇති වේ. වියළිම මාසය ජනවාරි වන අතර  සාමාන්‍ය වර්ෂාපතනය 60mm පමණ වේ (https://weather-and-climate.com/).

2017 වසරේ ජනවාරි කලාපයේ ජාත්‍යන්තර විද්‍යාත්මක සහ ඉංජිනේරු පර්යේෂණ සඟරාවේ මා විසින් පල කරන ලද ‘A Geo-spatial Model for Flood Hazard Mitigation (With Reference to Ja-Ela Divisional Secretariat Division – Sri Lanka)’ නම් පර්යේෂණ පත්‍රිකාවට අනුව සාමාන්‍ය ගංවතුර අවස්ථාවකදී ප්‍රදේශයේ භූමි ප්‍රමාණයෙන් 21%ක ප්‍රමාණයක් ගංවතුරට යටවන අතර 2017 න් පසුව යටවෙන භූමි ප්‍රමාණය ගැන කිසිදු ගණනයක් සිදු කර නොමැත.

ජා ඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සිතියම – සැකසුම අයෝධ්‍යා කිරිඇල්ල
ජා ඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ භූමි භාවිතය පිළිබඳ සිතියම – සැකසුම අයෝධ්‍යා කිරිඇල්ල

ප්‍රදේශයේ ජලාපවාහනයට මූලිකවම දායක වෙන්නෙ අත්තනගලු ඔය…”

-ජා-ඇල ආපදා කළමනාකරණ නිලධාරී සමන් කුමාර –

කෑගල්ල දිස්ත්‍රික්කයේ ගලපිටමඩ ප්‍රදේශයෙන් ආරම්භ වන අත්තනගලු ඔයට අතු ගංගාවල් කිහිපයක් වන අතර ප්‍රදේශයට ඍජුවම සම්බන්ධ වන්නේ ඌරුවල් ඔය, දඬුගම් ඔය හා ජා-ඇලයි. අවසානයේ අත්තනගලු ඔය මීගමු කලපුවෙන් මුහුදට වැටෙන්නේ දඬුගම් ඔය ලෙසයි.

ගංවතුර ඉතිහාසය

2008 සිට මේ දක්වා ගංවතුර අවස්ථා 17ක් වාර්තා වී ඇති අතර, ඒ අතරින් විශාල මට්ටමේ ගංවතුර හතක් සිදුවූ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ වාර්තා පෙන්වා දෙයි.

වගුව – 2008 සිට මේ දක්වා ගංවතුර ඉතිහාසය,  දත්ත – ආපදා කළමනාකරණ දත්ත – ජා-ඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
පීඩා විඳින ජීවිත

ලුණු පොල්කට්ටෙ ඉඳන් ඇඳන් ඉන්න වස්ත්‍රය වෙනකන් අහිමි වෙනවා… මේක ගොඩක් බලපාන්නේ අඩු ආදායම්ලාභීන්ට… ගෙදරක මළ ගෙයක් වුණාම මිනිය තියාගන්න බැරි වෙන තරම් ඒ මිනිස්සු අසරණයි…”

-සමාජ ක්‍රියාකාරී මහින්දසිරි කළුදේව-

2008 සිට 2024 දක්වා වූ මහා ගංවතුර අවස්ථාවන්හි දත්ත අනුව සම්පාදනය කරගත් සිතියම් (2010 වසර සඳහා කොට්ඨාස මට්ටමෙන් දත්ත ලබා ගැනීමට නොහැකි විය.) දෙස බැලූ කල පෙනීයන්නේ ප්‍රදේශයේ උතුරු හා බටහිර පෙදෙස් වැඩි වශයෙන් ගංවතුරට නිරාවරණය වන බවයි. ඒ අතර ඒකල, තුඩැල්ල, ගාල්ලවත්ත, ඇලෙක්සැන්ඩ්‍රාවත්ත, විශාඛාවත්ත ආදී ප්‍රදේශ විශේෂ වේ.

වඩාත්ම අවධාරණයට ලක් කළ යුතු කරුණක් නම් ඇතැම් ප්‍රදේශයන් මහා ගංවතුර තත්වයන්හී මෙන්ම සුළු වර්ෂා තත්වයන්හීද ජලයෙන් යට වීමයි. ඇතැම් ප්‍රදේශයන් සුළු ගංවතුර අවස්ථා වලදී පමණක් යටවන බවද ප්‍රදේශවාසීන් දක්වන කරුණු අනුව පෙනී යයි. නිවන්දම උතුර වාසය කරන හර්ෂනී ප්‍රදීපාට මුහුණ දීමට සිදුව ඇත්තේ බහුතරය මුහුණදුන් මහා ගංවතුර අවස්ථාවන්ට නොවේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දත්ත අනුව, 2018 සිට 2024 දක්වා කාල පරාසය තුළ මරණ තුනක්, එක් තුවාල ලැබීමක්, පූර්ණ නිවාස හානි දහයක් හා අර්ධ නිවාස හානි 222ක්ද වාර්තා වේ.

ශානකලාගේ කතාව

අත්තනගලු ඔයේ ජලය බසින මානයේ වෙල් යායක් ආසන්නයේ ඇති ශානකගේ නිවස සහ වගාවන් සුළු වර්ෂා තත්වයන්හීදීත් ජලයෙන් යට වේ. මෙය වගා කටයුතු සිදු කරන වෙල් යායක් වන අතර එහි අස්වැන්නද බොහෝ ප්‍රමාණයක් ගංවතුර සොරාගනියි.

ඡායාරූපය – ශානකගේ නිවස පසුපස ඇති වෙල්යාය – අයෝධ්‍යා කිරිඇල්ල

පිට පිටම පැමිණෙන ගංවතුරට මුහුණ දීමෙන් බිත්ති ඉරිතලා ඇති ශානකගේ නිවසේ නාන කාමරය කොටස වෙන්වී ගොස් තිබේ.

ඡායාරූප – නිවසේ තත්වය – අයෝධ්‍යා කිරිඇල්ල

මේ මෙතෙක් කිසිදු අවධානයක් යොමු නොවූ ශානකලාගේ කතාවයි…

ඡායාරූප – 2024 ඔක්තෝබර් ගංවතුරට යටවූ ශානකගේ නිවස සහ වටපිටාව –  ඡායාරූප – ශානක මාලිම්බඩ
මංගලිකාගේ අඳෝනාව

නිවන්දම පදිංචි මංගලිකා ජයලත් වසර 53ක් පුරාවට ගංවතුරෙන් බැට කමින් සිටී.

ක්‍රිස්ටීන් පැවිදි සොයුරියගේ ඇසින්

දැන් හයිවේ එකෙන් උඩින් යනවා… යට ඉන්න මිනිස්සු ගංවතුරෙන් පීඩා විඳිනවා… ඒ ගැන බලන්න කවුරුවත් නෑ… අපිට සංවිධානයක් විදියට තියන ප්‍රශ්නෙ තමයි බලාපොරොත්තු නැතුව ජීවත් වෙන මිනිස්සුන්ට අලුත් බලාපොරොත්තු දෙන්නෙ කොහොමද කියලා”

නොයෙල් ක්‍රිස්ටීන් පැවිදි සොයුරිය – අධ්‍යක්ෂිකා, ශ්‍රමාභිමානී කේන්ද්‍රය

පරිසර පද්ධතියට සිදුවන හානිය

“ජනවාරි, අගොස්තු මාස වල ඇ මාර්ග කිවුල් වෙන්න ඕන. එතකොට තමයි මත්ස්‍යන් අභිජනන ප්‍රශස්ථ PH අගයක් ලැබෙන්නේ. දැන් මේක සිද්ද වෙන්නේ නෑ, මේ කිවුල් හා මිරිදිය ජිවීන් විතරක් නෙමෙයි කරදියේ ජිවත් වෙන ජිවින්ගෙත් අභිජනන භුමියක්

– ජා-ඇල ක්ෂේත්‍ර නිලධාරී අරුණ නිමේෂ් පෙරේරා –

ඔහු පවසන පරිදි ගංවතුර, මත්ස්‍ය ගහනයට සැලකිය යුතු අහිතකර බලපෑම් ඇති කරන අතර, බොහෝ විට ජලජ පරිසර පද්ධතිවලට විශාල බාධා ඇති කරයි.

ජා-ඇල ප්‍රදේශයට අයත් නොවූවද ජා-ඇල ගංවතුරෙන් පීඩාවට පත්වන තවත් පරිසර පද්ධතියක් ලෙස මීගමු කලපුව හැඳින්විය හැක. ගංවතුරෙන් නිවාස වල අපද්‍රව්‍ය පොලිතින් ආදිය සියල්ලම ඇල මාර්ග ඔස්සේ ගසාගෙන යන්නේ කලපුවටයි. එහි ඇති කඩොලාන ප්‍රජාවටත්, ජීවීන්ටත් මෙම ගංවතුර සිදු කරන්නේ මහා සංහාරයකි.

කලපුවෙ හැමතැනම ප්ලාස්ටික් පොලිතින් තියෙන්නෙ අඩි පහක් හයක් උසින්… කඩොලාන ගස්වල පොලිතින් කෑලි එල්ලි එල්ලි තියෙන්නෙ…”

-සමාජ ක්‍රියාකාරී මහින්දසිරි කළුදේව-

ගංවතුර ඇතිවන්නේ කෙසේද?

ගම්පහ නගරය ජනාකීර්ණ වෙන නිසා ගංවතුර එනවා කියලා තමයි මිනිස්සු කියන්නෙ”

  • උතුරු නිවන්දම හර්ෂනී ප්‍රදීපා –

පරිසරය, දේශගුණය සහ තාක්ෂණ සම්මේලනයේ (FECT) ප්‍රධාන විද්‍යාඥ ආචාර්ය ලරීෆ් සුබේර් පවසන්නේ ගංවතුර ඇති වීමට ප්‍රධාන හේතුව වන්නේ ප්‍රදේශයේ ශාක ආවරණය අඩු වීම බවයි. නාගරිකරණය සමඟ ඉඩම් පරිහරණ රටා වෙනස් වී වැසි ජලය රඳවා ගැනීමට පොළොව මතුපිට ශාක කොටස් අඩුවීම නිසා ජලය රඳන ස්වභාවය අවම වී වැසි ජලය විශාල ප්‍රමාණයක් ගංගාවන්ට එකතු වෙමින් ගංවතුර වර්ධනය වන බව ඔහු පවසයි.

ආචාර්ය ලරීෆ් සුබේර්

ගරු සරත් ඉද්දමල්ගොඩ පියතුමාගේ අදහස අනුව සැලසුමක් නැති සංවර්ධන කටයුතු මේ ප්‍රදේශයේ ගංවතුර ඇතිවීමට බලපාන මූලිකම හේතුවයි. විශේෂයෙන්ම ජා-ඇල සීමාවට අයත් නොවූවත් ඊට බටහිරෙන් පිහිටි සොබාදහමේ විශේෂතම නිර්මාණයක් වන මුතුරාජවෙල වගුරුබිම, අධික වර්ෂාවන්ගෙන් පතිත වන ජලය උරාගැනීමෙන් ගංවතුර පාලනයට දායක වන බව පියතුමා තවදුරටත් පවසයි. මුතුරාජවෙල ශ්‍රී ලංකාවේ විශාලතම කරදිය වගුරු වනාන්තරය වන අතර 1996 ඔක්තෝබර් 31 රජයේ අති විශේෂ ගැසට් පත්‍රයක් මඟින් අභයභූමියක් ලෙසද නම් කර ඇත. එසේ වුවද මුතුරාජවෙල ගොඩකිරීම නිසා මේ වන විට ජලය උරාගැනීමේ හැකියාව අඩු වී ජලය රඳන බවත්, ගලා යාම ක්‍රමවත් වීම සඳහා ක්‍රමවත් වාරි මාර්ග සැලසුම් නොමැති බැවින් එය ජා-ඇල ගංවතුරට එක් හේතුවක් වන බවත් පියතුමා පවසයි.

ගරු සරත් ඉද්දමල්ගොඩ පියතුමා

අධිවේගී මාර්ග පද්ධතිය නිසා ජලය රැඳෙන තෙත්බිම අවහිර විම, අවිධිමත් පාලම් බොක්කු ඉදිකිරිම්, පහත් බිම් ගොඩකිරිම්, අප්‍රද්‍රව්‍ය හා කැලිකසළ නිසා ජල බැසීම අවහිර විම්, මෝයකට බාදකය, අත්තනගලු ඔය ජා-ඇල ඇලට හැරවීම (ගම්පහ නගරය ගංවතුරින් බේරා ගැනිමට) යන කරුණු ගංවතුර ඉහළ යැමට ප්‍රබල හේතු බව ජා-ඇල ක්ෂේත්‍ර නිලධාරී අරුණ නිමේෂ් පෙරේරා පවසයි. ප්‍රදේශවාසීන්ද ඒ පිළිබඳව මැසිවිලි නගන මුත්, ජා-ඇල ප්‍රදේශයේ ආපදා කළමනාකරණ නිලධාරී සමන් කුමාර ප්‍රකාශ කරන පරිදි කොළඹ කටුනායක අධිවේගී මාර්ගය, මෙම ප්‍රදේශයේ ගංවතුර ඇතිවීමට බලපෑමක් එල්ල නොකරයි. 2009 වසරේ ඉදිකිරීම් ආරම්භ කර 2013 වසරේදී විවෘත වූ කොළඹ කටුනායක අධිවේගී මාර්ගය ඉදිකිරීමේ මූලික බලපෑමෙන් ගංවතුර තත්වය වර්ධනය වී නොමැති බවට 2008 සිට ඇති වී ඇති ගංවතුර අවස්ථාද සාක්ෂි දරයි.

සමන් කුමාර පවසන පරිදි ගංවතුර සඳහා ස්වභාවික නොවන ප්‍රධානම හේතුව වන්නේ පහත් ඉඩම් සහ මුතුරාජවෙල වගුරුබිම් ප්‍රදේශය ගොඩ කිරීම සහ එවන් පරිසර සංවේදී කලාප තුළ මිනිසුන් පදිංචි වීමයි.

සමාජ ක්‍රියාකාරී මහින්දසිරි කළුදේව පවසන්නේ ජා-ඇල ප්‍රදේශයේ එක් එක් ප්‍රදේශ වලට ගංවතුර ඇතිවීමට බලපාන හේතූන් විවිධාකාර බවයි. ඉන් ප්‍රධානතම හේතුව ලෙස ඔහුද සඳහන් කරන්නේ වතුර බැසීමට ඇති ඇළවල් ආදිය නිසි ලෙස නඩත්තු නොකිරීමයි.

මීට අමතරව, වසර ගණනක් මුළුල්ලේ සිදුවන දේශගුණ විපර්යාස ක්‍රියාවලි අනුව වර්ෂාපතන සීඝ්‍රතාවය වර්ධනය වීම, හදිසි ගංවතුර තත්ව (flash floods) ඇතිවීමට බලපාන බැව් කාලගුණ විද්‍යාඥ නදීකා රණවීර පවසයි.

උදාහරණයක් ගත්තොත් වෙනදා මාසික වර්ෂාපතනය 100mm නම් දවසට 20mm ගාණෙ වගෙ දවස් කීපයක් වහිනවා… දැන් 100mm ම එකම දවසෙ වැහැලා ඉවර වෙනවා එතකොට ගංවතුර ඇතිවෙන්න පුළුවන් “

-කාලගුණ විද්‍යාඥ නදීකා රණවීර –

නමුත්, ආචාර්ය ලරීෆ් සුබේර් පවසන්නේ, මෙම ප්‍රදේශයේ දේශගුණික රටාවේ වෙනස්වීම අනුව වර්ෂාපතන රටා වෙනස් වී ඇති නමුත් එය එතරම් ගංවතුරට සෘජුව දායක නොවන බවයි. 

අක්‍රමවත් වර්ෂාව, ප්‍රදේශය සතු සොරොව්, අමුණු ඇතුළු වාරි පද්ධතියට දරා ගැනීමට අපහසු වන බව ජා-ඇල ක්ෂේත්‍ර නිලධාරී අරුණ නිමේෂ් පෙරේරා පවසයි. කෙසේ වෙතත් ඉද්දමල්ගොඩ පියතුමා පවසන්නේ ඔහු කිසි විටෙක ප්‍රදේශයේ නිසි වාරි පද්ධතියක් පිළිබඳ අසා නොමැති බවයි.

පහතින් දක්වා ඇත්තේ ගංවතුර දින ආශ්‍රිතව ප්‍රදේශයට දෛනිකව ලැබී ඇති උපරිම වර්ෂාපතන ප්‍රමාණ සහ අත්තනගලු ඔයේ දූනමලේ මිනුම් ස්ථානයේ උපරිම ජල මට්ටම් දත්තයන්ය.  2015ට පෙර නිරවද්‍ය දත්ත සඳහන්ව නොමැති බැවින් 2015 සිට වර්ෂාපතන දත්ත භාවිත කර ඇත.

දත්ත – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ https://www.ventusky.com/ja-ela වෙබ් අඩවිය 

ප්‍රදේශයට ඇති වන ගංවතුර මැයි, ජුනි, සැප්තැම්බර්, ඔක්තෝබර් සහ නොවැම්බර් මාස වලට පමණක් සීමා වී ඇති බව ඉහත තොරතුරු දක්වයි. ඒ අනුව මැයි සිට සැප්තැම්බර් දක්වා පවතින නිරිතදිග මෝසමත් ඔක්තෝබර් නොවැම්බර් වලදී පැමිණෙන අන්තර් මෝසමත් ප්‍රදේශයේ ගංවතුරට බලපාන බව පෙනී යයි. එමෙන්ම වර්ෂාපතනයත් සමඟ අත්තනගලු ඔයේ ජල මට්ටමේ වැඩි වීමද බොහෝ දුරට ගංවතුරට හේතු වී ඇති බව පෙනේ.

දූනමලේ ජල මට්ටම – ශ්‍රී ලංකා නාවික හමුදාව

නමුත්, සුළු වර්ෂාපතනයන්හීදී පවා ගංවතුර ඇති වී ඇති බව වර්ෂාපතන දත්ත පෙන්නුම් කරන අතර, කළුදේව පවසන්නේ ඔහු ඇතුළු ශ්‍රමාභිමානී කණ්ඩායම 2008 වසරේ මුළු ගම්පහ දිස්ත්‍රික්කයම ආවරණය වන පරිදි වර්ෂාපතන දත්ත භාවිතයෙන් සිදු කළ සමීක්ෂණයකින් හෙළිවන්නේ ගංවතුර ඇති වීමට ප්‍රධානම හේතුව අධික වර්ෂාවම නොවන බවයි.

මහින්දසිරි කළුදේව

පහත දැක්වෙන්නේ ගංවතුර අවස්ථාවන්හී උපරිම වර්ෂාපතන දත්ත සමඟ එම මාසයන්හී වර්ෂාපතනය, වසර 30ක දත්ත වලින් සකසන ලද මාසික වර්ෂාපතන මධ්‍යනය සමඟ විචල්‍ය වන ආකාරයයි.

දත්ත -කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, https://www.ventusky.com/ja-ela සහ https://en.tutiempo.net/climate වෙබ් අඩවි

අපි ඇළ මාර්ග සුද්ද කරලා තියෙනවා… ඒ වගේම ඇළේ වම් ඉවුරෙ ගංවතුර බැම්මක් හදලා තියනවා…”

-ජා-ඇල ආපදා කළමනාකරණ නිලධාරී සමන් කුමාර –

ප්‍රදේශයේ ආපදා කළමනාකරණ නිලධාරී සමන් කුමාර පවසන පරිදි ප්‍රදේශයේ ගංවතුර පාලනය කිරීම සඳහා ගෙන ඇත්තේ ඉහත සඳහන් පියවරයන් පමණි. ගංවතුර අවස්ථාවන්හීදී පිසූ ආහාර සැපයීමත්, ඇතැම් නිවාස හානි ආදිය ඇතිවූ අවස්ථාවලදී වන්දි ගෙවීමත් රජයන්හී මැදිහත්වීමෙන් සිදුවී ඇත.

2016 සිට 2023 වසර දක්වා ගංවතුර වෙනුවෙන් රජය විසින් සිදුකරන ලද වැය වාර්තා පහත දැක්වේ.

වගුව – 2016 සිට 2023 වසර දක්වා ගංවතුර වෙනුවෙන් රජය විසින් සිදුකරන ලද වැය වාර්තා – ජා-ඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය

තවද, අත්තනගලු ඔය ආශ්‍රිතව ගංවතුර ඇතිවන ප්‍රදේශයන්හී සිතියමක් 2012දී නිර්මාණය කර ඇති අතර, වර්තමානයේ ඇතිවන එක් එක් ගංවතුර අවස්ථාවන්ට සිතියම් නිර්මාණය කරතත්, ප්‍රදේශයට සම්පූර්ණ ගංවතුර සිතියමක් තවමත් බිහිවී නොමැති බව ශෝකයට කරුණකි.

තදාසන්න නගරවල ඉහළ ජනගහන වර්ධනයත් සමඟ අවශ්‍ය භෞතික, සමාජීය සහ පාරිසරික යටිතල පහසුකම් සඳහා ඇති ඉල්ලුම සැපයුමට වඩා ඉහළ වේගයකින් අඛණ්ඩව වර්ධනය වූ පසුබිමක් තුළ 2016දී මෙගා පොලිස් හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ මගපෙන්වීම සහ උපදෙස් මත නාගරික සංවර්ධන අධිකාරිය විසින් කෙටිකාලීන පදනමින් විසඳිය යුතු ගැටලුවලට මුහුණදීම සඳහා  තාවකාලික ඇස්තමේන්තුගත පිරිවැය දළ වශයෙන් රු. බිලියන 25ක් සමඟ “සුඛිත පුරවර” වැඩසටහන ආරම්භ කර ඇත්තේ නගර භාවිතා කරන්නන්ගේ සුවපහසුව වැඩි දියුණු කිරීම, ප්‍රජාවේ සියලුම කොටස්වලට ප්‍රතිලාභ ලැබෙන ආකාරයට නගර ආර්ථිකය වැඩිදියුණු කිරීම, නගරයේ ජීවන තත්ත්වය වැඩි දියුණු කිරීම ආදී අරමුණු මූලික කරගෙනයි.

මේ යටතේ සඳහන්ව තිබූ නගර අතරට ජා-ඇල, රාගම යන ජා-ඇල කොට්ඨාසයට අයත් ප්‍රධාන නගර දෙක සඳහන් වුවද ඒවා හුදෙක් පොරොන්දු වලට පමණක් සීමා වී ඇති බවට 2016 න් පසුව පෙරටත් වඩා ගංවතුරෙන් ප්‍රදේශවාසීන්ට පීඩා ගෙන දීම සාක්ෂි දරයි.

නාගරික සංවර්ධන අධිකාරියේ වෙබ් අඩවිය – https://www.uda.gov.lk/sukitha-purawara.html
වලක්වා ගන්නේ කෙසේද?

යාපනය සරසවියේ ඉංජිනේරු අංශයේ ප්‍රධානී ආචාර්ය එස්. එස්. සිවකුමාර් විසින් ගංවතුර බලපෑම අවම කිරීම සඳහා සකස් කර ඇති ප්‍රතිපත්ති මාර්ගෝපදේශයන් අතරින් ජා-ඇලට ඔබින මාර්ගෝපදේශ අතර ජල පෝෂක ප්‍රදේශ පිරිපහදු කිරීම, වනාන්තර සංරක්ෂණය සහ මුර වේලි ඉදිකිරීම තුළින් ජල පෝෂක කළමනාකරණය, ගංවතුර ඇතිවන කලාපවල ජනාවාස සහ ආර්ථික ක්‍රියාකාරකම් නියාමනය කිරීමත් සමඟ පුළුල් පුරෝකථන ජාලයක් ස්ථාපිත කිරීම සහ සිදුවන පාඩු අවම කිරීම සහ ගංවතුර සහන වියදම් අඩු කිරීම සඳහා ගංවතුර පුරෝකථනය සහ අනතුරු ඇඟවීම් සහ ගංවතුර  කලාපකරණය අඩංගු වේ.

දැන් ගමේ මිනිස්සුන්ගෙ ගෙවල් යටවෙන්නෙ නෑ… දැන් අපිට සහනාධාර නෑ… බත් පැකට් ඕන නෑ… ඒත් ගොඩක් දුකයි තව සෑහෙන පිරිසක් ඉන්නවා ඒ ගැන අවබෝධයක් නැති…”

මහින්දසිරි කළුදේව පවසන්නේ ජනතාව දැනුවත් කිරීම තුළින් ගංවතුර වලක්වා ගත හැකි බවයි. එමඟින් තම ප්‍රදේශයේ ජල බැස්ම නිසි සේ පවත්වාගෙන යාමට ප්‍රජාවම එක්වී කටයුතු කිරීමෙන් ජා-ඇල චන්ද්‍ර පෙදෙස ගංවතුර උවදුරෙන් ගලවාගත් බව ඔහු පවසයි.

එමෙන්ම, සුදුවැල්ල, වසරකට මාස තුනක් පමණ ජලයෙන් යටවී තිබූ ප්‍රදේශයක් බවත්, සමාජ ක්‍රියාකාරීන්ගේ පීඩනය නිසාම එහි ඇල මාර්ග පවිත්‍ර කළ බවත් වර්තමානය වන විට වසරකට දින ගණනක් පමණක් ගංවතුරෙන් යටවන බවත් එම තත්වයද පාලනය කළ හැකි බවත් ඔහු පවසයි. දෑලතුර, වහටියාගම හා ඉඳිවිටිය යන ප්‍රදේශවල තත්වයද ඊට සමානය. පෙර වර්ෂයන්ට වඩා ගංවතුර තත්වයේ අඩුවීමක් ඇති බව දත්තද සනාථ කරයි.

ප්‍රදේශයේ ගංවතුර කළමනාකරණයට සහ පාලනයට කෙටි කාලීනව ගංවතුරෙන් විපතට පත් වූවන්ට එදිනෙදා ජීවිතයේදී මුහුණදීමට සිදුවන ඛේදාන්තය හැකි තරම් තුරන් කිරීමට ප්‍රතිපත්ති අනුගමනය කළ යුතු මෙන්ම දිගුකාලීන උපාය මාර්ගද අනුගමනය කළ යුතුය. එමෙන්ම, ගංවතුරේ පාවෙන ජා-ඇල ජීවිත ඉන් ගොඩ ගෙන වඩා උසස් ජීවන තත්වයක් උදා කර දීමට වේගවත්ව ක්‍රියාමාර්ග ගැනීම සැලකිලිමත් රජයක යුතුකමකි.

Hot this week

Sri Lanka Airbus probe shaken by ex-CEO’s death

Speed Read Ex-CEO of SriLankan Kapila Chandrasena found dead under...

Sri Lanka’s Treasury heist exposes gaps in debt management system and 24/7 security shield

Speed Read: A debt payment to Export Finance Australia was...

Sri Lanka hit by fuel storage capacity, not supply

Speed read Sri Lanka’s fuel system is constrained by limited...

Sri Lanka’s air quality crisis: where data gaps meet drifting pollution

Speed read In Sri Lanka, air quality consistently deteriorates between...

Toxic fallout: Mercury fears, substandard coal and a governance crisis converge at Norochcholai

Speed read Mercury(hg) concerns linked to substandard coal at the...

Topics

Sri Lanka Airbus probe shaken by ex-CEO’s death

Speed Read Ex-CEO of SriLankan Kapila Chandrasena found dead under...

Sri Lanka hit by fuel storage capacity, not supply

Speed read Sri Lanka’s fuel system is constrained by limited...

Sri Lanka’s air quality crisis: where data gaps meet drifting pollution

Speed read In Sri Lanka, air quality consistently deteriorates between...

GIJN Launches Global Academy of Investigative Journalism

The Global Investigative Journalism Network (GIJN) has launched the...

Easter 2019: A tragedy foretold and still unresolved

Seven years ago, on 21 April 2019, sun dawned...

Sri Lanka’s Bumpy Road to a Political Reset

Sri Lanka is navigating a fragile political transition following...

Related Articles

Popular Categories