Thursday, March 28, 2024
HomeAuthenticatorදේශපාලඥයන් හා මාධ්‍ය මැවූ කොරෝනා දේශීය ඖෂධ රැල්ල

දේශපාලඥයන් හා මාධ්‍ය මැවූ කොරෝනා දේශීය ඖෂධ රැල්ල

  • දේශීය නිෂ්පාදන කිසිවක් කොවිඩ් සඳහා සුදුසු බවට අනුමැතීන් ලැබී නැහැ
  • දේශපාලඥයන් හා මාධ්‍ය ප්‍රචාරය දුන් නිෂ්පාදන තවම තහවුරු වූ ඒවා නොවෙයි
  • ධම්මික පැණියට ආහාර අතිරේකයක් ලෙසවත් කිසිදු අනුමැතියක් නැහැ
  • එක බෙහෙතක් අල්ලා ගත්තේ අපි නෙමෙයි මාධ්‍යයි – රාජ්‍ය ඇමති සිසිර ජයකොඩි

කොවිඩ් -19 වසංගතයෙන් ගැලවීමට ප්‍රතිකාර බව පවසමින් මෙරට තුළ විවිධ දේශීය නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම රාජ්‍ය මෙන්ම රාජ්‍ය නොවන අයුරින් ද සිදුවූයේය. ඊට අති දැවැන්ත මාධ්‍ය අනුග්‍රහයන් ද ලැබෙමින් තිබුණේය. මෙවැනි ප්‍රවර්ධනයන් හේතුවෙන් ඇතැම් නිෂ්පාදන ලබා ගැනීමට රටේ මහජනතාව විවිධ ප්‍රදේශවල සි‌ට පැමිණ එක් රොක් වන පසුබිමක් ද නිර්මාණය වී තිබෙන්නේය. ගැටලුව වන්නේ මේවාට රාජ්‍ය අනුග්‍රහන් ලැබෙන්නේ ද දැවැන්ත මාධ්‍ය අනුග්‍රහන් ලැබෙන්නේ ද කුමන විද්‍යාත්මක පසුබිමක් මත ද යන්නය. එමෙන්ම මෙවැනි නිෂ්පාදන සම්බන්ධයෙන් නිසි ප්‍රමිතියක් හෝ අනුමැතීන් තිබේ ද යන කරුණු සම්බන්ධයෙන් තිබෙන්නේ ද අපැහැදිලි තත්ත්වයකි. ඇතැම් දේශපාලඥයන් ද විවිධ බලධාරීන් ද මේවා ප්‍රවර්ධනය කරමින් සිටින්නේ කුමන පදනමක් මත ද, ඒවාට තිබෙන පැහැදිලි අනුමැතීන් මොනවා ද, ඒවා කොවිඩ් වෛරසය සඳහා වන ඔෂධ ද ආදිය සම්බන්ධයෙන් මේ හරහා විමසීමට ලක්වේ.

අමාත්‍යවරුන්ගේ අනුග්‍රහයන්

පසුගිය කාලය පුරා මෙවැනි දේශීය ඖෂධ හා නිෂ්පාදන පිළිබඳ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍ය ජාල හරහා ද දැවැන්ත ප්‍රචාරයන් සිදුවූයේය. එම ඇතැම් නිෂ්පාදන කොරෝනා වලට ප්‍රතිකාර බවට පරීක්ෂණ වලින් සනාථ වී ඇති බවත් ඒවාට පූර්ණ අනුමැතීන් ලැබී ඇති බවත් ප්‍රචාරය වූයේය. ඒ ඇතැම් නිෂ්පාදන කොවිඩ් වලට ප්‍රතිකාර බවට ප්‍රවර්ධනය කළ අමාත්‍යාවරු අතර දේශීය වෙදකම ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි ප්‍රධාන ස්ථානයක් ගත් අතර ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන වැනි අය ද එවැනි දේශීය නිෂ්පාදන කොවිඩ් සඳහා ප්‍රතිකාර ලෙස තහවුරු වී ඇති බවට සමාජ මතයක් නිරීමාණය කරමින් තිබුණේය. සුවධරණී, සුදර්ශන, ධම්මික පැණිය ආදී වශයෙන් විවිධ නිෂ්පාදන වලට මාධ්‍ය තුළ ද ඒ අනුව දැවැන්ත ඉඩක් වෙන් වන්නේය. ( https://bit.ly/3ad9QZn https://bit.ly/36lqg0S https://bit.ly/3pqHFNe https://bit.ly/2L2lpu8)

ඒ බොහෝ නිෂ්පාදන සම්බන්ධයෙන් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍ය ද වාර්තා කර තිබුණේ ඒ්වාට දේශීය ඖෂධ ලෙස ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතීන් ලැබී ඇති බව පමණක් නොව ඇතැම් ඖෂධ කොරෝනා රෝගය සඳහා යොදා ගත හැකි බවත් ඒ සම්බන්ධව පරීක්ෂණ කර තහවුරු වී ඇති බැවින් ඒ්වා රජයේ රෝහල්වල යොදා ගැනීමට තීරණය කර ඇති බවත් විශය භාරව සිටින අමාත්‍යවරු ප්‍රකාශ ද නිකුත් කරනු ලැබීය. (https://bit.ly/3ptHtfU https://bit.ly/2KWq6p7)

දැවැන්ත මාධ්‍ය ප්‍රචාරණ

ඊට අමතරව විවිධ පුද්ගලයයන් විසින් ද කොවිඩ් සඳහා ප්‍රතිකාර සොයාගත් බවට විවිධ ප්‍රකාශ නිකුත් කරමින් සිටි අතර ඒවායේ පදනම සම්බන්ධයෙන් එතරම් සැලකිලිමත් නොවෙමින් මාධ්‍ය ද ඒවාට හඬක් ලබා දී තිබුණි.

කොවිඩ් සඳහා සාර්ථක දේශීය නිෂ්පාදනයක් සොයාගත් බවට සඳහන් කළ කෑගල්ලේ ධම්මික බණ්ඩාර නම් පුද්ගලයාට විශේෂයෙන් රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි ඇතුලු තවත් මැති ඇමතීන් ද හේතුවෙන් විශාල ප්‍රචාරයක් ලැබුණි.  ඒ අනුව මහජනයාගේ විශාල අවදානයක් ද ඊට යොමු වූයේය. එම නිෂ්පාදනය භාවිතය මගින් කොවිඩ් රෝගය සුව කළ හැකි බවටත් රෝගය නොවැළඳුනු පුද්ගලයන්ට ජීවිතාන්තය දක්වා රෝගය නොවැළඳෙන බවටත් එහි නිෂ්පාදකයා සිදුකරන ප්‍රකාශ වලට ප්‍රධාන මාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍යවලට විශාල ඉඩක් හිමි වූයේය. එමෙන්ම එම ප්‍රකාශ අනුමත කරමින් විශය භාර අමාත්‍යවරු ද එය ප්‍රවර්ධනය කළෝය. අදාල නිෂ්පාදනය වතුපිටිවල රෝහලේ කොවිඩ් රෝගීන් පිරිසකට ලබා දී පරීක්ෂා කළ බවත් එය ලබාගත් රෝගීන්ගේ පීසීආර් පරීක්ෂණ වලින් හෙළි වූයේ ඔවුන්ට රෝගය සුව වී ඇති බවත් විශාල වශයෙන් ජනගත කිරීම් සිදුවූයේය. ඊට ආහාර අතිරේකයක් ලෙස ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සූත්‍ර කමිටුවෙන් අවසර ලබා දී තිබෙන බවට ද මේ අතර මාධ්‍ය වාර්තා පළ වූයේය. (https://bit.ly/2Mbhpbb https://bit.ly/3omVxqt)

එමෙන්ම මෙරට සෞඛ්‍ය අමාත්‍යවරිය ද ඇතුලු තවත් මැති ඇමතිවරු ගණනාවක් මෙම නිෂ්පාදනය භාවිතා කරන ආකාරය මාධ්‍ය මගින් ප්‍රචාරය වූයේය. ඒ සමග අදාල නිෂ්පාදනය සිදුකළ පුද්ගලයා විසින් එය ජනතාවට බෙදා දීම ආරම්භ කළ අතර දහස් ගණන් ජනයා කෑගල්ල ප්‍රදේශයට එකතු වූයේ ඒවා ලබා ගැනීමටය. කොවිඩ් වලට දේශීය ඖෂධයක් මෙරට තුල නිෂ්පාදනය වී ඇති බවත් එය පරීක්ෂණ මගින් තහවුරු ව ඇති බවත් ප්‍රචාරය වීම නිසා එය ලබා ගැනීමට පැමිණි පිරිස විශාලය. එම ජන ගංගාවට මෙරට ආරක්ෂක අංශවල සාමාජිකයන් ද එක්ව සිටි අතර ඔවුන් ද අදාල දේශීය නිෂ්පාදනය ලබා ගන්නා අයුරු මාධ්‍ය හරහා ප්‍රචාරය වූයේය. එමෙන්ම ආගමික නායකයන් වෙත ද එම දේශීය නිෂ්පාදනය පිළිගන්වන අයුරු මාධ්‍ය මගින් ප්‍රචාරය වූයේය. (https://bit.ly/3qYY4sr https://bit.ly/3ckrygc https://bit.ly/3pvJcBq https://bit.ly/3pwq728 https://bit.ly/2YkIqvl https://bit.ly/36n44mX)

කෑගල්ලේ ධම්මික බණ්ඩාර විසින් නිෂ්පාදනය කරන ලද ඖෂධයට දේශීය ඖෂධයක් ලෙස ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සුත‍්‍ර කමිටුව විසින් දෙසැම්බර් 21 අනුමැතිය දුන් බව දේශීය වෙදකම් ප‍්‍රවර්ධන, ග‍්‍රාමීය හා අයුර්වේද රෝහල් සංවර්ධන හා ප‍්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යශයේ ලේකම් කුමාරි වීරසේකර පැවසූවේ යැයි සඳහන් කරමින් ප්‍රධාන ධාරාවේ ඇතැම් මාධ්‍ය වාර්තා කළේය. එම අනුමැතිය ලබා දී තිබුණේ ඒ සම්බන්ධයෙන් වන සියළුම තාක්ෂිණික වාර්තා ඇගයීමට ලක්කර බව ද ඇය පැවසූ බව එහි සඳහන් කරන්නේය. කෙසේ වෙතත් අදාල සහතිකයේ කොරෝනා වෛරසයට එරෙහි ඖෂධයක් බවට සඳහන් නොවන බැවින් නිෂ්පාදකයා ඊට විරෝධය පළ කරන අයුරුද එහි දක්නට ලැබෙන්නේය. (https://bit.ly/2YkicJi )

ජාතික හා අන්තර්ජාතික වෙළඳාම

දිනෙන් දින එම නිෂ්පාදනය ලබා ගැනීමට තව තවත් පිරිස් එක් රැස් වූ අතර එම නිෂ්පාදනය තොග වශයෙන් මිල දී ගෙන සේවක සේවිකාවන්ට ලබා දීමට ශ්‍රී ලංකා වරාය අධිකාරිය වැනි ඇතැම් රාජ්‍ය ආයතන ද කටයුතු කර තිබුණි. එම නිෂ්පාදනයට ඒ අනුව මෙරට තුළ වෙළඳපොළක් නිර්මාණය වෙද්දී එය ලොව පුරා සිටින අයට ද මිල දී ගත හැකි වන අයුරින් eBay online සේවාවට ද එක් කර තිබුණි. Corona Vaccine ලෙස නම් කර තිබූ එහි මිල ඩොලර් 250ක් බව එහි සටහන්ව තිබුණි. එනම් එය මෙරට මුදලින් රු.48124/-ක් පමණ වටිනාකමකි. එම දැන්වීම සඳහා සෞඛ්‍ය අමාත්‍යවරිය එම නිෂ්පාදනය පානය කරන අවස්ථාව, කතානායකවරයාට සහ අමාත්‍යවරු පිරිසකට නිෂ්පාදනය පිළිගන්වන අවස්ථාව, විශාල ජන ගංගාවක්  නිෂ්පාදනය ලබා ගැනීමට කෑගල්ලට රැස් වූ අවස්ථාව ආදියෙහි ඡායාරූප ද යොදාගෙන තිබුණි. කෙසේ වෙතත් එම දැන්වීම eBay වෙතින් මේ වන විට ඉවත්කරගෙන තිබේ.

දේශීය නිෂ්පාදන හිතුමතේ බෙදීම

විශේෂයෙන්ම ධම්මික පැණිය නම් නිෂ්පාදනය සොයා විශාල පිරිසක් යන පසුබිමක මෙම දේශීය නිෂ්පාදන සම්බන්ධයෙන් ලැබී ඇති අනුමැතීන් මොනවාද යන්න පිළිබඳ සොයා බැලීමේ අරමුණින් අපි දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කුමාරි වීරසේකර ඇමතුවෙමු. ඇය සඳහන් කළේ දැනට කිසිදු දේශීය නිෂ්පාදනයකට කොවිඩ් ඖෂධ බවට අනුමැතීන් කිසිවක් ලැබී නැති බවය. “ධම්මික පැණිය දැනට ජනතාවට බෙදාහැරීම් සිදුවන ඒවාට අපේ කිසිම සම්බන්ධයක් නැහැ. ඒක වෙද මහත්මයා ඔහුගේ අදහස අනුව කරන දෙයක්. ධම්මික පැණිය සම්බන්ධයෙන් අපි කරන්නේ සායනික පරීක්ෂණයක්. ඒක දැනට කරන්නේ අනුරාධපුරය මෙත්සිරි සෙවණේයි.  අදාල කොන්දේසි සලකා බැලූ විට එම පරීක්ෂණය සඳහා රෝගීන් යොදාගැනීමට සිදුවෙන්නේ තුන් හතරදෙනා බැගින් ටික ටිකයි. මොකද ඒකට රෝගීන්ගේ කැමැත්ත තියෙන්න ඕනෑ. ඒවගේම දියවැඩියාව අධික රුධිර පීඩනය වැනි රෝග තිබෙන අයත් පරීක්ෂණයට යොදා ගන්නේ නැහැ. භාෂා තුනෙන්ම පත්‍රිකා ලබා දී මෙම පරීක්ෂණයට කැමැත්ත හෝ අකමැත්ත සම්බන්ධයෙන් ලිඛිතව රෝගීන්ගෙන් ලබා ගන්නවා. කැමැත්ත ලබා දෙන අයට ඖෂධය දීමට පෙර පීසීආර් පරීක්ෂණය සිදුකරනවා. සමහර වෙලාවට ඒ සමහර අයට මුලින් ආසාදිතව සිටියත් ඒ අවස්ථාව වන විට නෙගටිව් බවට පත් වෙනවා. ඒ අයත් පරීක්ෂණයෙන් ඉවත් කරනවා. ඉතිරි අය අතරින් ඇතැම් අයට පරීක්ෂා කරන බෙහෙතත් තවත් කණ්ඩායමකට ඒ හා සමාන වෙනත් දෙයක් ලබා දෙනවා. එවැනි පරීක්ෂණ ක්‍රමවේදයක් තමයි සිදුවෙන්නේ. ඒ නිසා මේ පර්යේෂණය සිදුවන්නේ අපි හිතුවාට වඩා හෙමින්. තවම ධම්මික පැණියට අනුමැතියක් ලැබිලා නැහැ, ඒක අනුමත කරනවා ද නැද්ද කියන දේ තීරණය වෙන්නේ කොවිඩ් රෝගීන්ට ලබා දී ඉන් ලැබෙන ප්‍රතිඵලය මතයි.” ඇය ප්‍රකාශ කළාය. දැනට ආයුර්වේද වෛද්‍ය සභාවේ අනුමැතිය ඇති සුවධරණී, ගුඩිත්වාදී චූර්ණය වැනි නිෂ්පාදනවල ද පාරම්පරික ගුණ තිබෙන බව පිළිගැනුන ද ඒ කිසිවක් කොවිඩ් සඳහා ගැලපෙන බව කිව නොහැකි බව ද ඇය පැවසුවාය. එසේ කිව හැකි වන්නේ සායනික පරීක්ෂණයක ප්‍රතිඵල අනුව පමණක් බවත් ඒවා ප්‍රතිශක්තිය වර්ධනය වීම සම්බන්ධයෙන් පමණක් වන බව ද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

අනුමැතීන් තවම නැහැ

කොවිඩ් වෛරසයට ප්‍රතිකාර ලෙස ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතීන් ලැබී ඇති බවට විවිධ නිෂ්පාදන සම්බන්ධයෙන් දේශපාලඥයන් ද ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ද සමාජ මාධ්‍ය තුළ ද ප්‍රචාරය කළ බැවින් ඒවා සම්බන්ධයෙන් සැබෑ තත්ත්වය කුමක්දැයි අපි ආයුර්වේද දෙපාර්තමේන්තුවෙන් ද විමසුවෙමු. එම දෙපාර්තමේන්තුවෙන් සඳහන් කළේ කොවිඩ් වෛරසය පැතිරීම සමග විවිධ පුද්ගලයන් විවිධ දේශීය නිෂ්පාදන ලියාපදිංචිය සඳහා ඉදිරිපත් කර තිබුණත් ඒ කිසිවකට කොවිඩ් සඳහා ඖෂධ යැයි අනුමැතීන් කිසිවක් ලබා දී නැති බවය.

නිෂ්පාදන දෙකක් පමණක් ප්‍රතිශක්තීකරණ වර්ධක පාන ලෙස දැනට ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇති බවත් ඒවා Xcrimmune සහ Epirepies යන නිෂ්පාදන දෙක බව ද සඳහන් වූයේය. ඒවා ද කොරෝනා සඳහා නොව උණ සෙම්ප්‍රතිශ්‍යාව වැනි ආසදන වලින් වැළකීමට අවශ්‍ය ප්‍රතිශක්තිය වර්ධන නිෂ්පාදනයන් ලෙස වෙළඳපොළට ඉදිරිපත් කිරීමටත් අදාල වෛද්‍යවරයන් විසින් ලබා දීමටත් ඒ අනුව හැකියාව ඇති බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. තවත් නිෂ්පාදන ලියාපදිංචියට ඉල්ලුම් තිබුණත් නිෂ්පාදනාගාර ලියාපදිංචිය, අදාල ආකාරයට ගොනු ලබා දීම, සූත්‍ර කමිටු පරීක්ෂණය ආදී සියලු කටයුතු සම්පූර්ණ වන තුරු ඒ කිසිවකට ලියාපදිංචිය ලබා දී නැති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ධම්මික බණ්ඩාර නම් පුද්ගලයාගේ නිෂ්පාදනාගාරය පමණක් මේ වන විට ලියාපදිංචි වුවත් එම නිෂ්පාදනයට තවමත් ප්‍රතිශක්තිජනක පානයක් ලෙස ලබා දීමටවත් අනුමැතිය දී නැති බව ද ආයුර්වේද දෙපාර්තමේන්තුව තහවුරු කරයි. එම නිෂ්පාදනය සම්බන්ධයෙන් විශාල ආන්දෝලනයක් ඇති වූ බැවින් හා ඒ සම්බන්ධයෙන් සාකච්ඡා පැවති බැවින් එය සායනික පරීක්ෂණයකට යොදා ගැනීමට පමණක් තාවකාලිකව තෙමසක කාලසීමාවක් සඳහා කොමසාරිස්වරයා අවසර ලබා දී ඇති බව ද ආයුර්වේද දෙපාර්තමේන්තුව දැනුම් දුන්නේය.

ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ආයුර්වේද කොමසාරිස් චතුර කුමාරතුංගගෙන් මේවා සම්බන්ධයෙන් විමසූ විට ඔහු පැවසුවේ මෙවැන්නකි. “කොවිඩ් සම්බන්ධයෙන් කිසිදු ඖෂධයක් තවම ලියාපදිංචි කර නැහැ. ලියාපදිංචි කර තිබෙන කීපය ප්‍රතිශක්තිජනක ඖෂධ පමණයි. නිෂ්පාදන තිහක් පමණ සංඛ්‍යාවක් ආයුර්වේද සූත්‍ර කමිටුවට ඉදිරිපත් වී තිබෙනවා. මේ වන විටත් තවත් නිෂ්පාදන ඉදිරිපත් වෙමින් තිබෙනවා. ඒ කිසිම ඖෂධයක් කොවිඩ් සඳහා සෘජුවම අදාලයි කියා අපට කියන්න බැහැ. ‍මොකද ඒවා සම්බන්ධයෙන් තීරණය කළ හැකි වන්නේ කොවිඩ් රෝගීන් සඳහා ලබා දී කරන සායනික පරීක්ෂණකට පසුයි.” කෙසේ වෙතත් විශාල ප්‍රචාරයක් ලබා දී තිබෙන ධම්මික බණ්ඩාර නැමැත්තාගේ නිෂ්පාදනය පමණක් මේ වන විට සායනික පරීක්ෂණයක් සඳහා යොදා ගැනීමට අනුමැතිය දීමේ පදනම සම්බන්ධයෙන් විමසූ විට ඔහු පැවසුවේ එම නිෂ්පාදනය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වූ කමිටුවකින් තීරණය වූයේ එය විධිමත් පරීක්ෂණයකට ලක් කර එහි ප්‍රතිඵල අනුව ජනතාවට එහි සත්‍ය තත්ත්වය දැනුම් දිය යුතු බවය. ඒ අනුව සායනික පරීක්ෂණය කිරීමට තීරණය වූ බව ඔහු පැවසුවේය.

අදාල නිෂ්පාදනය සම්බන්ධයෙන් ඊට පෙර වතුපිටිවල රෝහලේ පරීක්ෂණ සිදුවූ බවත් ඉන් එම නිෂ්පාදනය කොවිඩ් මර්දනයට ප්‍රතිකාරයක් බවට සනාථ වූ බවට වූ ප්‍රචාරයන් සම්බන්ධයෙන් විමසූ විට කොමසාරිස්වරයා පැවසුවේ, “ඒ ගැන හරියටම දන්නේ නැහැ. ඒ ගැන ප්‍රචාරය වුණේ මාධ්‍ය වලින්මයි. ජනතාවට හරි දේ මොකක්ද කියන දේ පහදා දීම තමයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ කමිටුවෙන් තීරණය වුණේ. ඒ අනුව සායනික පරීක්ෂණයක් කිරීමට තීරණය කළා. ඊට මූලික එකඟතාවය දෙපාර්තමේන්වෙන් ලබා දුන්නා.” යනුවෙනි.

අදාල නිෂ්පාදනය ආසාදිතයන්ට ලබා දීමේ දී යම් අතුරු ආබාධ ඇති නොවන බවට ඇති විශ්වාසය කුමක්දැයි විමසූ විට ආයුර්වේද කොමසාරිස්වරයා පැවසුවේ එහි ශරීරයට අහිතකර බැර ලෝහ, විෂ ද්‍රව්‍ය නොමැති බවට තහවුරු කරගෙන ඇති බවත් සායනික පරීක්ෂණයේ දී ද එය සාමාන්‍යයෙන් ලබා දෙනු ලබන්නේ රෝග ලක්ෂණ අවම හා වෙනත් රෝගාබාධ ද නොමැති අයට පමණක් බවත්ය.

කිසිදු අනුමැතියක් හෝ තවම සායනික පරීක්ෂණයකින් තහවුරු නොවූ දේශීය නිෂ්පාදන කොවිඩ් සඳහා ප්‍රතිකාර ලෙස දක්වමින් ප්‍රකාශ කළ දේශීය වෙදකම ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩිගෙන් අපි එසේ කිරීම සම්බන්ධව විමසුවෙමු. “දේශීය ඖෂධ වර්ග 37ක් පිළිබඳ දැනට අධ්‍යයනය කරනවා. ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතියෙන් තොරව ඒ කිසිදෙයක් ගැන කටයුතු කරන්න එපා කියන නිර්දේශය තමයි තියෙන්නේ. ප්‍රතිශක්තිකරණ පාන විධියටත් ඒවා පානය කරනවා. අපිට සායනික අධ්‍යයනයකින් තොරව කිසි දෙයක් කොවිඩ් වලට කියලා දෙන්න බැහැ. ඒ නිසා දැනට අපි කරන්නේ දේශීය වෛද්‍ය ක්‍රමයෙන් පිළියම් සෙවීම සඳහා වන කොවිඩ් මර්දනය කිරීම පිළිබඳ ජාතික කමිටුව විසින් සායනික අධ්‍යයනයකට සුදුසු බවට නිර්දේශ කරන ඒවාට සායනික අධ්‍යයනය කිරීමයි. ඒ සායනික අධ්‍යයනය සඳහා අවශ්‍ය අනුමැතිය තමයි සූත්‍ර කමිටුවෙන් ලැබෙන්නේ. ඒ හැරෙන්න කොවිඩ් වලට බෙහෙතක් කියලා අපි කිසිම දෙයක් දෙන්නේ නැහැ.” රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි පැවසුවේය.

සායනික අධ්‍යයනයකින් පසු සත්‍ය තත්ත්වය අනාවරණය කළ යුතු කිසිදු අනුමැතියක් නැති නිෂ්පාදනයක් ජනතාවට හඳුන්වාදීමත් එයට ආහාර අතිරේකයක් ලෙස ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබුණු බවට අසත්‍යක් සමාජගත කිරීමත් සම්බන්ධයෙන් වමසූ විට රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, “ සායනික අධ්‍යයනය සඳහා තමයි ඒකට අනුමැතිය දී තිබෙන්නේ. ඒකෙදී එහි ආහාරයකටවත් සුදුසු නැති බැර ලෝහ, වෙනත් රසායනික ද්‍රව්‍ය ආදී ශරීරයට අහිතකර ද්‍රව්‍ය කිසිවක් නැති බවට සූත්‍ර කමිටුව අනුමත කරනවා. ඒ කිසිම අවස්ථාවක ඒ එකක් විතරක් ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක අපි නැහැ. නමුත් මාධ්‍ය විසින් තමයි එක බෙහෙත් ද්‍රව්‍යක් පමණක් අල්ලාගෙන ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන් යන්නේ. බටහිර වෛද්‍යවරු කිහිපදෙනෙක් වතුපිටිවල රෝහලේ නිල නොවන මට්ටමේ කළ සායනික අධ්‍යයනයක ප්‍රතිඵල නිකුත් කර තිබුණා. එවැන්නක් සිදුව තිබූ නිසා ඒක ගැන අපි කීවත් ඒක අපි කළ දෙයක් නෙමෙයි. දැනට සේනක පිලපිටිය වෛද්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් හත්දෙනෙකුගේ කමිටුවක් විසින් සායනික පරීක්ෂණය කරගෙන යනවා. ඖෂධය සම්බන්ධයෙන් තීරණය වෙන්නේ ඒ පරීක්ෂණයෙන් ප්‍රතිඵල අනුවයි.” යනුවෙනි.     

ප්‍රවර්ධනය කළ අයට කොවිඩ් වැළඳීම

ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතියක් නැති නිෂ්පාදනයක් ප්‍රවර්ධනය වන අයුරින් එය මාධ්‍ය ඉදිරියේ පානය කළ මෙරට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි ද කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම නිසා මේ වනවිට වෛද්‍ය අධීක්ෂණය යටතේ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක රැඳී සිටින්නීය. එය දේශීය මාධ්‍ය පමණක් නොව ජාත්‍යන්තර මාධ්‍ය පවා වාර්තා කළේ ඇය කොවිඩ් සම්බන්ධයෙන් දේශීය නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීමේ සිදුවීම හාස්‍යයට ලක්වන අයුරිනි. (https://bbc.in/3iWbbb8  https://bit.ly/2Ypwb0l https://ab.co/2M4hdKZ https://bit.ly/2NNkXRz ) ඇය පමණක් නොව අදාල නිෂ්පාදනය භාවිතා කළ බවට පැවසුණු තවත් අමාත්‍යවරු සහ විවිධ පුද්ගලයන් ද කොවිඩ් ආසාදනයට ලක් වී ඇති බව විටින් විට වාර්තා වූයේය. (https://bit.ly/3t69FrG)

අප දන්නා විසඳුම එන්නතයි

මෙරට තුළ කොවිඩ් වලට ප්‍රතිකාර ලෙස විවිධ දේශීය නිෂ්පාදන ප්‍රවර්ධනය කරන පසුබිමක් නිර්මාණය කර තිබීම සම්බන්ධයෙන් ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යවරිය වන විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේගෙන් විමසූ විට ඇගේ පිළිතුර වූයේ මෙවැන්නකි. “අප දන්නා බටහිර වෛද්‍ය ක්‍රමය තුළ ඒවා දෙන්නේ නැහැ. අප දන්නා ක්‍රමය තුළ නම් රෝගය වළක්වා ගැනීමට අවශ්‍ය වන්නේ එන්නතයි. ඒ නිසා බටහිර වෛද්‍ය ක්‍රමය තුළ අපි බලාපොරොත්තු වෙන්නේ එන්නත් කිරීම තුළින් රෝගය වළක්වා ගැනීමයි. දැනට ලෝකයේ කොහේවත් කොරෝනා වෛරසය නැසීමට ප්‍රතිකාරයක් සොයාගෙන නැහැ. සොයාගෙන තිබෙන්නේ එන්නත විතරයි. එන්නතෙන් වුවත් වෙනත් එන්නත් වලින් වගේ ජීවිත කාලය පුරා ආරක්ෂාවක් ලැබෙන්නේ නැහැ. මේ වෛරසයේ නොනැසෙන සුළුභාවය නිසා අවුරුද්දකට සැරයක්වත් එන්නත විදීම අවශ්‍යවේ යැයි දැනට ඇති තොරතුරු අනුව දැනගන්නට තිබෙනවා.” ඊට අමතරව ප්‍රතිශක්තීකරණය වර්ධනය කරගැනීම සම්බන්ධයෙන් ද බටහිර වෛද්‍ය ක්‍රමය තුළ නම් විටමින් ඩී, සී සහ සින්ක් වැනි දේ මගින් හැකි බවට විද්‍යාත්මක තොරතුරු ඇති බවත් ඒවා මගින් ශරීරයේ ප්‍රතිශක්තීකරණය වර්ධනය කරගැනීම හරහා ලෙඩ රෝග වලින් ආරක්ෂා වන බවත් ඇය පැවසුවාය. තද හිරු රස්නයට නිරාවරණය වීම මගින් ද ලැබෙන විටමින් ඩී සම්න්ධයෙන් විද්‍යාත්මක අධ්‍යයනයන් සිදුව ඇති බව ද ඇය ප්‍රකාශ කළාය. 

මේ සියල්ලෙන්ම පෙනී යන්නේ ප්‍රධාන වශයෙන් දේශපාලඥයන් විසින් හා ඇතැම් මාධ්‍ය විසින් දැවැන්ත ආන්දෝලනයක් නිර්මාණය කළ දේශීය නිෂ්පාදන කොවිඩ් සඳහා තබා ඒවා සාමාන්‍ය ප්‍රතිශක්තිජනක පාන ලෙස හෝ ආහාර අතිරේක ලෙස ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබා දී නැති බවය. ඒවා අලෙවි කිරීම් හා මහජනයාට බෙදා දීම් සිදුවුව ද ඒ කිසිවකට ද අනුමැතියක් ලැබී නැති බවය. සායනික මට්ටමේ පමණක් තිබෙන නිෂ්පාදනයක් එහි නිෂ්පාදකයා විසින් රටපුරා බෙදා හැරීම සම්බන්ධව හෝ ඉන් යම් අතුරු අබාධ ඇතිවුවහොත් එහි වගකීම කිසිදු දේශපාලඥයෙකු හෝ බලධාරියෙකු හෝ ඒවා ප්‍රචාරණය කළ මාධ්‍ය ආයතන හෝ නොගන්නා බව මහජනයා වටහා ගත යුතුව තිබෙන්නේය. ප්‍රතිශක්ති වර්ධක ලෙස අනුමැතිය ලැබුණු ඒවා ද කිසිදු අයුරකින් කොවිඩ් සඳහා සුදුසු යැයි කිසිදු නිර්දේශයක් ලැබී නැත.

අපි විතර ද?

කිසිදු විද්‍යාත්මක ක්‍රමවේදයකින් තහවුරු නොවූ සහ පදනම් විරහිත මිත්‍යාවන් හා නිෂ්පාදන කොවිඩ් වෛරසයෙන් මිදීමට යැයි පවසමින් ප්‍රවර්ධනය කළ රාජ්‍ය නායකයන් හා ප්‍රධානීන් සිටින තවත් රටවල් සම්බන්ධයෙන් වාර්තා වන්නේය. ඉන්දුනීසියානු මාධ්‍යවේදිනියක් අප සමග පැවසුවේ එරට අමාත්‍යවරයෙකු කොවිඩ් නිවාරණය වන බව පවසමින් ගෙලෙහි පැළඳිය හැකි පළඳනාවක් එරට තුළ ප්‍රවර්ධනය කළ බවය. එමෙන්ම එරට එක් නගරාධිපතිවරයෙකු අරක්කු වාෂ්ප බවට පත් කර තවත් නිෂ්පාදනයක් කොවිඩ් සඳහා ප්‍රතිකාර බවට ප්‍රවර්ධනය කරමින් සිටින බවය. (https://nyti.ms/2KWrNmt  https://bit.ly/36nEH4m) අප්‍රිකානු රටක් වන මැඩගස්කරයේ ද ජනාධිපතිවරයා විසින් කොවිඩ් සඳහා ප්‍රතිකාර ලෙස දේශීය ඖෂධයක් ප්‍රවර්ධනය කරන බවට මාධ්‍ය වාර්තා කර තිබුණේය. (https://bit.ly/2YpwGrf https://bit.ly/3orALWv https://bit.ly/2L2npTa )

1.මැඩගස්කරයේ ජනාධිති ඇන්ඩ්‍රි රාජොලිනා 2020 අප්‍රේල් 20 දින උත්සවයක දී කොවිඩ් සඳහා යැයි පැවසෙන ශාකසාරමය දේශීය ඖෂධයක් පානය කරන අයුරු

2. කොවිඩ් වලට ප්‍රබල පිළියමක් බවට එරට ජනාධිපතිවරයා විසින් ද පිළිගැනුණු ශාකමය පානය මැඩගස්කරයේ උසස් පාසලක ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින් පානය කරන අයුරු

භාවිතා කළ සත්‍යාපන මෙවලම් හා ක්‍රම (ෆේස්බුක්, යූටියුබ්, දෙස් විදෙස් ප්‍රවෘති වෙබ් අඩවි හා ප්‍රධාන මාධ්‍යවල ඵලවූ වාර්තා විශ්ලේෂණය, ගූගල් සෙවීම්, අදාල ප්‍රභවයන්ගෙන් සෘජුවම විමසීම)

RELATED ARTICLES
- Advertisment -

Most Popular

Recent Comments