දඩමස් නිසා දිවි අහිමිවන කඳුකර කොටි

0
47

ඌරන්ට තැබූ මදුවලට අසුවී පසුගිය 2020/2021 වසරවල කොටින් 17ක් මියගිහින්

කඳුකරයේ කොටි මිනිස්  ගැටුමක් නෑ -පර්යේෂකයින්

කොටි මරණ පාලනය සඳහා විශේෂ වැඩ සටහන් ක්‍රියාත්මක වෙනවා – වනජීවී නිලධාරීන්

  ”අපේ ලයිම උඩහ තිබෙන කැළෑ ප්‍රදේශයේ ගල උඩ නිතරම කොටි හතර දෙනෙක් ඉස්සර හිටියා. දැන් නම් ඉන්නේ දෙන්නෙක් විතර. නමුත්  අපි බයෙන් ඉන්නේ ටික දවසකට කලින් එහා පැත්තෙ ලයිමට ඇවිත් තියෙනවා. මෙහාට මේ විදියට කොටි එන්නේ ටික කාලයක ඉඳලා. බව   හැටන් රෝසෙල්ල ප්‍රදේශයේ ලයිමක ජිවත් වන ජේ. කාන්ති පෙන්වා දෙයි.

ජේ. කාන්ති

  නමුත් මේ ආකාරයෙන් කොටින් ගමට  එන ප්‍රධානතම හේතුව ගැන ඔවුන්හට එතරම් අවබෝධයක් නොමැත. එම නිසාම කොටින් පැමිණෙන ප්‍රදේශවල ජනතාව කොටියා කෙරෙහි ඇතිකරගත් මෙම අනියත බිය එම ප්‍රදේශයන්හි  කොටි මිනිස් ගැටුමක් දක්වා වර්ධනය කිරීමට තරම් ප්‍රබල හේතුවක් වී තිබේ.

 ශ්‍රී ලංකාවේ සතුන් හා මිනිසුන් අතර පවතින  ගැටුම මේ වන විට  තවත් වර්ධනය වෙමින් පවතී. ප්‍රධාන  වශයෙන් ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 14ක පමණ  අලි මිනිස් ගැටුම පවතින අතර එමෙන්ම මහනුවර, නුවරඑළිය, රත්නපුර දිස්ත්‍රික්ක තුන ප්‍රධානව ලංකාවේ කොටි මිනිස් ගැටුම පවතී.

 මෙම සෑම ව්‍යවසනයක් තුලම  දක්නට ලැබෙන ප්‍රධාන කාරණ වන්නේ  මිනිසා විසින් සිදුකරන ලද  අනවසර කැළෑ හෙළිකිරීම්, අනවසර ඉදිකිරීම්, කැළෑ ගිනිතැබීම් හා විවිධ අවිධිමත් සංවර්ධන ව්‍යාපෘති වේ. මෙම තත්වය ලංකාවේ වෙසෙන කොටින්ගේ වඳවීම  කෙරෙහි බලපෑම් කරන්නේ කෙසේ ද යන්න පෙන්වා දීම මෙම ලිපිය මගින් සිදුකෙරේ.

ARKive image GES041344 – Persian leopard

  ලංකාවේ වෙසෙන කොටියා දිවියන් ලෙස බොහෝ දෙනෙක් හඳුන්වා දුන්නත්  Panthera pardus kotiya  යන විද්‍යාත්මක   නම තුලින් හෙලිවන්නේ ලංකාවේ සිටින්නේ දිවියන් නොව කොටින් බවයි. IUCN රතු ලැයිස්තුවට අනුව අන්තරායට ලක්වූ සත්වයින් අතරට ලංකාවේ මෙම කොටියා ද අයත් වේ. තර්ජනයට මුහුණපා ඇති ආරක්ෂිත සතකු ලෙස කොටි විශේෂය සත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ ආඥා පනතේ නම් කොට ඇති බවත් වනජීවී නිලධාරීහු පෙන්වා දෙති.

  එමෙන්ම ලංකාව තුල කොටි ගහණය  1000කට අධික ප්‍රමාණයක් සිටිය හැකි බවත් ඒ සම්බන්ධයෙන් නිවැරදි සංගණනයක් සිදු කර නොමැති බවත් වනජීවී දෙපාර්තමේන්තුවේ 2021 වර්ෂයේ පර්යේෂණ වාර්තා පෙන්වා දෙයි. නමුත් එම වාර්තාවන්ට අනුව වැඩි දුරටත් පෙන්වා දෙන්නේ ලංකාවේ සිටි කොටි ගහණයෙන් මේ වනවිට සිටින්නේ 1/3ක් පමණ බවයි.

කොටියා සහ දිවියා

ලංකාවේ වෙසෙන කොටියා ඇතමුන් හඳුන්වනු ලබන්නේ දිවියන් ලෙසයි. නමුත් මේ අතර පවතින පරස්පර විරෝධී අදහස් හේතුවෙන් මේ සම්බන්ධයෙන් සිදුකළ සොයා බැලීමේදී  පර්යේෂකයින් පෙන්වා දෙන්නේ ලංකාවේ දිවියා ලෙස බොහෝ දෙනෙකු  හඳුන්වනු ලබන්නේ කොටියා ම බවයි.  මේ සම්බන්ධයෙන්  අදහස් දැක්වූ  සබරගමුව විශ්වවිද්‍යාලයේ ස්වභාවික සම්පත් අංශයේ අංශ ප්‍රධානි, නිවර්තන කලාපිය පරිසර පද්ධති පර්යේෂණ ජාලයේ අධ්‍යක්ෂිකා    මහාචාර්ය  ඉනෝකා පී කුඩාවිදානගේ මහත්මිය. ” ඉස්සර නම් අපි කොටියට කියන්නේ දිවියා කියල. නමුත් කොටියාගේ විද්‍යාත්මක නාමය Panthera pardus kotiya. ඒක ලංකාවට ආවේනික උප කොටස. එතකොට කොටි සංවිධානයේ ප්‍රශ්නයත් එක්ක තමයි කට්ටිය පටලවා ගත්තේ. නමුත් එයාගේ සංකේතය ව්‍යාඝ්‍රයා. ඉන්දියාවේ ඉන්න ඉරි තියෙන එකා. නමුත් ඒ අය කිවුවේ කොටියා කියලා මේකත් එක්ක තමයි කොටියා පටලවා ගත්තේ.”   ”ලංකාවේ ඉන්නවා  බළල් පවුලේ හතර දෙනෙක් කොටියා, හඳුන්දිවියා, කොළදිවියා, වල්බළලා. දිවියන් කියන්නේ බළල් පවුලේ ඉන්න පොඩි සාමාජිකයින් කීප දෙනා. අපි කතා කරන්නේ දිවියා ගැන. තිත් තියෙන්නේ කොටියා, ඉරි තියෙන්නේ ව්‍යාඝ්‍රයා. නමුත් අපේ කොටියටත් මිනිස්සු දිවියා කියන නම පාවිච්චි කරනවා. නමුත් දිවියෝ ඉන්නේ දෙන්නයි ,හඳුන්දිවියයි කොළ දිවියයි විතරයි.” බව ද මහාචාර්ය  කුඩාවිදානගේ මහත්මිය පවසා සිටි.

දිවියා (Panthera pardus) යනු  බළල් පවුලේ සාමාජිකයෙකු වන Panthera ගණයේ දැනට පවතින විශේෂ පහෙන් එකකි. එය උප සහරා අප්‍රිකාවේ, බටහිර සහ මධ්‍යම ආසියාවේ සමහර ප්‍රදේශවල, දකුණු රුසියාවේ සහ ඉන්දියානු උප මහද්වීපයේ අග්නිදිග සහ නැගෙනහිර ආසියාවේ පුළුල් පරාසයක ජීවත් වේ . එය IUCN රතු ලැයිස්තුවේ අවදානමට ලක්විය හැකි ලෙස ලැයිස්තුගත කර ඇත්තේ දිවියන්ගේ ගහණය වාසස්ථාන අහිමි වීම සහ ඛණ්ඩනය වීම නිසා තර්ජනයට ලක්ව ඇති බැවින්  සහ ගෝලීය පරාසයේ විශාල කොටස්වල අඩුවෙමින් පවතින බැවිනි.

  දිවියා, අනුවර්තනය වීමේ සුවිශේෂී  හැකියාවක් සහිත සත්වයෙකු ලෙස සැලකේ.  ලෝකයේ වඩාත්ම පීඩාවට පත් විශාල බළලා වන්නේ ද දිවියා ය .දිවියන් අප්‍රිකාවේ ඔවුන්ගේ ඓතිහාසික පරාසයෙන් අවම වශයෙන් තුනෙන් දෙකකින් සහ යුරේසියාවේ ඔවුන්ගේ ඓතිහාසික පරාසයෙන් සියයට 84කින් අතුරුදහන් වී ඇති බවයි panthera.org වෙබ් අඩවිය පෙන්වා දෙන්නේ.

ලෝකයේ දිවියන් ජිවත්වන රටවල් (රතුපාටින් පෙන්නුම් කරයි)

 විශේෂයෙන්ම 2001 වර්ෂයේ සිට 2020 වර්ෂය දක්වා වූ කාලය තුල පමණක්   ලංකාවේ  මෙම කොටි ගහණයෙන් 145 දෙනෙකු පමණ වඳ වී තිබේ.  එම කොටි මරණ තුලින්  72%ක්ම මධ්‍යම කඳුකරයෙන් වාර්තා වන අතර එය  මිනිස් ක්‍රියාකාරකමක් වන උගුල් ඇටවීම  නිසා සිදුවූ කොටි මරණ වේ.

   වනජීවී දෙපාර්තමේන්තුව මගින් ලබාගත් තොරතුරු අධ්‍යයනය කිරීමේ දී   2010 සිට 2020 දක්වා කාලය තුලදී පමණක් හඳුනාගත් කොටි මරණ 58ක් තුලින් වැඩි වශයෙන් කොටි මියගොස් ඇත්තේ උගුල්වලට අසුවීමෙන් ය. එය ප්‍රතිශතයක් ලෙස 71%කි. ඊට අමතරව වස දීමෙන් කොටි 06 දෙනෙකු, වෙඩිතබා 05 දෙනෙකු, වාහන අනතුරු තුලින් 4 දෙනෙකු, විදුළිසැර වැදී එකෙකු, පහරදීමෙන් එක කොටියෙකු ද මියගොස් ඇති බව එම තොරතුරු මගින් පෙන්වා දෙයි.

 මිට අමතරව 2021 වර්ෂයේදී මධ්‍යම කඳුකරය තුලදී පමණක් කොටි 08 දෙනෙකු උගුල්වලට හසු වී මියගොස් තිබේ. එමෙන්ම උගුල්වලට හසුවී තිබියදී තවත් කොටින් 03 දෙනෙකු බේරා ගැනීමට වනජීවී දෙපාර්තමේන්තුවට හැකිවී තිබෙන බව තොරතුරු දැනගැනීමේ පනත යටතේ වනජීවී දෙපාර්තමේන්තුව මගින් ලබාගත් තොරතුරු මගින් අනාවරණය කර ගැනීමට හැකි විය. එමෙන්ම 2020 වර්ෂයේදී ද ඒ ආකාරයෙන්ම කොටි 15 දෙනෙකු උගුල්වලට හසුවී ඇති අතර ඉන් ජීවිත බේරා ගැනීමට හැකිවී ඇත්තේ කොටි 06 දෙනෙකුගේ  පමණි.

    2022 වසරේ සිදුවූ පළමු කොටි මරණය වාර්තා වන්නේ 2022.පෙබරවාරි 25 වනදා නෝටන්බ්රිසජ් විමලසුරෙන්ද්‍ර  ජල විදුලි බලාගාරයට පිවිසෙන මාර්ගයේ පුද්ගලික තේ ඉඩමකදිය  . වයස අවු 08 පමණ වයසැති  පිරිමි සතෙකු  මෙලෙස මියගොස් සිටියදී හමුවී ඇති අතර  මිය ගිය කොටියාගේ සමේ කොටසක් කිසියම් පිරිසක් කපාගෙන ගොස් තිබේ.වනජීවී නිලධාරීන්ට අනුව මෙම කොටියා වෙනත් ස්ථානයකිදී මියගොස් ඇති අතර පසුව යම් පිරිසක් විසින් මෙම ස්ථානයට ගෙනවිත් ඇති බවට සැක පලකෙරේ.කොටියා මියගිය හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර නමුත් කොටියාගේ සිරුරේ තියුණු තුවාලයක් ඇති බවට වනජීවී නිලධාරීන් කියා සිටි

උගුල් අටවන්නේ ඇයි?

 මධ්‍යම කඳුකරයෙන් නිරන්තරයෙන් වාර්තාවන කොටි මරණ බොහොමයක් උගුල් නිසා සිදුවී තිබේ.  ඉන් වැඩි ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ  නුවරඑලිය දිස්ත්‍රික්කයේ අඹගමුව, නුවරඑලිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුල ය. එමෙන්ම එම කලාපය තුලදී   උගුල්වලට හසුවී කොටි වැඩි වශයෙන් මියගිය  කාලය සම්බන්ධයෙන් වනජීවී දෙපාර්තමේන්තුවෙන් ලබාගත් තොරතුරු මගින් සොයා බැලීමේදී අනාවරණය වූයේ   දෙසැම්බර් සිට මැයි මස දක්වා කාලය තුළදී උගුල්වලට හසුවී කඳුකර කොටි බහුලව මියගොස් ඇති බවයි..  

  මේ සම්බන්ධයෙන් වනජීවී දෙපාර්තමේන්තුවේ සමනල අඩවිය භාර වන සත්ව අඩවි ආරක්ෂක ඩි.පි. ශ්‍රියාසිංහ මහතාගෙන් අප කළ විමසීමකදී ඔහු කියා සිටියේ දෙසැම්බර් සිට මැයි මස දක්වා කාලයේදී  පැමිණෙන දේශීය වන්දනාකරුවන්ගෙන් මස්වලට ඇති ඉල්ලුම නිසා  ඌරන් සඳහා අටවන උගුල්වලට කොටි ද අසුවී මෙසේ මිය යන බවයි.

(සමනල අඩවිය භාර වන සත්ව අඩවි ආරක්ෂක ඩි.පි. ශ්‍රියාසිංහ මහතා)

 මේ සම්බන්ධයෙන් ප්‍රදේශයේ සංචාරය කරමින්  අප කළ සොයා බැලීමකදී අනාවරණය වූයේ ද ඌරන් වෙනුවෙන් අටවනු ලබන උගුල්වලට වතු ආශ්‍රිතව පැමිණෙන කොටින් ද අසුවන බවයි. ”මහත්තයා අපි කොටි මරන්න උගුල් තියන්නේ නෑ. ඌරෝ අල්ලන්න තමයි උගුල් අටවන්නේ.” යනුවෙන් අවස්ථා කීපයකදී මස් වෙළඳාම්කිරීමේ වරදට වනජීවී දෙපාර්තමේන්තුව මගින් නීතිමය ක්‍රියාමාර්ග ගනු ලැබූ  මස්කෙළිය ප්‍රදේශ වාසියෙකු ද අප සමඟ කියා සිටියේ ය. මෙම දඩයම්කරුවන් මෙම උගුල් තැනීම සඳහා යතුරුපැදි බ්‍රේක් කේබල් මෙන්ම ඒ හා සමාන ශක්තියකින් යුත් වෙනත් කම්බි ද යොදාගනු ලබන බව ද හෙතෙම කියා සිටියේ ය.

  නමුත් වසදීම මෙන්ම වෙඩිතබා සිදුකර තිබෙන කොටි ඝාතන සෘජුවම කොටි ඉලක්ක කරගනිමින් සිදුකල ඒවා බව පැහැදිලි කරුණකි. විශේෂයෙන්ම මිථ්‍යා විශ්වාස මත කොටි දත් මෙන්ම කොටි සම ලබාගැනීමටඇති ඉල්ලුම මත එම සත්ව කොටස් ඉල්ලුම්කරුවන් හට විකිණීමේ අරමුණින් කොටි ඝාතනය කර තිබෙන බව පසුගිය කාලය තුළ වනජීවී නිලධාරීන් මෙන්ම පොලීසිය විසින් සිදුකළ වැටලීම් හා පරීක්ෂණ තුලින් තහවුරු වී තිබේ.

(ලංකාවේ දිවියන් ජිවත්වන ප්‍රදේශ)

  “කොටි ලංකාව පුරාම ව්‍යාප්තියක් තියෙනවා. සාමාන්‍යයෙන් ජාතික උද්‍යාන තුලත් ඉන්නවා. ඉන් පිට ප්‍රදේශවලත් ඉන්නවා. මාධ්‍යම කඳුකරයේ ගොඩක් මේ අය ඉන්නවා. මධ්‍යම කඳුකරයේ ගොඩාක් වනාන්තර ප්‍රදේශ නෑ. හෝර්ටන් තැන්න වගේ කීපයක් තියෙනවා. නමුත් තේ වතු හා වෙනත් වගා භූමි හදනකොට මේ සතුන් කොහේ හරි යන්න ඕන. එහි දී කැලයකින් කැලයකට මාරුවෙනකොට මිනිස්සු ඉන්න තැනකින් තමයි යන්න ඕන. එතකොට තමයි මේ ප්‍රශ්න ඇති වෙන්නේ. එහි දී  ප්‍රධාන වශයෙන්ම කොටින්ගේ  මරණවලට හේතුව මදුවලට හසුවීමයි. ඌරා, ඔළුමුවා, මීමින්නා දඩයම්කරන්න තමයි මේ මදු  ගහන්නේ. ඒ ගහන මදුවලට තමයි බොහෝ වෙලාවට මේ කොටි අහුවෙන්නේ. නමුත් තවත්  දෙයක්  තියෙනවා.  අපි කොච්චර දැනුම්වත් කළත් කොටි  මිනිසුන්ට පහර දෙන්නේ නෑ  කියලා මිනිස්සු බයට කොටියම ඉල්ලක්ක කරගෙනත් මදු ගහනවා. 2020 වර්ෂයේදී පමණක් මාස 11ට කොටි 11ක් මැරුණා.” යැයි මහාචාර්ය  ඉනෝකා පී කුඩාවිදානගේ පෙන්වා දෙයි.

මහාචාර්ය  ඉනෝකා පී කුඩාවිදානගේ

 ලොව වෙසෙන අන් සියලු කොටියන් සේම ශ්‍රී  ලාංකික කොටියා ද තම ආහාරය පිණිස කුඩා ක්ෂීරපායීන්, පක්ෂීන්, උරගයින් සහ විශාල ප්‍රමාණයේ  සතුන් ඇතුළු සතුන් විශාල ප්‍රමාණයක්  ගොදුරු කරගනී. තිත් මුවෝ, මීමින්නන්  වියළි කලාපීය කොටියාගේ  ගොදුරු අතර ප්‍රමුඛස්ථානයක්  උසුලයි. තව ද මෙම සත්වයා වඳුරන්, වල්ඌරන් වැනි සතුන් ද ගොදුරු කරගනී. නමුත් මේ වනවිට මෙම කඳුකර කලාපයන්හි පවතින ආහාර හිඟය නිසා කොටින්ගේ ගොදුරු බවට බල්ලන් පත්වී තිබේ.

කොටි හමක්

 “විශේෂයෙන්ම කැලෑ අඩු වෙනකොට කන්න දෙයක් නැති වෙනකොට ලේසිම දේ තමයි බල්ලා. ගෙවල්වල බල්ලෝ ඉන්නකොට රෑට එනවා බල්ලව අරන් යන්න.” බව ද  මහාචාර්ය  ඉනෝකා පී කුඩාවිදානගේ පෙන්වා දෙයි.

 විශේෂයෙන්ම මීට වසර 20කට පමණ පෙර මධ්‍යම කඳුකරයේ බොහෝ කඳු මුදුන් තුළ තිබූ වනාන්තර පද්ධතිය මේ වනවිට අඩු වෙමින් පවතී. එයට ප්‍රධාන හේතුව තේ වගාව, එළවලු වගාව හෝ වෙනත් වාණිජ කටයුතු සඳහා යොදාගෙන තිබීමයි. එමෙන්ම කොටින්ට මෙන්ම අනෙකුත් සතුන්ගේ සංචරණයට ද සීමා ඇතිවී තිබේ. මෙය ද කොටින්ගේ ආහාර සීමා වීමට  ප්‍රබල හේතුවක් වී තිබේ.

මේ අතර වැඩි වශයෙන් නාගරීකරණයට ලක්වූ ප්‍රදේශයන්ට කොටි පැමිණෙන්නේ නැති වුවත් යම් ආකාරයක කැලෑ කොටස් ඉතුරු වී ඇති ගම්මාන ප්‍රදේශ තුල කොටි  රැඳී සිටින බවයි වනජීවී නිලධාරීන් පවසා සිටින්නේ.

”විශේෂයෙන්ම කොටි මේ තේ වතු ආශ්‍රිතව ගැවසීමට ප්‍රධානතම හේතුව තමයි වනාන්තර බෙදිලා තියෙන්නේ මේ තේ වතුවලින්. එතකොට මේ හරහා තමයි මේ සතුන් ගමන් කරන්න ඕන. ඒ නිසා මේ අය ගොඩක් රැඳෙන්නේ මේ දෙක වෙන්වෙන මායිම්වල ” බව ද  මහාචාර්ය  ඉනෝකා පී කුඩාවිදානගේ පෙන්වා දෙයි.

අනියත බිය

  බොහෝ දුරට මෙම ප්‍රදේශ තුළ  කොටි  මිනිසුන්ට පහර දීමක් සිදු නොවන අතර බල්ලන් සොයා එන කොටියන් දුටු මිනිසුන් බියට පත්වී දුවන විට විවිධ අනතුරුවලට පත්වී තිබෙන බව ප්‍රදේශයේ සිදුකළ නිරික්ෂණයක දී තහවුරු වූ දෙයකි.

  මේ තත්වය තුළ 2015 වර්ෂයේදී ඔක්තෝබර් සිට 2016 ජනවාරි යන මාස දක්වා වූ  සුළු කාලය තුල නුවරඑලිය දිස්ත්‍රික්කයේ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් කොටි මරණ 10ක් පමණ වාර්තා වී තිබේ. එම කොටි මරණ සිදුව ඇත්තේ විවිධ මිනිස් ක්‍රියාකාරකම් නිසා ය. මෙසේ කොටි මරණ වාර්තා වූ ප්‍රදේශ අතර ආගරපතන, දොළොස්බාගේ ,ගම්පොල වැව තැන්න , ගලහ පුපුරැස්ස , නිදුල පතන , රෝසෙල්ල යන ප්‍රදේශ වේ. එම කාලයේදී එම  ප්‍රදේශවල  ජනතාව නිරන්තරයෙන් ජිවත් වී ඇත්තේ  කොටින් පිළිබඳව ඇති බියෙන් බවයි ප්‍රදේශවාසීන් කියා සිටින්නේ.

”මේ වනවිට අපේ ලයිමේ බල්ලෝ පස්  දෙනෙක් පමණ ගෙනිහින් තියෙනවා. හැබැයි මිස්සුන්ට පැනලා නෑ. මිනිස්සු නැතිවෙලාවට ඇවිල්ල බල්ලෝ අරන් යනවා. මෙහෙ පොඩි ළමයි ඉන්න නිසා තමයි අපිට බය” බව පි. පත්මා පවසයි.

පි. පත්මා

” ඉස්සර අපේ ගෙවල් ආරක්ෂාවට ගොඩක් බල්ලෝ හිටිය අපි උදේ පාන්දර අටට විතර වැඩට යනවා. ඒ නිසා අපි ගෙවල්වල ආරක්ෂාවට තමයි බල්ලෝ ටික හැදුවේ. දැන් ඒ බල්ලෝ ටික දිවියෝ අරන් යනවා. අපි දැන් බල්ලෝ හදන්නේ ගේ ඇතුලේ තියාගෙන. අපේ බල්ලත්  කොටියා අරන් යනකොට කොටියට ගහලා අයියා බල්ලව බේරාගත්තා  .ඉස්සර මේ හැම  තැනම තේ තිබුණා. දැන් මේක කැලේ වෙලා. කොටි ඒ කැලේට වෙලා ඉන්නනවා.” මුනියාදී තංගරාජා පවසයි.

මුනියාදී තංගරාජා 

මිනිස්සු සහ කොටින් අතර ගැටුමක් නෑ .කොටින් ගමට එන්නේ බල්ලන් අල්ලන්න. එතකොට ගම්මු බය වෙනවා. මේ නිසා මිනිස්සු විවිධ දේවල් කරලා මේ සත්තු මරනවා. ඒක අපරාධයක්. කොටින්ට පෙනෙන්න බල්ලන් නොසිටියොත්  සමහරවිට උන් එන එක නැවතිය හැකිබව ප්‍රදේශයේ කොටි මිනිස් ගැටුම අවම කිරීම වෙනුවෙන් රාජකාරියේ නිරතව සිටි පශු වෛද්‍යවරු පවසති.

කොටියෙකුගේ ප්‍රහාරයට ලක්ව දිවි බේරාගත් බැල්ලියක්

    කොටින් මේ ප්‍රදේශවලට එන්න තවත් හේතුවක් තමයි ඒ සත්තු ජීවත්වුණු ප්‍රදේශ තුල සිදුවන කැළෑ ගිනි තැබීම, අනවසර හෙලිකිරීම්. අනෙක් කාරණය, මේ සත්තු අල්ලලා ගිහින් දාලා මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. මොකද මෙයාලා ජීවත්වන්නේ විවිධ  ප්‍රදේශ තුල තම අනසක පතුරවගෙන. එක ප්‍රදේශයක තුන්දෙනෙක් හතර දෙනෙක් ඉන්නවා. එයාලා එතන නැති බව දැන ගත්තම තවත් කොටි කීප දෙනෙක් ඒ ප්‍රදේශවලට ඇවිත් ජිවත් වන බව  වනජීවී පශු වෛද්‍යවරු පෙන්වා දෙති.

  මේ වනවිට  මේ කොටි ප්‍රශ්නය තිබෙන  ප්‍රදේශ  තුල නිලධාරින් කණ්ඩායම් යොදවා නිරන්තර පරික්ෂාවට ලක්කිරීම මෙන්ම කොටින් ගම්මානවලට ඇතුළු වන ස්ථාන හඳුනාගෙන එම ප්‍රදේශ දැල් මගින් ආවරණය කිරීමේ ක්‍රමවේදයක්  ක්‍රියාත්මක කරන බව ප්‍රදේශයේ වනජීවී නිලධාරීන් පවසා සිටි.

කෙසේනමුත් මෙම ගම්මානවල ජිවත් වන ජනතාව වතු හිමියන්ගෙන් ඉල්ලා සිටින්නේ තම ලයින් කාමර අවට ප්‍රදේශය  මීටර් පනහක් පමණවත් හෙලිකර  දෙන ලෙසයි. ඒ තුලින් කොටි ගමට ඒම අඩු විය හැකි බව ඔවුහු පෙන්වා දෙති.

කොටි මරණ පාලනයට කළ දේ

   දැඩි ආරක්‍ෂිත සත්වයෙකු වන ශ්‍රී ලංකාවේ ජිවත්වන  කොටියා 2009 අංක 22 දරන පනතින් අවසන් වරට සංශෝධිත වනසත්ව වෘක්ෂලතා ආඥා පනතට අනුව කොටියෙකු මරණයට තැත්කිරීම, ඒ සඳහා උගුල් ඇටවීම, ඝාතනය කළ සතාගේ ශරීර කොටස් ළඟ තබා ගැනීම දඬුවම් ලැබිය හැකි වරදක් වේ. එම වැරදි සිදුකොට වරදකරුවෙකු වන පුද්ගලයෙකු හට රුපියල් 30,000 සිට 100,000 දක්වා වූ දඩයකට හෝ වසර දෙකකට වැඩි වසර හයකට නොවැඩි සිර දඬුවමකට හෝ එම දඬුවම් දෙකටම යටත් කිරීමට අධිකරණයට බලය තිබේ.

ඇත්තෙන්ම මේ මදු කොටින්ට යොදන ඒවා නොවේ. නමුත් කොටි හසුවුණොත් තමයි ප්‍රශ්නය එන්නේ. ඒ ගැන කතාකරන ප්‍රමාණයත් අඩුයි, නැත්නම් මේ පරිසරය තුල තවමත් මේ මදු තියෙන බව  ශ්‍රී ලාංකීය දිවියන්ගේ උප විශේෂ සම්බන්ධයෙන් පර්යේෂකයෙකු වන  අංජලී වොට්සන් මහත්මිය පවසයි.

”ලංකාවේ කොටි මිනිස් ගැටුම ගැන බොහෝ අය පෙන්වා දෙන ආකාරය අනුව තමයි ඉස්සරහට ඇවිල්ල තියෙන්නේ නැතිනම් එතරම් ගැටළුවක් මේ වනතෙක් දකින්න නෑ. ඒ වගේම ලොක්ඩවුන් එකේදී නගර ආශ්‍රිතව හිටපු මිනිසුන් ගොඩක්දෙනා එළවලු වගාවන් සඳහා ස්වභාවික කැළෑ ප්‍රදේශ හෙළි කරලා තියෙනවා. එතකොට ඒ වටා හේතු දෙකක් මත මේ මදු යොදනවා. එක හේතුවක් තමයි ඌරන් ඇතුළු  සතුන්ගේ මස් ලබාගැනීමට. අනෙක් කාරණාව තමයි තමන්ගේ වගාවන් ඌරන්ගෙන්, ඉත්තෑවන් ඇතුළු  අනෙක් සතුන්ගෙන් ආරක්ෂා කරගන්න. නමුත් මේ මදු යෙදීමේදී මේ සතුන්ට විතරක් සීමා කරගෙන යොදන්න බෑ. ලොකු සතෙකුගේ නම් බෙල්ලට හෝ ඉන ප්‍රදේශයට තමයි මේ උගුල වැටිලා තද වෙන්නේ. එතකොට මිනිසුන් ළඟට යන්න යන්න එම සතුන් ගැලවෙන්න උත්සහ දැරීමේදී උගුල තදවී  තුවාල වෙන්න පුළුවන්.”

  ‘’මේ පැන්ඩමික් කාලයේදී  කොටි මරණ වල  වැඩි වීමක් තියෙනවා. විශේෂයෙන්ම මිනිසුන් ගම්මානවලට ගියා එළවලු කොටුව රැක  ගන්න වගේම  දඩ මස් ගන්න ආදී බොහෝ දේවල් නිසා තමයි මේ වැඩිවීම වෙලා තියෙන්නේ’’.

 .ඒ සමගම මේ මදු දාන එකත් වැඩි වීමක් වෙලා. කොටි ඒවාට අහුවෙන එකත් වැඩි වෙලා තියෙනවා කියලා පසුගිය දත්තවලින් පෙනෙන්නේ. හැබැයි කලින් අවස්ථාවලත් ඒ වැඩි වීම තිබිල තියෙනවා. නමුත් ඒක මෙතරම් පෙන්නුම් කළේ නෑ. මේක නතර කරන්න ඕන නම් හැමෝම එක හා සමාන නිවැරදි  තොරතුරු සමාජගත කරන්න ඕන. අනෙක් කාරණය තමයි මිනිසුන් බය කරන තොරතුරු සමාජගත කිරීමෙන් වලකින්න ඕන.  ඒ වගේම කැලැ ප්‍රදේශ හෙළි කරලා ඒවායේ මිනිසුන් පදිංචි කිරීමෙන් වලකින්න ඕන. මේවා නිවැරදි කරගත්තොත් අපිට මේ කොටි මෙන්ම අනෙත් වන සතුන් ද රැක ගන්න පුළුවන්” බව ද වොට්සන් මහත්මිය පෙන්වා දෙයි.

  මේ තත්වය පාලනය  කරන්න ප්‍රදේශයේ මස් විකිණීම නවතා දැමීම සඳහා මස් විකුණන -සතුන් දඩයම් කරන පුද්ගලයන් සොයා වැටලීම් සිදුකරමින්  දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගනිමින් ඉන්නවා සේම  වතු සමාගම්, වතු අධිකාරීවරුන් මෙන්ම මිනිසුන් ද දැනුම්වත් කරමින් තිබෙන නිසා පසුගිය වසර දෙක තුලදී මදුවලට අසුවී සිටි කොටි 09 දෙනෙකු මුදාගැනීමට හැකිවූ බව වනජීවී දෙපාර්තමේන්තුවේ සමනල අඩවිය භාර වනසත්ව අඩවි ආරක්ෂක ඩි .පි ශ්‍රියාසිංහ  මහතා පවසයි.

   ”මිනිස්සු දැනුම්වත් කරලා තියෙන නිසා උගුල් අටවන අය වගේම කොටියෙකු උගුලකට හසු වුවොත් ඉක්මණින්ම  තොරතුරු අපිට ලැබෙනවා. ඒ තුල මේ ප්‍රශ්නය අවම කරගෙන තියෙනවා, ඒ වගේම මේ කොටියා ලංකාවට ආවේනික රැක ගත යුතු  උප සුවිශේෂී විශේෂයක් ලෙස ද මිනිසුන් දැනගත යුතුයි” බව ද හෙතෙම පෙන්වා දෙයි.

   ඒ වගේම ගොඩක් අය කියනවා වන සතුන් අපේ ප්‍රදේශවලට ඇවිල්ල කියලා. නමුත් අපි කළ පර්යේෂණවලදී ලබාගත් තොරතුරුවලදී මෙම මදු යොදලා තියෙන්නේ වනාන්තර ප්‍රදේශ තුල. එතකොට ඕනෑම සතෙකුට මේකෙන් හානියක් වෙන්න පුළුවන්. අනෙක් කාරණය තමයි රාත්‍රී මෙන්ම දවල් කාලයේ දී   ඕනෑම වෙලාවක මේ මදුවලින් හානි විය හැකි වීම. ඒක නිසා මේ මදු අපි දැක්කොත් ඒ වෙලාවේදීම ගලවන්න ඕන. නැත්නම් වනජීවී නිලධාරීන් දැනුම්වත් කරන්න ඕන. මදු දාන අයත් ගොඩක් ඒ ගැන හිතන්න ඕන. මේක වල්ඌරන්ට විතරක් වැටෙන එකක් නොවේ. අනෙක් සියලු වනජීවින්ට මේකෙන් බලපෑමක්. ‘’ බව ද අංජලී වොට්සන් මහත්මිය පවසයි.

  දිවියන් ගැටුම සහ දඩයම් කිරීම අවම කිරීමගොදුරු සංඛ්‍යාව ස්ථාවර කිරීම සහ වැඩි කිරීම නීතිමය සම්බාධක වැඩි කිරීම සහ දඩයම් කිරීම අඩු කිරීම මගින් අපට දිවියන් ආරක්ෂා කළ හැකි ය.

  කෙසේ නමුත් ශ්‍රී ලංකාවට ආවේනික සත්වයෙකු වන මෙම කොටි උප විශේෂය රැක ගැනීමට නිලධාරීන්, පර්යේෂකයින් දක්වන මෙම කැපකිරීම පමණක් හුදෙක් ප්‍රමාණවත් නොවන්නකි. ඒ සදහා  ජනතාවගේ ද වගකීමක්, යුතුකමක් තිබිය යුතු ය.

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි

මෙම කතාව EJN සහ Internews විසින් අනුග්‍රහය දක්වන CIR හි ‘Stories from the Margins” වැඩසටහන යටතේ ජනමාධ්‍ය සහයෝගීතාවයේ කොටසක් ලෙස නිෂ්පාදනය කරන ලදී. එය මුලින් පළ වූයේ අද පුවත්පතේය.