Monday, April 15, 2024
HomeStorytellingIn-depthදැන ගියොත් පිටරට- නොදැන ගියොත් පාරට!

දැන ගියොත් පිටරට- නොදැන ගියොත් පාරට!

යුද්ධය පැවති කාලයේ තැන ලැබුණේ රණවිරුවන්ටය. කොවිඩ් වසංගත කාලයේ සුව විරුවන් බිහි විය. කලක පටන් එතෙර රැකියාවට ගොස් මෙරටට විදේශ විනිමය එවන අයව හඳුන්වනු ලබන්නේ රට විරුවන් ලෙසය. කාටත් තේරෙන භාෂාවෙන් කියනවා නම් අපේ රටට ඩොලර් එවන නිසා ඔවුහු රට විරුවෝ වූහ. ඩොලර්වල අගය අපට වඩාත් හොඳින් දැනුණේ පසුගිය කාලයේදීය. තෙල් ටික ගැනීමට, ගෑස් ගැනීමට, බෙහෙත් ගැනීමට ඩොලර් නැතිව බලා සිටින විට ඩොලරයේ අගය පමණක් නොව එතෙර සිට මෙරටට මුදල් එවන  අයගේ අගයද අපට වඩාත් හොඳින් දැනිණි. ඔවුන් විරුවන් ලෙස සලකනු ලබන්නේ එබැවිනි. 

නමුත් අපේ රටේ බොහෝදෙනකු විදේශ රැකියා සඳහා යොමු වන්නේ වීරයන් වීමට නම් නොවේ. ජීවිතයේ දුක්ඛ දෝමනස්සයන් දුරු කර වඩාත් සුඛිත මුදිත ජීවිතයක් ගත කිරීමටය. ඉන්න හිටින්නට ගෙයක් දොරක් හදා ගැනීමටය. දරුවන්ට උගන්වා දරුවන්ගේ ජීවිත  වඩාත් සැපවත් කිරීමටය. මෙවැනි දහසකුත් ප්‍රාර්ථනා පොදි බැඳගෙන පිටරට රැකියා සඳහා යන බොහෝ දෙනකුගේ අපේක්ෂාවන් මල්ඵල ගැන්වුණද ඇතැමුන්ගේ ජීවිත ඛේදවාචක වී තිබේ. සමහරු කබලෙන් ළිපට වැටී තිබේ.

ජපන් ගිය ශාන්ත

2 කිරිඳිවැල ශාන්ත ගුණවර්ධන

කිරිඳිවැල ශාන්ත ගුණවර්ධනඡායාරූපය – The Leader වෙබ් අඩවියෙනි.

කිරිඳිවැල ශාන්ත හරිශ්චන්ද්‍ර‍ ගුණවර්ධන ඊට එක් නිදසුනකි. ඔහු ජපානය බලා පිටත් වූයේ මෙම වසරේ මාර්තු 30 වෙනිදාය. නමුත් එය ඔහුගේ ප්‍ර‍ථම විදෙස් රැකියා ගමන නොවේ. ප්‍ර‍ථම වතාවට ඔහු විදෙස් රැකියාවකට ගොස් තිබුණ් 1996 දීය. ඒ සවුදි අරාබියේ ‘ඩෝසර් ලෝඩර්’ කෙනකු වශයෙනි. එදා විදේශ රැකියා නියෝජිත ආයතනයකින් එතෙර ගිය ශාන්ත, එරට අවුරුදු 3ක් සේවය කර ආපසු මෙරටට පැමිණියේය. රියදුරු බලපත්‍ර‍ය හා ජාතික ආධුනිකත්ව මණ්ඩලයේ බර වාහන සහ යන්ත්‍රෝපකරණ පාඨමාලාවක් හදාරා තිබූ ඔහුට විදෙස් රැකියාවක් සොයා ගැනීම ඉතා පහසු කටයුත්තක් විය. 2001දී මිතුරකුගේ මාර්ගයෙන් ක්වේට් බලා ගියේ එමනිසාය. එහෙත් ගෘහ රියදුරු වශයෙන් වීසා ලැබුණු ඔහුට තැනින් තැන රැකියා කිරීමට සිදු විය. නිශ්චිත සේවා ස්ථානයක් තිබුණේ නැත. ආහාරපාන සහ නවාතැන් තමාම සපයා ගත යුතු විය. අවසානයේ මාස 10කින් ක්වේට් රටට සමුදුන් ඔහු ලංකාවට ආවේය. නැවතත් 2004 වසරේදී විදේශ රැකියා නියෝජිත ආයතනයක් මාර්ගයෙන් කටාර් රටට ගිය ශාන්ත ගුණවර්ධන ලෝඩර් කෙනකු වශයෙන් වසර 2ක්  සේවය කර මෙරටට පැමිණියේය. 

“මම හම්බ කරගෙන ආපු මුදල්වලින් වාහන කීපයක් අරං බිස්නස් එකක් පටන් ගත්තා. ඒත් ඒක බංකොළොත් වුණා. මම කොහොමහරි රජයේ අමාත්‍යාංශයක රියදුරු රැකියාවකට බැඳුණා. මගේ ගෙදර අයවත් මගේ බිරිඳගේ අයවත් බලා ගත්තේ මම. මගේ දරුවෙක් අසනීප වෙලා හිටියා. ඒ ළමයාට ප්‍ර‍තිකාරවලටත් වියදම් යනවා. මම තවම ඉන්නේ බිරිඳගේ ගෙදර. මට කියලා ගෙයක් දොරක් හදාගන්න හිතාගෙන තමයි මම ජපානයට යන්න තීරණය කළේ. ජපානයේ ඉන්න ලංකාවෙ කෙනෙක් තමයි මට බිස්නස් වීසා එව්වෙ. මටත් වුවමනා වුණේ කොහොමහරි ජපානයට යන්න. මම ජපානයේ නරීටා ගුවන්තොටුපොළන් බහිනකොට ලංකාවේ මිතුරා එක්කරගෙන යන්න ඇවිත් හිටියා. මාව අරං ගියේ අසිකාගා ප්‍රදේශයට. කාමරයක් අරං දුන්නා. ඒත් රස්සාවක් ලැබුණේ නැහැ. රස්සාවක් හොයලා දෙන්න නම් කොළ 10ක් දෙන්න කියනවා. කාමරයකට කොළ 03ක් ඉල්ලනවා. එහේ කොළයක් කියන්නේ අපේ සල්ලිවලින් රු. 25,000ක්. අන්තිමට මම පන්සලට ගියා. පන්සලේ හාමුදුරුවොත් කොළ 10ක් ඉල්ලුවා. ලංකාවේ අය එකතුවෙලා මම වගේ අය එහෙ ගෙන්වාගෙන කරන ජාවාරමකට මම අහුවුණේ. ඊට පස්සේ මැයි 11දා ආපහු ලංකාවට ආවා.” යනුවෙන් ශාන්ත ගුණවර්ධන විස්තර කළේය.   

ලංකාවට පැමිණි ඔහු රජයේ රැකියාවට නැවතත් සම්බන්ධ විය. එහෙත් අද ඔහු රු. ලක්ෂ 25ක පමණ ණයකරුවෙකි. සිව් වතාවක් විදේශගත වුවද තවමත් ඔහුට ගෙයක් දොරක් නැත. 

සයිප්‍රස් ගිය ප්‍රභාත්

1 දාගොන්නේ ප් රභාත් වීරසිංහ

දාගොන්නේ ප්‍රභාත් වීරසිංහ ඡායාරූපය – The Leader වෙබ් අඩවියෙනි.

එහෙත් මිනුවන්ගොඩ දාගොන්නේ පදිංචි ප්‍ර‍භාත් කුමාර වීරසිංහට එසේ වූයේ නැත. ඔහු අද අංග සම්පූර්ණ නිවසක හිමිකරුවෙකි. ඔහුගේ එකම දියණිය අද සරසවි අධ්‍යාපනය ලබයි. ඔහුගේ ජීවන තත්ත්වය ඉහළ තලයකට නංවා ගැනීමට හැකි වූයේ විදෙස්ගත වූ නිසා බව ඔහු තරයේ පවසයි. 

“මගේ තාත්තා මේසන් වැඩ, පයිප්ප වැඩ, වයරින් වැඩ කොන්ත්‍රාත් අරගෙන කරද්දි මාව අරගෙන ගිහින් මට වැඩ හුරු වුණා. පයිප්ප සහ වයරින් වැඩ නම් මම පාඨමාලාවක් කරලා තවදුරටත් ඉගෙනගත්තා. මම ඔය වැඩ කරගෙන ඉන්දැද්දි සයිප්‍රස් යන්න අවස්ථාවක් ලැබුණා. ඒජන්සියකින් තමයි  ගියේ. 2003 අප්‍රේල් මාසේ මම සයිප්‍රස්  ගිහින් 2006 වනතුරු ඒ රටේ වැඩ කළා. මම ලංකාවෙන් පිටවෙනකොට ගෙවීමේ ක්‍ර‍මයට ඉඩමක් අරං දාලා තිබුණේ. මම විවාහ වෙලා මහගෙදර හිටියේ. රට රැකියාවෙන් තමයි ඉඩමට සම්පූර්ණයෙන් ගෙවලා ඉවර කරලා තට්ටු 2ට ගේ හැදුවේ. ඒ ගෙදර යට තට්ටුව අංග සම්පූර්ණව හදලා පදිංචි වුණා. ඉඩම වටේට තාප්ප බැන්දා. දුවව පෞද්ගලික බාලිකා විදුහලකට ඇතුළත් කළා. දුවට හොඳට ඉගැන්නුවා.” යනුවෙන් ප්‍ර‍භාත් කුමාර වීරසිංහ සඳහන් කළේ දැඩි සතුටිනි.

අද ප්‍ර‍භාත් සීෂෙල්ස් හි Construction Forman ලෙස රැකියාවක නිරත වී සිටියි. සයිප්‍රස් සිට මෙරටට පැමිණි ඔහු කලක් DMS ඉංජිනියරින් සමාගමේ සේවය කර තිබුණි..එකී සේවා සහතිකයට අමතරව NVQ – Level 4 සහතිකයද ඔහු ලබා ගෙන සූදානම් වී තිබුණේ වර්තමානයේ පිටරට රැකියාවකට යෑමේදි සුදුසුකම් සපුරාගෙන පිටත්විය යුතු නිසාය.

“සුදුසුකම් සපුරාගෙන විධිමත් ආකාරයට රට රස්සාවකට යනවා නම් බය වෙන්න දෙයක් නැහැ.” යන්න ප්‍ර‍භාත්ගේ අදහසය. 

අද දවසේ රට රැකියාවලට එතෙර ගොස් මහමඟ රස්තියාදු වන පිරිස ගැන නිරතුරුවම අසන්නට ලැබේ. “ඩුබායි රටට එන්න එපා, මෙහේ රස්සා නැහැ” යනුවෙන් පළකළ පෝස්ට් පවා මුහුණුපොතේ සංසරණය වේ. ශාන්ත ගුණවර්ධන වැනි අය පිටරට රැකියා සොයමින් ඔබමොබ යන කතා පුවත්ද නිතර වාර්තා වේ. 

ඉල්ලුම සහ සැපයුම

6 විදෙස්ගත වීමට සූදානමින් සිටින පිරිසක්

ඡායාරූපය – The Leader වෙබ් අඩවියෙනි.

එහෙත් මෙරටට ලැබුණු විදේශ රැකියා ඉල්ලුමට සරිලන ආකාරයට රැකියා සැපයීමට ශ්‍රී ලංකාවට නොහැකි  වූ බව පසුගියදා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් අනාවරණය විය. 2022 වර්ෂයේ තොරතුරුවලින් පහත දක්වා ඇති සුළු කොටසකට අනුව  එය පැහැදිලි කර ගත හැකිය.

Screenshot 2023 08 28 at 12.18.57

මෙයින් පැහැදිලි වන්නේ විදේශීය ශ්‍ර‍ම වෙළෙඳපොළ විසින් ඉල්ලා සිටින සුදුසුකම් සපුරා ඇති ප්‍ර‍මාණය ඉතා අවම මට්ටමක පවතින බව නොවේද? නමුත් මෙතෙක් විදෙස්ගත වූ ශ්‍ර‍මිකයන්ගේ සංඛ්‍යාව සලකා බැලීමේදී වාර්තාගත සංඛ්‍යාවක් ගොස් තිබෙන්නේ 2022 වර්ෂයේදීය. 2022 වර්ෂයේදී විදෙස්ගත වූ පිරිමි සංඛ්‍යාව 1,86,965කි. ගැහැනු සංඛ්‍යාව 1,24,091කි. මුළු ගණන 3,11,056කි. එය 2023 වසරේ තවත් ඉහළ අගයක් ගත හැකි බව සිතිය හැක්කේ මෙම වසරේ මැයි දක්වා විදෙස්ගත වී ඇති සංඛ්‍යාව සලකා බැලීමෙනි. 

Screenshot 2023 08 28 at 12.22.19
රැකියා සඳහා විදෙස්ගත වන පිරිසේ ප්‍ර‍මාණය දිනෙන් දින ඉහළ යනවිට මහමග අතරමං වී සිටින පිරිස ගැනද අසන්නට ලැබේ. ඒ අතරේ විදෙස් රැකියා වෙළෙඳ ඉල්ලුමට සරිලන සැපයුමක් කර ගැනීමට නොහැකි බවක්ද අනාවරණය වේ. මේ පිළිබඳව තොරතුරු දැනගැනීමෙ අයිතිය (RTI) යටතේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් විමසුවේ  ඇත්ත වශයෙන්ම මෙහි පරස්පරයක් ඇති නිසාය. 

6.1 විදෙස්ගත වීමට සූදානමින් සිටින පිරිසක්

ඡායාරූපය – The Leader වෙබ් අඩවියෙනි.

අවස්ථා නොලැබෙන්නේ ඇයි?

මෙහිදී අනාවරණය වූ මූලික සාධකය වන්නේ අදාළ රැකියා සඳහා ඉල්ලා සිටි සුදුසුකම් සම්පූර්ණ කළ පුද්ගලයන් නොමැති වීමයි. තවද විදේශීය ආයතන තමන්ගේ රැකියා අවස්ථාවන් ශ්‍රී ලංකාවට සහ අනෙකුත් ශ්‍ර‍මිකයන් ලබාදෙන රටවලටද බෙදා දෙන බැවින් එම අවශ්‍යතාවන් ශ්‍රී ලංකාවෙන් පමණක් නොව වෙනත් රටවල්වලින්ද ලබා ගැනීමට ඔවුන්ට අවස්ථාව හිමි වීමත් ලංකාවෙන් ශ්‍ර‍මිකයන් යැවීම අඩු වීම කෙරෙහි බලපාන බව සඳහන් කෙරිණි. ඊට අමතරව ශ්‍රී ලාංකික ශ්‍ර‍මිකයින් වැටුප් සහ අනෙකුත් ප්‍ර‍තිලාභ සම්බන්ධයෙන් එකඟ නොවීම යන සාධකයද ඊට හේතු වී තිබේ. තවද රැකියාවක් සඳහා බඳවා ගැනීමේදී දැරීමට සිදු වන ඉහළ පිරිවැය යන කරුණු ද ඊට බලපාන බව ප්‍ර‍කාශ කරනු ලැබීය.

3 මාධ් ය ප් රකාශක සෙනරත් යාපාjpg

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමන්‍යාධිකාරි (පුහුණු) සහ මාධ්‍ය ප්‍රකාශක සෙනරත් යාපා ඡායාරූපය – The Leader වෙබ් අඩවියෙනි.

“විදේශ රැකියා ඉල්ලුමට සරිලන ආකාරයට සැපයුම සම්පූර්ණ කර ගැනීමට නොහැකි වී තිබෙන කරුණු අතරින් ප්‍රධාන කාරණය තමයි සුදුසුකම් සම්පූර්ණ කළ පුද්ගලයන් නොමැති වීම. විදේශීය නියෝජිතයින් ඉල්ලා සිටින වෘත්තීය පුහුණුව ඔවුන් බොහෝ දෙනකුට නැහැ. ඒ වගේම තමයි වෘත්තීය පුහුණුව තියෙන සමහරුන්ට පිටරට යන්න වුවමනාව තිබුණත් සල්ලි නැති වෙන්න පුළුවන්. තවත් කොටසක් ඉන්නවා වෘත්තීය පුහුණුව වගේම සල්ලිත් තියෙනවා, හැබැයි IELTS වගේ සුදුසුකම් සම්පූර්ණ කරගෙන නැහැ. ගොඩක්දෙනා අහන ප්‍රශ්නයක් තමයි හෙදියන්ටත් වෘත්තීය පුහුණුව නැද්ද, ජපානයේ හෙදියන්ගේ ඉල්ලුමට මේ තරම් අඩුවෙන් සපයන්න වුණේ ඇයි කියලා. එතනදි ගොඩක් බලපැවේ මම මුලින් කියපු IELTS සුදුසුකම් සම්පූර්ණ නොකිරීමේ කාරණාව. තවත් සමහර වෙලාවට විදේශීය නියෝජිතයින් ඉල්ලා සිටින ගණනම ගන්නෙ නැති අවස්ථාත් තියෙනවා. අනික් කාරණය තමයි විදේශ ආයතනය එකම රැකියා ඇණවුම ශ්‍රී ලංකාව ඇතුළු තවත් රටවල් වලටත් ලබාදීම. එවිට ඒ රටවල් වලිනුත් ශ්‍රමිකයින් ගන්න පුළුවන්.” ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (පුහුණු) සහ මාධ්‍ය  ප්‍රකාශක සෙනරත් යාපා මහතා පැහැදිලි කළේය.

IELTS (International English Language testing System) යනු ඉංග්‍රීසී භාෂාව පිළිබඳව ජාත්‍යන්තරව පිළිගන්නා සහතිකයකි. එය යුරෝපීය රටවල්වලටත් ජපානය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය වැනි රටවල්වලට යෑමට අත්‍යවශ්‍ය සහතිකයක් නමුදු මැදපෙරදිග රටවල රැකියා සඳහා එය අදාළ නොවේ. එසේ නම් මැදපෙරදිග රටවල ශ්‍රමික ඉල්ලුම සැපයීමට අපොහොසත් වූයේ ඇයි? ඊට බලපානු ලැබූ එකම කාරණාව වෘත්තීය පුහුණුව අඩු වීමද?

2023 වර්ෂයේදීද විදේශ රැකියා ඉල්ලුමට වඩා අඩු ප්‍ර‍මාණයකන් රැකියා සැපයුම සිදු වූ අවස්ථා පහත දැක්වෙන සටහනින් පැහැදිලි කර ගත හැකිය. 

Screenshot 2023 08 28 at 12.45.37

Screenshot 2023 08 28 at 12.46.08
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය අවබෝධතා ගිවිසුමකට එළැඹී සිටින්නේ පුහුණු ශ්‍ර‍මිකයන් බිහි කර විදෙස් රැකියා වෙළෙඳපොළේ ඇති රැකියා ඉල්ලුමට ප්‍ර‍මාණවත් පරිදි රැකියා සැපයීමේ ප්‍ර‍ධාන අරමුණෙනි. 

පුහුණුවට එන්නේ 20%යි

5 ඊ.ඒ.ඩී.සේනාරත්න

ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ වෘත්තීය මාර්ගෝපදේශන සහ ප්‍ර‍වර්ධන අධ්‍යක්ෂ ඊ.ඒ.ඩී. සේනාරත්නඡායාරූපය – The Leader වෙබ් අඩවියෙනි.

“විදෙස්ගත වන ශ්‍ර‍මිකයන් පුහුණු කිරීමේ පාඨමාලා 24ක් අපි ආරම්භ කර තිබෙනවා. අපි මෙම පාඨමාලා පවත්වන්නේ විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමග අවබෝධතා ගිවිසුමක් ඇති කරගෙන. මෙම පාඨමාලා ප්‍ර‍ධාන කාණ්ඩ 3ක් යටතේ පැවැත්වෙනවා. කෙටිකාලීන පාඨමාලා, ඌනපූර්ණ පාඨමාලා, දැනුම යාවත්කාලීන කිරීමේ පාඨමාලා වශයෙන් මෙම කාණ්ඩ 3 දැක්විය හැකියි. අපි හිතමු දීර්ඝ කාලයක් මේසන් වැඩ කරන කෙනෙක් ඉන්නවා, ඒත් එයාට සුදුසුකම් තහවුරු කරන්න සහතිකයක් නැහැ කියලා. ඒ අයට ඌනපූර්ණ පාඨමාලාවට සම්බන්ධ වෙන්න පුළුවන්. තවත් පිරිසක් සිටිනවා රට ගිහින් ඇවිත් කාලයක් වෙනවා. ඒ අයට ආපහු යන්න ඒ අයගේ දැනුම යාවත්කාලීන කර ගැනීමට අවශ්‍යයි, ඒ අයට තමයි දැනුම යාවත්කාලීන කිරීමේ පාඨමාලාව පවත්වන්නේ. තවත් අය ඉන්නවා කෙටි කාලයක් වැඩ කරලා මූලික දැනුම තිබෙනවා. ඒත් රට රැකියාවකට ප්‍ර‍මාණවත් නැහැ. එයාලාට කෙටිකාලින පාඨමාලාවට සම්බන්ධ වෙන්න පුළුවන්. 

මෙම පාඨමාලා පැය 100 – 500 දක්වා සකස් කර තිබෙනවා. මේ සඳහා අපි බඳවා ගන්නේ මූලික දැනුමක්  තියෙන අය විතරයි. මුල සිට ඉගැන්වීමක් වෙන්නේ නැහැ. මුල සිට ඉගෙනගන්න අපේ පූර්ණකාලීන පාඨමාලාවලට බැ‍ඳෙන්න ඕනෑ. විදෙස්ගත වන අයට පැවැත්වෙන පාඨමාලා අපි ලංකාවේ මධ්‍යස්ථාන 107ක පවත්වනවා. සවස්වරුවේ සහ සති අන්තයේ තමයි පැවැත්වෙන්නේ. මෙම පාඨමාලා අවසානයේදී NVQ Level – 3 සහතිකයක් පිරිනමනවා. ලෙවල් 4 දෙන්න නම් පාඨමාලාව මාස 6ක් හැදෑරීම අවශ්‍යයි. 5500කට උගන්වන්න පහසුකම් තියෙනවා. ඒත් තවම ඉන්නේ 1100යි. ගොඩක් දෙනා ඉල්ලුම් කරන්නේ හෝටල් ක්ෂේත්‍ර‍ය සහ සත්කාරක සේවා පාඨමාලාවලට තමයි.” ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ වෘත්තීය මාර්ගෝපදේශන සහ ප්‍ර‍වර්ධන අධ්‍යක්ෂ ඊ.ඒ.ඩී. සේනාරත්න මහතා විස්තර කළේය.

මෙපමණ සාර්ථක වැඩපිළිවෙළක් අපට තිබියදී විදේශීය රැකියාවලට ගොස් අතරමං වී දුක් විඳින්නේ ඇයි? රැකියා වෙළෙඳපොළ ජය ගැනීමට නොහැකි වී තිබෙන්නේ ඇයි? අප සුදුසුකම් සපුරා නොමැති නිසාද? නැතහොත් ශාන්ත හරිශ්චන්ද්‍ර‍ ගුණවර්ධන මෙන් වැරදි පාරේ යෑමට උත්සාහ කරන නිසාද? එසේ නැතිනම් විදේශීය රැකියා නියෝජිත ආයතන සුදුසුකම් සපුරා නොමැති අය යවන නිසාද? මෙම තොරතුරු ලබා ගැනීම සඳහා විදේශ රැකියා නියෝජිත ආයතන රාශියකට කතා කළද ඔවුන් පිළිතුරු දීම මඟහැරිය බව විශේෂයෙන් සඳහන් කළ යුතුය. 

පිටකොටුව පීපල්ස් පාක් වෙළඳ සංකීර්ණයේ පිහිටි විදේශ රැකියා නියෝජිත  ආයතනයක් වන ‘දයාන් ලංකා එන්ටප්‍ර‍යිසස්’ අධිපති ජේ. දයානන්ද මහතා පිළිතුරු දුන්නේ මෙලෙසිනි

”හරියටම කරන්නේ මෙහෙමයි”

4 දයාන් ලංකා එන්ටප් රයිසස් අධිපති ජී. දයානන්ද

දයාන් ලංකා එන්ටප්‍ර‍යිසස් අධිපති ජේ. දයානන්දඡායාරූපය – The Leader වෙබ් අඩවියෙනි.

“පිටරට රස්සාවලට යවනකොට මම නම් විදේශීය නියෝජිතයාගෙන් රැකියා විස්තරය පැහැදිලිව ඉල්ලා ගන්නවා. අපි හිතමු මේසන්වරුන් ඉල්ලලා තියෙනවා කියලා. ඒ රටේ ඉල්ලන්නේ ටයිල් බාස් ද, ගල් බඳින බාස් ද, කපරාරු වැඩකටද කියලා විස්තර ගන්නවා. ඉලෙක්ට්‍රීෂන් කිව්වාම වයරින් වැඩක්ද, ෆැක්ටරියක වැඩද මොනවාද කරන්න තියෙන්නේ කියලා මම සම්පූර්ණ විස්තරයක් ගන්නවා. ඊටපස්සේ තමයි පත්තරවල දැන්වීම් දාලා කට්ටිය තෝරාගන්නේ. තෝරා ගැනීමේදී NVQ සහතිකය බලනවා. ඒවා නැතිනම් ටෙස්කොම් කියලා දෙහිවල තියෙන රජයේ අනුමත පුහුණු ආයතනයට මම ඒ අයව යොමු කරනවා. එතනින් ඒ අයව A, B, C කියලා ශ්‍රේණිගත කරනවා. ඒ ශ්‍රේණිගත කිරීමේදී A ගත් අයව මම  තෝරා ගන්නවා. මම විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සියලු නීතිරීතිවලට යටත්ව කටයුතු කරන කෙනෙක්. මම දැන් මේ ව්‍යාපාරය පටන් අරං අවුරුදු 20කට වැඩියි. මට මගේ ලයිෂන් එක අවලංගු කරගන්න බැහැ.”

ඔහු තවදුරටත් සඳහන් කළේ ගෘහ සේවිකා හැර සෙසු රැකියා සඳහා වසර 1 ½කින්වත් ඇණවුම් ඔහුගේ ආයතනයට නොලැබුණු බවය. ගෘහ සේවිකාවන් යැවීමේදී මැදපෙරදිග සේවා පළපුරුද්දට ප්‍ර‍මුඛත්වය ලබාදෙන බවත් නුපුහුණු අය රජයේ පුහුණු ආයතනවලට යොමු කර පුහුණු සහතිකය ගැනීමට උදව් කරන බවත් ඔහු පැවසීය. ඇතැම් අවස්ථාවල පුහුණු කිරීමේ ආයතනයට ගෙවිය යුතු මුදල් තම ආයතනය විසින් දරනු ලබන අතර එකී වියදම ගෘහ සේවිකා වැටුපෙන් අඩුකරගන්නා බව ඔහු තවදුරටත් විස්තර කළේ පාඩු විඳීමට සිදු වූ අවස්ථාද සිහිපත් කරමිනි. 

FB IMG 1661284843828

ඡායාරූපය – The Leader වෙබ් අඩවිය

කෙසේ නමුදු මෙයින් පැහැදිලි වන්නේ ගෘහ සේවිකා ඇතුළු සෙසු වෘත්තීන් සඳහා පුහුණු සහතිකය අත්‍යවශ්‍ය බවයි. එය ඉතා හොඳ ප්‍ර‍වණතාවකි. ගෘහ සේවිකාවන්ට එකී රටේ භාෂා දැනුම, සංස්කෘතික අවබෝධය සමග නවීන උපකරණ භාවිතය ගැන දැනුමක් තිබේ නම් බොහෝ කරදරවලින් බේරී නිදහසේ රැකියාව කරගෙන අතමිට සරු කර ගත හැකිය. බොහෝ කතුන් විවිධ අඩන්තේට්ටම් හා වදහිංසාවලට ලක් වන්නේ භාෂාව සහ සංස්කෘතිය පිළිබඳව අනවබෝධය සහ මුළුතැන්ගෙයි නවීන උපකරණ සමග වැඩ කිරීමට නොදන්නා නිසාය. ඉදිකිරීමේ ක්ෂේත්‍ර‍, හෝටල් ක්ෂේත්‍ර‍, සත්කාරක සේවා හෝ වෙනත් ඕනෑම ක්ෂේත්‍ර‍යක වෘත්තියක් සඳහා විධිමත් පුහුණුවක් ලබා තිබේ නම් බොහෝදෙනකුට මහමඟ අතරමං විය යුතු නැත. 

එහෙත් වෘත්තීය පුහුණුව පිළිබඳව අපේ අය සිතන බවක් නම් පෙනෙන්නට නැත. ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ 5500කට ඉඩප්‍ර‍ස්ථා තිබියදී 1100ක් පමණක් පුහුණුව ලබන්නේ එමනිසාය. ලංකා කාර්මික විද්‍යාල හිස්ව වේළෙද්දී පාසලෙන් සමුගන්නා තරුණයන් දිනෙන් දින ත්‍රීවීලර් රථගාල්වලට එක්රොක් වන්නේ එමනිසාය.  


(හර්ෂා සුගතදාස)  

මෙම වාර්තාව 2023 අගෝස්තු මස 27 දින ඉරිදා මව්බිම පුවන්පතේ ප්‍රකාශයට පත් කරන ලද වාර්තාවක උපුටනයකි.  

RELATED ARTICLES
- Advertisment -

Most Popular

Recent Comments