පසුගිය මහ මැතිවරණයේදී 99% ක්ම සෞඛ්‍ය නිර්ණායක නොතකා හැරලා.

0
54
2020.07.24 අම්බලන්තොට පැවති පොදුජනපෙරමුණ ජනහමුවක්

කිසිවෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක වී නෑ.  

කොරෝනා ව්‍යාප්ත වීමේ අවදානම නිසා දින නියමයක් නොමැතිව කල් දමා තිබුණු ඉකුත් පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට අවසානයේ තීරණය කෙරුණේ සෞඛ්‍යාරක්ෂාව සඳහා වන නීතිමය රාමුවක් නියම කිරීමෙන් අනතුරුවය. එය සැලකිය යුත්තේ මැතිවරණ කොමිෂන් සභාව හා සෞඛ්‍ය අංශ, මහජනයාගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් ගත් බරපතළ වගකීමක් වශයෙනි. එහෙත් ප්‍රායෝගික තලයේදී ඒ වගකීම කොපමණ ප්‍රමාණයකට ඉටු කිරීමට අදාළ බලධාරීන් ප්‍රමුඛ රජය සමත් වීද? ඒ ගැන රජයට හා අදාළ බලධාරීන්ට ඇති තක්සේරුව කුමක්ද?

අවාසනාවකට මෙන්, මැතිවරණය අවසන් වී බොහෝ කල් ගතව ඇතත් මේ පිළිබඳව අදාළ අංශ කිසිදු සොයාබැලීමක් කර නැත. පුරවැසියකු ලෙස, තොරතුරු දැනගැනීමේ අයිතිය යටතේ මෙම ලියුම්කරු විසින් කරන ලද දුෂ්කර වෑයමකදී හෙළිදරව් වූ කරුණු, විශ්වාස කිරීමට නොහැකි තරම් විස්මිතය! සමස්තය කෙටියෙන් පවසතොත්, මැතිවරණයේදී සෞඛ්‍ය නිර්ණායක පිළිපැදීමේ ප්‍රතිශතය සියයට 1කි. වෙනත් ආකාරයකට කිවහොත් එය උල්ලංඝනය කිරීමේ ප්‍රතිශතය සියයට 99කි! එම උල්ලංඝනය කිරීම්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීමේ ප්‍රතිශතය සියයට බින්දුවකි!

මෙම ලිපියේ අරමුණ, එකී භයානක තත්ත්වය පිළිබඳව බලධාරීන්ගේත්, සිවිල් සමාජයේත් සමස්ත පුරවැසියන්ගේත් අවධානය යොමු කරවීමයි. එය අනාගතයේදී මෙබඳු අවාසනාවන්ත තත්ත්වයක් ඇති නොවීම පිණිස දරන උත්සාහයකට වැදගත් වනු ඇත.

අතිවිශේෂ ගැසට් නිවේදනය

පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රචාරක කටයුතු සම්බන්ධයෙන් 2020.07.20 දින නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආඥාපනතේ 2 සහ 3 වගන්ති යටතේ සැකසූ අංක 2184/34 යටතේ අතිවිශේෂ ගැසට් පත්‍රය ප්‍රකාශයට පත්කරන ලදි. ඒ අනුව රැස්වීම් පැවැත්වීමේදී අනුගමනය කළයුතු නිර්ණායක නියම කෙරුණු අතර,  වගන්ති නවයක් අතුරින් 1 සිට 07 දක්වාම වූ වගන්ති තුළින් ප්‍රකාශයට පත්කර ඇත්තේ පූර්ව මැතිවරණ සමයට අදාළ නියෝගයන්ය. සියලුම රැස්වීම් සම්බන්ධයෙන් අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල දැනුම්වත් කිරීම එහි මූලික කොන්දේසියකි.

2020.08.02 අම්බලන්තොටදී අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන්  පැවති (පොදුජනපෙරමුණ) ජනහමුවක්

මෙම අධ්‍යයනයේදී දිවයිනේ සියලු දිස්ත්‍රික්කයන්හි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 362ක් වෙත තොරතුරු දැනගැනීමේ පනතට අනුව අයදුම්පත් යොමු කෙරුණු අතර දිස්ත්‍රික්ක 14ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 155ක්  මගින් අදාළ තොරතුරු ලබා දෙන ලදි. රැස්වීම් කීයක් සම්බන්ධයෙන් අදාළ කාර්යාල දැනුවත් කර තිබේද යන්න එහිදී විමසා බැලුණු ප්‍රධාන කාරණයයි.

2020.07.28 අගුනුකොලපැලැස්ස පුරහලේදී විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්   පැවති (සමගි ජනබලවේගය ) ජනහමුවක්

එමෙන්ම මෙහිදී මාතර, ගාල්ල, අනුරාධපුර, පොලොන්නරුව, කොළඹ, කළුතර, පුත්තලම, බදුල්ල, කිලිනොච්චිය, මුලතිවු යන දිස්ත්‍රික්කයන්හි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මගින් තොරතුරු පනතට අනුව තොරතුරු ලබාදීම පැහැර හැර තිබේ.

නීති කඩ කළ මැතිවරණ රැස්වීම්

කෙසේ නමුත් දිස්ත්‍රික්ක 14ක් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මගින් ලබාදුන් එම තොරතුරුවලට අනුව මෙන්ම සිදු කරන ලද වැඩිදුර සොයා බැලීමේදී අනාවරණය වූ පරිදි ජුලි 20 වන දින සිට අගෝස්තු 02 වන දා දක්වා දින 12ක පමණ කාලය තුළදී පමණක් අදාළ දිස්ත්‍රික්ක 14 තුළ පැවැත්වූ රැස්වීම් හා සෞඛ්‍ය නිර්දේශවලට අනුකූලව කටයුතු කිරීම මෙබඳුය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රැස්වීම් 50,620 පවත්වා ඇතත් අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල දැනුම්වත්කර ඇත්තේ 570ක් පිළිබඳව පමණි. ජාතික ජනබලවේගය 11,100 ක් රැස්වීම පවත්වා ඇතත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල දැනුම්වත් කර ඇත්තේ රැස්වීම් 110ක් ගැන පමණකි. සමගි ජනබලවේගය රැස්වීම් 33,515ක් පවත්වා ඇතත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල දැනුම්වත් කර ඇත්තේ 190ක් පිළිබඳව පමණකි. එක්සත් ජාතික පක්ෂය රැස්වීම 21,055ක් පවත්වා ඇති අතර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල දැනුම්වත් කර ඇත්තේ 95ක් ගැන පමණි. එමෙන්ම උතුර නැගෙනහිර ද්‍රවිඩ හා මුස්ලිම් පක්ෂ මෙන්ම ස්වාධීන කණ්ඩායම් මගින් රැස්වීම 7,014 ක් පවත්වා ඇතත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල දැනුම්වත් කර ඇත්තේ රැස්වීම් 346ක් ගැන පමණි. එය දකුණට සාපේක්ෂව වැඩි ප්‍රතිශතයකි.

මෙම තොරතුරුවලට අනුව පසුගිය පාර්ලිමේන්තු මැතිවරණ සමයේ  ජුලි 20 සිට අගෝස්තු දෙවන දා වනතෙක් කාලය තුළදී දේශපාලන රැස්වීම් 123,304ක් පමණ පවත්වා ඇතත් ඒ සම්බන්ධයෙන් 2020.07.20 දින නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආඥාපනතට අනුව  සැකසු අංක 2184/34 යටතේ අතිවිශේෂ ගැසට් පත්‍රයේ 2වන වගන්තියට අනුව කටයුතු කරමින්  රැස්වීම පැවැත්වීමට පැය 24 කට පමණ පෙර අදාළ රැස්වීම සම්බන්ධයෙන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෙත ලිඛිතව දන්වා රැස්වීම පවත්වා ඇත්තේ රැස්වීම් 1,311ක් පිළිබඳව පමණක් බව පෙනී යයි. ප්‍රතිශතයක් ලෙස එය සියයට එකකි. එනම් රැස්වීම් සියයක් පවත්වන විට, නීතියට අනුකූල ලෙස සෞඛ්‍යාරක්ෂිත උපදෙස් අනුගමනය කරමින් පවත්වා ඇත්තේ ඉන් එක් රැස්වීමක් පමණි!

හම්බන්තොට ජනහමු

කුඩා නියැදියක් තෝරාගනිමින් මෙවැනි තත්ත්වයක් ඇතිවීමට බලපෑ හේතු සාධක මොනවාදැයි හඳුනාගැනීමට  දැරූ උත්සාහයේදී  හම්බන්තොට දිස්ත්‍රික්කයට අදාළව ඉදිරිපත්වූ තොරතුරු ඇසුරින් දක්නට ලැබෙන චිත්‍රය මෙබඳුය.

 හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ  පමණක් 2020.07.17 වන දින සිට අගෝස්තු 02  වන දින  දක්වා   ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් පමණක් රැස්වීම් 6,814 කට අධික ප්‍රමාණයක් පවත්වා තිබේ.  අදාළ ගැසට් පත්‍රයේ 2වන වගන්තියට අනුව කටයුතු කරමින්  රැස්වීම් පැවැත්වීමට පැය 24 කට පමණ පෙර අදාළ රැස්වීම සම්බන්ධයෙන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෙත ලිඛිතව දන්වා  රැස්වීම පවත්වා ඇත්තේ 202 කට අඩු රැස්වීම් ප්‍රමාණයක් බව තොරතුරු දැනගැනීමේ පනතට අනුව ලබාගත් තොරතුරු මගින් අනාවරණය වේ.

එමෙන්ම එහි 3.2 වගන්තියට අනුව  රැස්වීමට සහභාගි කරගත හැකි පුද්ගලයන් ප්‍රමාණය 300කට සීමා කර තිබුණත් මේ අතරින් 50කට අධික රැස්වීම් ප්‍රමාණයක් 500කට වැඩි පිරිසකගේ සහභාගිත්වයෙන් පවත්වා තිබේ. එසේ සහභාගී විය හැකි සීමාව ඉක්මවූ රැස්වීම් සම්බන්ධයෙන් කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් ගෙන නැති අතර ඒ වෙනුවට සිදු කර ඇත්තේ පොලිස් ආරක්ෂාව ලබා දීමය.

නිදසුනක් ලෙස 2020 ජුලි 24 වනදින සූරියවැව ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේ මහවැලි අධිකාරියට අයත් UD 06 ගොවි සංවිධානයේ ප්‍රජාශාලා ගොඩනැගිල්ල ඉදිරිපිට පැවැති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මගින් සංවිධානය කරන ලද ජනහමුව සහ 2020 අගෝස්තු 02 දින අම්බලන්තොට මල්පෙත්තාව ප්‍රදේශයේ   පැවැති ජනහමුව දහසකට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැති ජනහමු දෙකකි. සමගි ජනබලවේගය මගින් ජුලි 28 දින අම්බලන්තොට වලව ප්‍රදේශයේ පවත්වන ලද ජනහමුවත් , ජුලි 27 දින අගුනුකොලපැලැස්ස පුරහල තුළ  පැවැත්වූ ජනහමුවත් ඊට තවත් නිදසුන් දෙකකි.මේ ජනහමු කිහිපයම ඉතාම පැහැදිළිව නිරෝධායන නීති උල්ලංගනය කරමින්,දහසකට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් පවත්වන ලද ඒවාය.

අදාළ ගැසට් පත්‍රයේ 4වන වගන්තියේ (අ) වගන්තිය යටතේ රැස්වීමට සහභාගි වන්නන්ගේ තොරතුරු ඇතුළත් ලේඛනයක් අදාළ සංවිධායකයා විසින් පවත්වාගෙන යා යුතු වුවත් මින් රැස්වීම් සංවිධානය කළ  බොහොමයක් සංවිධායකවරුන් එම නියමයන් කඩකර තිබේ. එම වගන්තියේම (ආ) යටතේ රැස්වීමට සහභාගි වන්නන්හට දෑත් සෝදා ගැනීමට ප්‍රමාණවත් පහසුකම් ලබා දිය යුතු වුවත් මේ ආකාරයෙන් පැවැත්වූ රැස්වීම් තුළ එම පහසුකම් ද ප්‍රමාණවත්ව නොතිබූ අතර බොහෝ දෙනෙකු එය භාවිත කිරීමෙන්ද වැළකී සිටි අයුරු දක්නට ලැබුණු දෙයකි.

මීටරයේ පරතරය නොතැබීම

අදාළ ගැසට් පත්‍රයේ 4 (ඇ) සිට (ඉ) දක්වා වූ වගන්ති තුළින් ජනතාව දේශපාලන රැස්වීම් සඳහා ඒකරාශි වීමේදී මීටරයක පරතරයක් තබාගත යුතු බව සඳහන් කර තිබුණත් එය බොහොමයක් අවස්ථාවල සිදු නොවූ අතර අදාළ අපේක්ෂකයා වටා මෙන්ම ආහාර බෙදිම්, සංග්‍රහ වැනි අවස්ථාවන්හිදී ජනතාව පෝලිම් තුළ තෙරපෙමින් සිටින ආකාරයක් මෙන්ම ඒ අතර සිටි බොහොමයක් දෙනා මුඛ ආවරණ පවා පැළඳ නොසිටි බව ද  පැහැදිළිව දක්නට ලැබුණි.

මේ ආකාරයෙන් සෞඛ්‍ය මාර්ගෝශයන්ගෙන් තොරව මැතිවරණ රැස්වීම පවත්වා ඇතත් එසේ සෞඛ්‍ය මාර්ගෝදේශයන් අනුගමනය නොකළ කිසිදු පුද්ගලයෙකු මැතිවරණ රැස්වීම තුළදී අත්අඩංගුවට ගෙන නොමැති බව තොරතුරු දැනගැනීමේ පනතට අනුව පොලිස් අධිකාරී කාර්යාල මගින් ලබාගත් තොරතුරු මගින් අනාවරණය විය.

 කෙසේ නමුත් මේ ආකාරයෙන් නිරෝධායන නීති රීතිවලට අනුව මැතිවරණ ප්‍රචාරක රැලි පැවැත්වීමට නොහැකිවූයේ ඇයිද යන්න සම්බන්ධයෙන්  කළ සොයා බැලීමකදී අනාවරණය වූයේ මනාප සටනට යටවීම හේතුවෙන්  බොහෝමයක් ඡන්ද අපේක්ෂකයින් දේශපාලන පක්ෂ බේදයකින් තොරව සෞඛ්‍ය මාර්ග උපදේශයන් නොතකා කටයුතු කර ඇතිබවයි.

එමෙන්ම බොහොමයක් කුඩා රැස්වීම් සංවිධානය කර තිබුණේ ග්‍රාමීය මට්ටමින් සිටි කොට්ඨාස සංවිධායකයින් වන අතර ඔවුන් බොහොමයක් දෙනා අදාළ ගැසට් පත්‍රයට  අනුව රැස්වීම පැවැත්වීමට පැය 24 කට පමණ පෙර අදාළ රැස්වීම සම්බන්ධයෙන් ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෙත ලිඛිතව  දැන්විය යුතු බවක් නොදැන සිටි බව පක්ෂ කීපයක සංවිධායකයින් කිපදෙනෙකුගෙන් කළ විමසීමකදී හෙළි විය.

”එහෙම දැනුවත් කරන්න ඕන කියලා අපි දැනගෙන හිටියේ නෑ. නමුත් පුළුවන් හැම අවස්ථාවකදීම සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුව රැස්වීම සංවිධානය කරන්න අපි කටයුතු කළා. නමුත් එන ජනතාව ඒ ගැන වැඩි තැකීමක් කළේ නෑ. පාක්ෂිකයින් තරහ කරගන්න බැරි නිසා අපිත් වැඩිය ඒ ගැන තැකීමක් කළේ  නෑ” යනුවෙන් සමගි ජනබලවේගයේ හම්බන්තොට ප්‍රදේශයේ රැස්වීම කීපයක් සංවිධානය කළ ආර්.පී. ප්‍රියන්ත මහතා කියා සිටියේ ය.

‘‘අපි පොලිසිය දැනුවත් කරලා තමයි රැස්වීම කළේ. නමුත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය දැනුවක් කළේ නැහැ“ නම හෙළි කිරීමට අකැමති වූ  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ  සංවිධායක වරයෙක් කියා සිටියේ ය.

එමෙන්ම මේ ආකාරයෙන් නිකුත් කර තිබූ ගැසට් පත්‍රයට අනුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල දැනුවත් නොකරමින් රැස්වීම් පැවැත්වීම සම්බන්ධයෙන් පක්ෂ කීපයක අපේක්ෂකයින් ලෙස ඉදිරිපත්වූ අයගෙන්ද අදහස් විමසුවෙමු.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ  අපේක්ෂකයෙකු වූ අමාත්‍ය මහින්ද අමරවීර

” ලිඛිතවම නැති වුවත් අපි යම් ප්‍රමාණයකට දැනුවත්කළා. ඒ වගේම රැස්වීම සංවිධානය කළ අයට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය දැනුවත් කරලා රැස්වීම තියන්න කියලා ඉල්ලීම් කළා. ඒ වගේම සියයට සියයක්ම නැති වුණත් යම් තරමකට සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව තමයි රැස්වීම පැවැත්වුයේ”

සමගි ජනබලවේගයේ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි

” අපි මුලින්ම නියම ආකාරයෙන් හොඳට සෞඛ්‍ය නීතිවලට අනුව රැස්වීම් පැවැත්වුවා. නමුත් ආණ්ඩු පක්ෂයේ ගොඩක් ඡන්ද රැස්වීම් කළේ නීති කඩ කරමින්. නමුත් හැකි තැන්වලදී අපි අවසර අරගෙන තමයි කළේ ”

ජාතික ජනබලවේගය අපේක්ෂකයෙකු වූ නිහාල් ගලප්පත්ති මහතා

”අපි හැම රැස්වීමක් පිළිබඳවම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල ලිඛිතව දැනුවත් කිරීම් කරලා නැති වුවත් පුළුවන් උපරිමයෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව රැස්වීම තියන්න කටයුතු කළා . ආණ්ඩු පක්ෂය සියලු නීති කඩ කරමින් සෙනග රැස්කරමින් තමයි රැස්වීම කළේ. ඒත් කිසිම නිලධාරියෙක් ඒ ගැන සොයා බැලුවෙත් නෑ. මම කීප වතාවක්ම නිලධාරීන්ට පැමිණිලි කළත් නිතිය ක්‍රියාත්මක කළේ නෑ”

කෙසේ නමුත් පැවතුණු තත්වය හමුවේ මෙම මැතිවරණ ප්‍රචාරක රැලි පැවැත්වීමේදී සෞඛ්‍ය අංශයන්හි ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් හම්බන්තොට දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා වෛද්‍ය ඒ.ටී.එම්.ඩී. පටබැඳිගේ මහත්මියගෙන් කළ විමසීමකදී එතුමිය කියා සිටියේ තම නිලධාරීන් දැනුවත්කරමින් පැවැත්වූ මැතිවරණ ප්‍රචාරක රැලි සඳහා එය පවත්වාගෙන යා යුතු ආකාරය සම්බන්ධයෙන් උපදෙස් ලබාදීම සිදු කළ බවයි. ”අපි කළේ ඒ සම්බන්ධයෙන් දැනුවත් කළ රැස්වීම සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ ලබා දීම පමණයි. ඒවා අනුගමනය කළේ නැත්නම් හොයන්න ඕන. නීතිය ක්‍රියාත්මක කරන්න තිබුණේ පොලිසියට.” එතුමිය වැඩිදුරටත් පැවසුවාය.

මැතිවරණ කොමිසමේ හා නිරීක්ෂන සංවිධානහි වගකීම

මේ සම්බන්ධයෙන් අපි මැතිවරණ නිරීක්ෂණ සංවිධාන කීපයකින්ම අදහස් විමසුවෙමු. එහිදී අදහස් දැක්වූ  පැෆරල් සංවිධානයේ  විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි මහතා මෙසේ පැවසුවේය. ” මේ කොවිඩ් ප්‍රශ්නය මතු වූ අවස්ථාවේ ඉදලා මේ මැතිවරණයවෙනුවෙන්නී තිරීති පැනවීමට මේ ගැසට් එක පළ කිරීම හිතාමතාම සෑහෙන ප්‍රමාද කළා මොකද මේකෙන් ඒ අයට ඕන විදියට මැතිවරණය කරගන්න බැරි වෙයි කියලා. පස්සේ ගැසට් එක දැම්මට පස්සෙත් ගැසට් එකට අනුව නොවේ තමන්ගේ මැතිවරණ ව්‍යාපාරය ගෙනිච්චේ. වාසනාවකට මේ තරම් සෞඛ්‍ය ප්‍රශ්නයක් එදා තිබුණෙ නෑ. තිබුණානම් ලොකු හානියක් වෙනවා ඒ හැසුරුණු ආකාරයට”

පැෆරල් සංවිධානයේ  විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි මහතා

එමෙන්ම මේ ආකාරයෙන් නිරෝධායන නීති උල්ලංඝනය කරමින් පැවැත්වූ මැතිවරණ රැලි සම්බන්ධයෙන් පැමිණිලි 600 කට අධික ප්‍රමාණයක් තම නිරීක්ෂණ සංවිධානයට ලැබී තිබෙන බවත් මැතිවරණ සමයේ එය ක්‍රියාත්මක නොකර සිට පසුව සාමාන්‍ය ජනතාවට පමණක් නීති ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අදාළ අංශයන්ගෙන් විමසු බවද රෝහණ හෙට්ටිආරච්චි මහතා කියා සිටියේය.

එමෙන්ම  මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ කැඳවුම්කරු මංජුල ගජනායක මහතාගෙන් කළ විමසිමකදී ඔහු කියා සිටියේ මේ ආකාරයෙන්  නිරෝධායන නීති උල්ලංඝනය  කරමින් පැවැත්වූ මැතිවරණ රැස්වීම සම්බන්ධයෙන් තම සංවිධානයට නිරන්තරයෙන් වාර්තා වූ අතර ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසන් සභාව දැනුවත් කිරීමට කටයුතු කළ බවයි. එමෙන්ම මැතිවරණයෙන් පසුව මැතිවරණ කොමිසන් සභාව මේ සම්බන්ධයෙන් තදින් නොසිටීම සහ තමන්ගේ ක්‍රියා කලාපය පසු විපරම් නොකිරීම අනාගතයේදී මැතිවරණ ක්‍රියාවලිය නිවැරදි මාවතට ගෙන ඒමට බලවත් බාධකයක් බවයි.

මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ කැඳවුම්කරු මංජුල ගජනායක මහතා

මැතිවරණ කාලසීමාවකදී මැතිවරණයට සම්බන්ධ සියලු කටයුතුවල බලධරයා වන්නේ මැතිවරණ කොමිසමයි. මැතිවරණයට බලපෑම් එල්ල විය හැකි රජයේ ක්‍රියාකාරකම් පාලනය කිරීමේ පුළුල් බලතල පැවරී ඇති අතර එම කාලපරිච්ඡේදය තුළ පොලිසිය පවා ක්‍රියා කළ යුත්තේ කොමිසමේ උපදෙස් අනුවය. සෞඛ්‍ය උපදෙස් අනුගමනය නොකර රැස්වීම් පැවැත්වීමේ ගැටලුව ගැන අපි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතාගෙන් විමසුවෙමු.

”මැතිවරණයේදී අපගේ දිස්ත්‍රික්ක 25හේ සහකාර කොමසාරිස්වරුන්ට, අත්අඩංගුවට ගැනීමේ  සහ නඩු පැවරීමේ බලය දෙන්න කියල අපි අධිකරණ අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කළා. නමුත් එක ලැබුණේ නෑ. කොහොමත් මැතිවරණ නිලධාරීන්ට විතරක් කිසිම පුද්ගලික තැනකට ඇතුළුවීමේ හැකියාවක් නෑ.  ඒ නිසා ඒ වගේ පැමිණිල්ලක් අපිට ආවාම අපිට යන්න උනේ පොලිසිය එක්ක. ඇත්තටම් මේක පොලිසියේ රාජකාරියක්” මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා කියා සිටියේය.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා

පොලිස් බලය ක්‍රියාත්මක කර නෑ

කෙසේ නමුත් ඉහත ආකාරයෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකරමින් දේශපාලන රැස්වීම පවත්වනු ලැබුවත් එම රැස්වීම තුළදී ඒ ආකාරයෙන් නිරෝධායන නීති උල්ලංඝනය කරන ලද කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැතිබව  පොලිස් අධිකාරී කාර්යාල 42ක් වෙත  තොරතුරු අයදුම්පත් යොමුකිරීමෙන් පසු පොලිස් අධිකාරී කාර්යාල 6ක් මගින් ලැබුණු තොරතුරු මගින් අනාවරණය විය. අනෙකුත් පොලිස් අධිකාරී කාර්යාල තොරතුරු පනතට අනුව තොරතුරු ලබාදීම පැහැර හැර තිබේ.

කොරෝනා පාලනය සඳහා මැතිවරණයේදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග ඇතුළත් ගැසට්පත්‍රයේ නියෝග ක්‍රියාත්මක කිරීමට පොලිසියට බලය තිබු බව නීතිඥ ජගත් ලියනයආරච්චි මහතා පවසයි.

”මෙම නියෝගය පනවා තියෙන්නේ නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආඥාපනතේ දෙවන වගන්තිය යටතේ. එම පනතේ 06 වන වගන්තියට අනුව පනත යටතේ වරදක් කරන පුද්ගලයෙකු වැළැක්වීම සහ රඳවා ගැනීමට පොලිස් නිලධාරියෙකුට සහ පනත යටතේ පත්කරන පරීක්ෂකවරයෙකු හට  බලය තිබෙනවා ”

නීතිඥ ජගත් ලියනයආරච්චි මහතා

එමෙන්ම තමන් ඉදිරියේදී නීතිය කඩ කරන විට එය වැළැක්වීමට ක්‍රියා කිරීමට පොලිස් නිලධාරියෙකුට පැමිණිල්ලක් ලැබීම අවශ්‍ය නොවන බවද නීතිඥ ජගත් ලියනයආරච්චි මහතා සදහන් කළේය.

”මැතිවරණය පැවැත්වීම හැම දේශපාලන පක්ෂයකටම අවශ්‍ය වුණාට මෙම තත්ත්වය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අර්බුදයක් නිසා තමයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු කණ්ඩායම එකතුවෙලා මාර්ගෝපදේශ හැදුවෙ සෞඛ්‍ය නීති අනුගමනය කරන්න. නමුත් ඒ මාර්ගෝපදේශවල තිබුණු දේවල් දේශපාලන අවශ්‍යතාව සඳහා‍ වෙනස් වුණා” නීතිඥ ජගත් ලියනආරච්චි  මහතා අවධාරණය කරයි.

දෙවන රැල්ලක් ලෙසින් පෙරටත් වඩා සීග්‍රයෙන් කොරෝනා රෝගය දිවයින තුළ පැතිරෙමින් තිබේ. ඒ නිසාම ඒ කෙරෙහි නව නීති රීති ද සකස් කිරීමට රජය කටයුතු කර තිබේ. එමෙන්ම එම නීති කඩන පිරිස් අත්අඩංගුවට ගැනීම්ද වාර්තා වේ. නමුත් ඉහත කාරණා සැලකිල්ලට ගැනීමේදී පසුගිය 2020 පාර්ලිමේන්තු  මැතිවරණ සමයේදී කොරෝනා පාලනය වෙනුවෙන්  පැනවූ නීති රීති මැතිවරණ ප්‍රචාරක රැලි සදහා අදාළ වී නොමැති බවත් එය දේශපාලන කාරණාවක් වන නිසා නොසලකා හැර තිබෙන බවත් පැහැදිලිය. මේ බව තහවුරු වන්නේ පොලිසියද මැතිවරණ රැලි තුළදී නිරෝධායන නීති කැඩූ කිසිවෙකු අත්අඩංගුවට නොගැනීම හේතුවෙනි.

මැතිවරණ ප්‍රචාරක රැලි තුලදී නිරෝධායන නීති උල්ලංඝනය කළ පිරිස් අත්අඩංගුවට ගැනීමට කටයුතු නොකිරීම සම්බධයෙන් නියෝජය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතාගෙන් කළ විමසීමකදී ඔහු කියා  සිටියේ මේ සම්බධයෙන් මැතිවරණ කටයුතු භාරව සිටි ජ්‍යෙෂ්ට නියෝජය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගෙන් විමසන ලෙසයි.

මැතිවරණ කටයුතු භාරව සිටි ජ්‍යෙෂ්ට නියෝජය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා

ඒ අනුව ඔහුගෙන් කළ විමසීමකදී ඔහු මෙසේ පැවසුවේය. මැතිවරණ කාලේ දාපු ගැසට් එක මේක වගේ (2020.10.15 දාපු ගැසට් එක) තදින් ක්‍රියාත්මක වුණේ නෑ. ඒ වගේම ඒ දවස්වල තිබු කොරෝනා තත්ත්වය නොවේ අද තියෙන්නේ. ඉලෙක්ෂන් එක කළා කියලා එකෙන් කොහෙවත් පැතිරීමක් වුණේ නෑ. ඒ නිසා එක ලොකුවට අල්ලගන්න ඕන කාරණාවක් නොවේ. අඩු පාඩුවක් තියෙන්න ඇති නමුත් ඒක අල්ලාගෙන අපිට ආපස්සට යන්න බෑ. නමුත් අපිත් ඩිවිෂන්ස්වලට (පොලිස් අධිකාරී කාර්යාල) කතා කරලා මොකද මෙහෙම වුණේ කියලා හොයන්නම් නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා කියා සිටියේය.

මේ තොරතුරුවලින් පැහැදිලිව අනාවරණය වන කරුණ නම්, සෞඛ්‍ය නිර්ණායක පනවනු ලැබූ නමුදු ඒවා නිසි පරිදි ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණයක් තිබී නැති බවයි. එමෙන්ම සියලු බලධාරීන් පොදු එකඟතාවකට පැමිණ සිටි පරිද්දෙන් නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කර ඇති බවයි. එක්ලක්ෂ විසිතුන් දහසකට අධික රැස්වීම් සංඛ්‍යාවකින් 99%ක්ම අදාළ නීති උල්ලංඝනය කර තිබියදී එකදු වරදකරුවකුට හෝ එරෙහිව නීතිමය පියවරක් නොගැනීම, අදහාගැනීමට අසීරු තරමේ කාරණයකි. මතුවට හෝ ඒ සම්බන්ධයෙන් නීතිමය පියවරක් ගැනීමට අපේක්ෂා නොකරන බව පොලිස් බලධාරීන් ඒ පිළිබඳ දක්වා ඇති ප්‍රතිචාරයෙන් පැහැදිලිය. මෙය ඉතා නරක පූර්වාදර්ශයක් නොවේද?

(ආයතන 429ක් සදහා තොරතුරු දැනගැනීමේ  අයදුම්පත් යොමුකර සිදුකරන ලද සොයාබැලීමකි)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here