Friday, February 23, 2024
HomeStorytellingIn-depth2019 සිට 2023 දක්වා කාලය තුලදී විදෙස් රටවලදී මියගිය හා විවිධ අනතුරුවලට...

2019 සිට 2023 දක්වා කාලය තුලදී විදෙස් රටවලදී මියගිය හා විවිධ අනතුරුවලට ලක්වූ විදෙස් ශ්‍රමිකයන්ගෙන් 84%ක් නිසි පුහුණුවක් නොලබා විදේශගත වූ පිරිස්.

“මගේ නෝනා සෞදි අරාබියේ ගෘහ සේවයට ගිහින් වසර ගණනාවක් එහෙ හිටියා. ඒ අතරතුර විටින් විට ඉන්න තැන හොඳ නැ කියලා එයා හිටපු ගෙදරින් පැනලා වෙනත් තැනක සේවයට ගිහින් තියෙනවා. එහිදී එයාට වැඩ කරගන්න බැරිව  අසනීප වෙලා රෝහල් ගත කළාම එහිදී දුන් එන්නතක් වැරදිලා එයාට හරියට ප්‍රතිකාර නොකර 2016 ලංකාවට එව්වා. එදා සිටම මිය යනතෙක්  ඉඩකඩම් පවා උකස් තියලා  එයාව බේරගන්න හැදුවත් වැඩක් වුණේ නෑ”.

 අම්බලන්තොට ඕලුවිල ප්‍රදේශයේ පදිංචිව සිටින තිදරු පියෙකු වන  ඩබ්ලිව්,කේ,පි. ප්‍රියන්ත  මහතා ද මුහුණ දී ඇත්තේ එවන් සෝචනීය ඉරණමකට  ය.  ඔහුගේ  බිරිඳ  වූ ආර්.එන්.  නිමන්ති   2018 නොවැම්බර් මස 08 වන දින මිය යන්නේ වසර ගණනාවක් සෞදි ආරාබියේ ගෘහ සේවිකාවක ලෙස සේවයකරමින් සිටින අතරතුර එහි දී සිදුවූ වැරදි එන්නතක් ශරීරගතවීමෙන් පසු සිදුවූ අක්මාවේ ශල්‍යකර්මයෙන් විනාශ වීම නිසා අක්මාව අක්‍රියවිමේ බරපතල රෝගයකින් වසර දෙකක් පමණ ලංකාවට ද පැමිණ  දුක් විඳීමෙන් අනතුරුව ය.

      ආර්.පි.  නිමන්ති  යනු මේ ඉරණමට ලක්වූ එක් කාන්තාවක්  පමණි. මේ ආකාරයෙන් විදේශ රැකියාවන්හි  නියුක්ත වු  දහස් ගණනකට මෙම ඉරණම අත් වි තිබෙන බව තොරතුරු දැනගැනීමේ පනත මගින් විදේශ සේවා නියුක්ති කාර්යංශය මගින් ලබා ගත් නිල තොරතුරුවලින් අනාවරණය කර ගැනීමට හැකිවිය. ඒ ආකාරයෙන් ශ්‍රමිකයන් ලෙස විදේශ ගතවූ පිරිස් අතරින් මියගිය පිරිස් සම්බන්ධයෙන් වාර්ෂික වාර්තා සලකා බැලීමේදී  ඒ අනුව 2019 වර්ෂයේ 196ක්, 2020 වර්ෂයේ 196ක් ,2021 වර්ෂයේ 191ක්, 2022 වර්ෂයේ 124ක් 2023 වර්ෂයේ ජුනි මස දක්වා 100ක් විදෙස්ගත ශ‍්‍රමිකයින් අතරින් මියගොස් තිබෙන බව අනාවරණය කර ගැනීමට හැකිවිය. මෙහි ඇති බරපතලම කාරණාව වන්නේ 2019 ජනවාරි මස සිට  සිට 2023 ජුනි මස 15 දක්වා  කාලය තුලදී පමණක් මියගිය විදේශ ශ්‍රමිකයින් 807 දෙනාගෙන් 689 දෙනෙකුම පුහුණු ශ්‍රමිකයින් නොවීමයි.

  සංක්‍රමණික කුසලතා ශ්‍රී ලංකාව තුළ තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන අතර එය රටේ වර්ධනයට සහ සංවර්ධනයට දායකත්වය කෙසේ වෙතත් පුහුණු ශ්‍රමිකයන් සඳහා ඇති ඉල්ලුම සහ ශ්‍රී ලංකාවෙන් ලැබෙන සැපයුම අතර නොගැලපීම විසඳීමට අවශ්‍ය වන්නේ නුපුහුණු ශ්‍රමිකයන් විදෙස් රැකියා සඳහා යෑම හේතුවෙන් ඔවුන්  විශාල ලෙස අනතුරු හා හිරිහැරවලට ලක්වීමේ අවධානම ඉහල යෑමයි. එය ඉහත දත්ත මගින් මැනවින් පිළිබිඹු කරනු ලැබේ.

මේ ආකාරයෙන්ම 2019 ජනවාරි මස සිට  සිට 2023 ජුනි මස 15 දක්වා  කාලය තුලදී පමණක් ශ්‍රමිකයින් ලෙස විදේශ ගතවී විවිධ අනතුරුවලට ලක්වී නැවත පැමිණි විදේශ  ශ්‍රමිකයින් සම්බන්ධයෙන් සිදුකළ සොයා බැලීමේදී 2019 වර්ෂයේදී 221ක්, 2020 වර්ෂයේදී 87ක්, 2021 වර්ෂයේදී 92ක්, 2022 වර්ෂයේදී 182ක්, 2023 ජුනි දක්වා 83 දෙනෙකු විවිධ අනතුරුවලට ලක්වීම නිසා නැවත ලංකාවට පැමිණීමට සිදුවී තිබේ. මෙම 665 දෙනා අතරින් නියමිත පුහුණුවක් ලබා ශ්‍රමිකයන් ලෙස විදෙස් ගතවූ ශ්‍රමිකයින් සිටින්නේ 158 දෙනෙකු පමණි. අනෙකුත් 507 දෙනාම නියමිත පුහුණු ශ්‍රමිකයින් නොවන බව තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම යටතේ විදේශ සේවා නියුක්ති කාර්යංශය මගින් ලබාගත් නිල තොරතුරු මගින් අනාවරණය කර ගැනීමට හැකිවිය.

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය

 ආර්ථික අර්බුදය ඉහළ විරැකියාවට සහ දරිද්‍රතාවයට හේතු වී ඇති අතර, එය බොහෝ ශ්‍රී ලාංකිකයින්ට ජීවනෝපායන්  අහිමි කිරීමට තරම් ප්‍රබල වී තිබේ. මේ නිසා බොහෝ  අය රැකියාවක් සොයා ගැනීමට සහ මූල්‍ය තත්ත්වය වැඩිදියුණු කර ගැනීමට මාර්ගයක් ලෙස නීති විරෝධී සංක්‍රමණ වෙත යොමු වී තිබෙන බව talkingeconomics වෙබ් අඩවිය පෙන්වා දෙයි. ඒ අනුව  ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන්ට සෑහෙන මට්ටමේ දේශීය වෙළඳපොල තුල වෘත්තීය  අවස්ථා නොමැතිකම ද ඒ අතර ප්‍රබල කාරණාවකි. ශ්‍රම වෙළඳපොළ අවශ්‍යතා සපුරාලීමට ප්‍රමාණවත් පුහුණු ශ්‍රමිකයන් මෙරට අධ්‍යාපන ක්‍රමය මගින් නොඉපදවිම  නිසා බොහෝ තරුණ තරුණියන්ට ශ්‍රී ලංකාවේ රැකියා සොයා ගැනීමට නොහැකිව විදේශ රැකියා සොයා යාමට සිදුවේ.

“නීති විරෝධී සංක්‍රමණ හා අවිධිමත් සංක්‍රමණවලින් වන එක දෙයක් තමයි මිනිස් ජාවාරමේ හා මිනිස් වෙළදාමේ වින්දිතයන් බවට  සංක්‍රමණිකයන් පත්වීම. මෙන්න මේ දෙක මේ රටේ පවතින ආර්ථික අවපාතයත් සමාජීය අවපාතයත් සමඟ බලපෑමක් කරලා තියෙනවා” බව යූ ලීඩ් ව්‍යාපෘතියේ   කුසලතා හා මාර්ගෝපදේශන අධ්‍යක්ෂ නිරෝෂ හපුආරච්චි මහතා අවධාරණය කරයි. තරුණ තරුණියන් සඳහා රැකියා අවස්ථා සහ ස්වයං රැකියා අවස්ථා ඉහළ නැංවීම කෙරෙහි අවධානය යොමු කරමින් ශ්‍රී ලංකාවේ තාක්ෂණික හා වෘත්තීය අධ්‍යාපනය සහ පුහුණුව වැඩිදියුණු කිරීම යූ ලීඩ් ව්‍යාපෘතිය මගින් සිදු කෙරේ.

“ඒ වගේම අපි අධ්‍යාපනය සහ වැඩ ලෝකය අතර නොගැලපීම. එකක් තමයි ප්‍රාථමික මෙන්ම උසස් අධ්‍යාපනය තුලදී උගන්වන දේ වැඩ ලෝකයට ගැලපෙන්නේ නෑ. ඒවා යාවත්කාලින වෙන්නේ නෑ’’ බවයි හෙතෙම කියා සිටින්නේ.

 මිනිසුන්ට නීත්‍යානුකූලව සහ නීති විරෝධී ලෙස වෙනත් රටවලට ගමන් කිරීම වෙන කවරදාටත් වඩා සිදු වෙමින් පවතී . මෙමගින් නුපුහුණු ශ්‍රමිකයන් හට නොපවතින විදේශ රැකියා ලබා දෙන බවට පොරොන්දු වන නීතිවිරෝධී බඳවා ගන්නන්ගේ ගොදුරු බවට පත්වීම ඉහළ ගොස් තිබේ.

මේ සම්බන්ධයෙන් විදේශසේවා නියුක්ති කාර්යාංශය මගින් තොරතුරු දැනගැනීමේ පනත යටතේ ලබාගත් තොරතුරු අනුව  සිදුකළ සොයා බැලීමකදී අනාවරණය වුයේ 2019 වර්ෂයේ ජනවාරි මස සිට  සිට 2023 ජුනි මස 15වන දින වන විට නීතිවිරෝධී විදේශ රැකියා ලබාදෙන  ආයතන 461ක් තුල වැටලීම් සිදුකර එම 461 සඳහාම අධිකරණ ක්‍රියාමාර්ග ගෙන තිබෙන බවයි.

  විශේෂයෙන්ම මෙම නීතිවිරෝධී ආයතනයන්හි හා ජාවාරම්කරුවන්ගේ  ගොදුරු බවට පත්වෙන්නේ  බහුතරයක් නුපුහුණු ශ්‍රමිකයන් වේ. එයට ප්‍රධානතම හේතුව වී ඇත්තේ ඔවුන් හට  නිශ්චිත රැකියාවක් වෙනුවෙන් අවශ්‍ය කුසලතාවයන්  නොමැති වීමයි. ඒ හේතුවෙන් කුමන මාර්ගයකින් හෝ විදෙස් ගතවීමට කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ට මුදල් මෙන්ම ජිවිත තුලින්ද වන්දි ගෙවීමට සිදුව තිබෙන බව ජාවාරම්කරුවන්ගේ  ගොදුරු බවට පත්වූ බොහෝ දෙනෙකු සමඟ අප කළ විමසීමකදී අනාවරණය විය.

ඡායාරූපය – Ceylon News 24 වෙබ් අඩවියෙනි.

 අහම්බෙන් සිදුවන සංක්‍රමණයේ අවදානම පිළිබඳ දැනුවත් භාවය නොමැතිකම ද තවත් ප්‍රබල කාරණාවක් වේ. බොහෝ නුපුහුණු කම්කරුවන් අහම්බෙන් සිදුවන සංක්‍රමණයේ අවදානම ගැන නොදනී. වෙනත් රටවලට සංක්‍රමණය වීමට ඇති නීතිමය අවශ්‍යතා ගැන ඔවුන් නොදැන සිටිය හැකිය. ඒ ආකාරයෙන් නිසි දැනුවත් වීමක් නොමැතිව විදේශ ගතවීමට යාමේදී බොහෝ දෙනෙකු හට සිදුවූ විවිධ කරදර සම්බන්ධයෙන් මෑත කාලයේ බහුලව වාර්තා වේ.

 ඒ ආකාරයෙන්  තායිලන්තයේ රැකියා ලබා දෙන බව පවසා අම්බලන්තොට ,මාතර ඇතුළු ප්‍රදේශ ගණනාවක පදිංචි තරුණ තරුණියන්ගෙන් මුදල් ලබාගෙන  සංචාරක වීසා මත රටවල්වලට යවා  එම තරුණතරුණියන් එම රටවල අතරමංකිරීම සම්බන්ධයෙන් වූ සිද්ධි ලංකාවේ  මෑත කාලයේ සිදුවූ දරුණුතම මිනිස් ජාවාරමක් වේ. නියමිත පුහුණු ශ්‍රමයක් නොමැතිව නිත්‍යානුකුල නොවන ආකාරයෙන් විදෙස් ගතවීමට යාම හේතුවෙන් මෙම ජාවාරමට  ගොදුරු වූ තරුණ තරුණියන් බොහොමයකට සිදුවුයේ තම මුදල් අහිමි කර ගැනීම පමණක් නොවේ තමන් නොසිතු බයංකර ඉරණමකටද මුහුණ දීමට ය.

  මේ මිනිස් ජවාරාමට හසුවී මේ වනවිට ලකාවට පැමිණ සිටින ඇඹිලිපිටිය ප්‍රදේශයේ සම්පත් නමැති තරුණයා කියා සිටියේ  මෙවන් අදහසක් “අපිට තායිලන්තයේ ලක්ෂ හතරක පහක වැටුපක් දෙන රස්සාවලට යවනවා කියලා අපිව සම්මුඛ පරීක්ෂණයක් අම්බලන්තොටදී කළා, ඒ වෙනුවෙන් අපි රුපියල් ලක්ෂ හතරක් විතර මුදලකුත් දුන්නා. එහෙම සල්ලි දීපු හත්දෙනෙක් මාත් එක්ක ගියා, ගියාට පස්සේ තමයි තේරුණේ මේ අය අපිව හිරකරලා කියල. අපිට රස්සාවකට කියල ලාඕසයේ දුපතකට අරන් ගිහින් හිරකරගෙන  හිටියේ. ඒකට තායිලන්තයේ ඉන්න, ආදිල් කියන නම ඇති පුද්ගලයෙක් සම්බන්ධයි. ඒ වගේ එහෙ හිරවෙලා 400ක් පමණ ඉන්නවා ඒ අතර ගෑනු ළමයින් 200ක් විතර  ඉන්නවා.”

 “ අපිට රස්සාවක් කියලා කරන්න තිබුනේ සමාජ මාධ්‍ය ගිණුම් මගින් සමලිංගික පුද්ගලයින් සමඟ සම්බන්ධතා ඇතිකරගෙන ඔවුන්ගෙන් වංචනික ලෙස මුදල් ලබාගැනීම. හැමෝටම කරන්න තියෙන්නේ මේ රස්සාව තමයි.’’

පුහුණු ශ්‍රමිකයන් අහිමි වීම

 නුපුහුණු ශ්‍රමිකයින් අහම්බෙන් සංක්‍රමණය වන විට, බොහෝ විට ඔවුන් තෝරාගත් ගමනාන්ත රටෙහි රැකියාවක් සොයා ගැනීමට නොහැකි වේ. එම නිසා රැකියා සිහිනයේදී විවිධ අනතුරු, නියමිත එක් ස්ථානයක රැකියාව කිරීමට නොහැකිවීම ආදි ගැටලුවලට පත්විය හැකි බව විදේශසේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (පුහුණු සහ බඳවා ගැනීම්) පී.ජී.ජී.එස්. යාපා මහතා කියා සිටියේ ය.

  එමෙන්ම නුපුහුණු ශ්‍රමිකයින් රැකියා වෙනුවෙන් විදෙස්ගතවීම තුල සංක්‍රමණික සේවකයින් සූරාකෑමට ලක්වීම ද අද බෙහෙවින් දක්නට ඇති දෙයකි. අහම්බෙන් සංක්‍රමණය වන සංක්‍රමණික කම්කරුවන් බොහෝ විට තම සේවා යෝජකයන්ගේ සූරාකෑමට ගොදුරු වේ. ඔවුන්ට අඩු වැටුප් ගෙවීමට, දිගු පැය ගණනක් වැඩ කිරීමට බල කිරීමට හෝ අනාරක්ෂිත සේවා කොන්දේසිවලට යටත් කිරීමට සිදු විය හැකිය. සමහර අවස්ථාවලදී ඔවුන් ජාවාරමට හෝ අපයෝජනයට පවා ලක් විය හැකිය. අප මුලින් සඳහන් කළ ආර් ,එන්.  නිමන්ති මහත්මියට ද සිදුවුයේ ඒ ආකාරයේ ශ්‍රම සුරා කෑමකට ලක්වීමටයි.

 එමෙන්ම මේ වනවිට ඕමාන්වල නිසි රැකියාවක් නොමැතිව විවිධ හිරිහැරවලට ලක්වෙමින්  සිටින කුරුණෑගල, අරගම හංසිකා අපට පැවසුවේ මෙවන් අදහසකි.  “ මම විසිට් විසා එකකින් ඩුබායිවලට ඇවිත් තමයි පස්සේ ඕමාන්වලට අවේ. ලංකාවේදී ගාමන්ට් ගියත් විදෙස් ගතවීමේදී  විශේෂ පුහුණුවක් මම ලබාගත්තේ නෑ. මම දැන් ස්ථිරවම කරන්න පුළුවන් රැකියාවක් නොමැතිව විවිධ කරදරවලට ලක්වෙමින් සිටින්නේ. ජීවත්වෙන්න සල්ලිත් ඕන, ලංකාවට ගියත් කරන්න දෙයක් නැති නිසා මේ දුක විඳිනවා.”

 ශ්‍රී ලංකාවේ වැඩි පිරිසකට රැකියා සොයා ගැනීමට අවස්ථාව ලැබෙන පරිදි ආර්ථිකය වැඩිදියුණු කිරීමට රජය පියවර ගත යුතු ය. ඒ තුලින්  රැකියා සොයා පිටරටවලට සංක්‍රමණය වීමේ අවශ්‍යතාවය අඩු කරගැනීමට හැකි වේ.

 “නිපුණ ශ්‍රමිකයන්ගේ අවශ්‍යතාවයට ගැලපෙන පරිදි  ශ්‍රී ලංකාවේ කුසලතා සංවර්ධන පාඨමාලා ක්‍රියාත්මක නොවීම වගේම විදේශ රැකියා අමාත්‍යාංශයත් ,අධ්‍යාපන අමාත්‍යාංශය තුල තිබෙන වෘත්තීය පුහුණු අංශයේ නිපුණතා සංවර්ධන අංශයත් සමඟ හොඳ සම්බන්ධතාවක් නෑ.  නිදසුනක් ලෙස විදේශ රැකියා අමාත්‍යාංශය නිපුණතා සංවර්ධන අමාත්‍යාංශයට කියන්න ඕන මෙන්න මේ වගේ රැකියාවල් තමයි ඊළඟ වසරවලට ලැබෙන්නේ කියලා.  ඒ වසරවල් සඳහා ලැබෙන රැකියා ප්‍රමාණයත් රැකියාවේ ස්වභාවයත් මොනවගේ කුසලතාවයන් ද බලාපොරොත්තු වෙන්නේ කියන එකත් පදනම් කරගෙන පර්යේෂණයක් කරලා කියන්න ඕන නිපුණතා අමාත්‍යංශයට පාඨමාලාවල උගන්වන විෂය නිර්දේශ  වෙනස්කරන්න කියලා. එහෙම එකක් කවදාවත් වෙන්නේ නෑ. ඒ අමාත්‍යංශ දෙක අතර සහසම්බන්ධතාවක් නෑ,” නිරෝෂ හපුආරච්චි මහතා පවසා සිටි,

 “විදේශ රැකියා අමාත්‍යාංශය කොයි වෙලාවකවත් කියන්නේ නෑ අපිට මෙන්න මේ වගේ රැකියා ටිකක් තමයි ඕන. ඒකට හරියන නිපුණ ශ්‍රමිකයන් බිහිකරන්න කියලා. ඒක හරිම කනගාටුදායක තත්වයක්. මේ හේතුව නිසා අපිට එන රැකියාවන්ගෙන් මගේ දැනුමේ හැටියට 5%ක් වත් අපි ලබාදෙන්නේ නෑ.” බවයි හපුආරච්චි මහතා වැඩිදුරටත් පවසා සිටින්නේ.

පුහුණු ශ්‍රමයේ වැදගත්කම

 පුහුණු ශ්‍රමිකයන්ගේ සංක්‍රමණය දැඩි විවාදයට ලක්වන මාතෘකාවකි. සමහරු එය කම්කරුවන්ට සහ ඔවුන්ගේ මව් රටවලට ආශීර්වාදයක් යැයි විශ්වාස කරන අතර තවත් සමහරු එය අවාසියක් යැයි විශ්වාස කරන්නේ එම රටට එම ශ්‍රමය අහිමි වීම නිසා වෙනි.

  පුහුණු ශ්‍රමිකයන් විදේශගත වීමට තෝරා ගැනීමට හේතු ගණනාවක් තිබේ. ඔවුන් වඩා හොඳ රැකියා අවස්ථා, ඉහළ වැටුප් හෝ වඩා හොඳ ජීවන තත්ත්වයක් අපේක්ෂා කරනවා විය හැකිය.

එමෙන්ම පුහුණු ශ්‍රමිකයින් සංක්‍රමණය වීමෙන් ශ්‍රමිකයින්ට සහ ඔවුන්ගේ මව් රටවලට ප්‍රතිලාභ රැසක් අත්විය හැක. කම්කරුවන් සඳහා, එය ඉහළ වැටුප්, වඩා හොඳ සේවා තත්ත්වයන් සහ දියුණුව සඳහා වැඩි අවස්ථාවන් සඳහා හේතු විය හැක. ඔවුන් ආපසු පැමිණෙන විට ඔවුන්ගේ මව් රටට ප්‍රයෝජනවත් විය හැකි නව කුසලතා සහ අත්දැකීම් ලබා ගැනීමට ද එය ඔවුන්ට උපකාර කළ හැකිය.

මව් රටවලට, පුහුණු ශ්‍රමිකයින් සංක්‍රමණය වීම නිසා ප්‍රේෂණ වැඩි විය හැකි අතර, එය ආර්ථිකය නංවාලීමට උපකාරී වේ. ආර්ථිකය දියුණු කිරීමට සහ රැකියා උත්පාදනයට උපකාර කළ හැකි තාක්‍ෂණය සහ දැනුම හුවමාරු වීමට ද එය හේතු විය හැක.

ඒ ආකාරයෙන් පුහුණු ශ්‍රමිකයෙක් ලෙස විදෙස් ගතවී මේ වනවිට ලංකාවට පැමිණ දක්ෂ ව්‍යවසායකයෙකු ලෙස කටයුතු කරන අම්බලන්තොට බරවකුඹුක ප්‍රදේශයේ පදිංචි නිලන්ත දීයගහ මහතා පුහුණු ශ්‍රමිකයෙකු ලෙස විදේශගතවීමේ වැදගත්කම සම්බන්ධයෙන් මෙසේ අදහස් පලකරන ලදී. “ මම කොරියාවේ රැකියාවකට ගියේ 2004 වසරේදී. යනකොටත් අංශ කීපයකින් මම පුහුණුවෙලා ගියේ. ඒ වගේම විදෙස්ගතවීමට මත්තෙන් ලබාගත් භාෂා කුසලතවයද වැදගත් කාරණාවක් වුණා.”

මට කොරියාවේ සේවය කරන අතරතුර ලංකාව වෙනුවෙන් මගේ තාක්ෂණික  දැනුම යොදාගෙන හොඳ දෙයක් කරන්න ඕන කියල හිතුනා, එහිදී මම හිතුවේ ලංකවේ ගුණාත්මක නිෂ්පාදන ආහාර අඩු නිසා ඒ වෙනුවෙන් නිෂ්පාදනයක් කරන්න ඕන කියලා. ඒ ගැන හිතල තමයි මම දැන් ආරම්භ  කරලා තියෙන හෙරලි නිෂ්පාදන පටන් ගත්තේ, ඒ සඳහා මම කොරියාවේදී ඇතිකරගත් සම්බන්ධතාවයන්ද යොදා ගෙන ඒ සඳහා අවශ්‍ය යන්ත්‍රෝපකරණ ලංකාවට ගෙන්වා ගැනීමටත් හැකිවුණා. දැන් මම සාර්ථක ව්‍යාපාරිකයෙකු ලෙස, වස විස නැති නිෂ්පාදන රැසක්  වෙළඳපොළට එක් කිරීමට සමත්වී තිබෙනවා.’’

 ඒ ආකාරයෙන්ම කොරියාවේ වසර 6කට අධික කාලයක් සේවෙයේ යෙදී සිටි අම්බලන්තොට පදංචි උදාර කුමාර මහතා “මම කොරියාවට ගියේ වෘත්තීය හැකියාවයි භාෂා දැනුමයි දෙකම අරගෙන ඒකේ ප්‍රතිඵලයක් ලෙස කිසිදු කරදරයකින් තොරව ආයතනයේ ප්‍රධානීන්ගේ හිත දිනාගෙන මට වැඩ කරන්න පුළුවන් වුණා.” විශේෂයෙන්ම කොරියාවේදී  ලබාගත් තාක්ෂණික දැනුමත් පදනම් කරගෙන අද මගේ පියාගේ ව්‍යාපාරය තුල නව යන්ත්‍ර සූත්‍ර යොදා ගනිමින් මමත් සේවය කරනවා. විදෙස් ගතවන අයගෙන් මම ඉල්ලා සිටින්නේ මහන්සියෙන් හම්බකරගෙන එන සල්ලි, නිකන් වියදම් කරන්නේ නැතිව එය ඵලදායි ව්‍යාපාරයක් කර්මාන්තයක් වෙනුවෙන් යොදවන්න කියලා.’’

රජය ගෙන ඇති  පිළියම්

 අහම්බෙන් සිදුවන නීතිවිරෝධී සංක්‍රමණ අවදානම අවම කිරීම වෙනුවෙන්  රජය මේ වනවිට  ගෙන ඇති  පිළියම්  සම්බන්ධයෙන්  විදේශසේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (පුහුණු සහ බඳවා ගැනීම්) පී.ජී.ජී.එස්. යාපා මහතාගෙන් අප කළ විමසීමකදී ඔහු ප්‍රකාශ කර සිටියේ,

  2023.08.21 දින සිට  ප්‍රධාන ආයතන හතරක එකඟතාවයත් සමඟ නිතිවිරෝධිව විදේශගතවන පිරිස් ගුවන්තොටුපොල තුලදී  විමර්ශනය කරන්න රාජ්‍ය බුද්ධිංශය, අපරාධපරික්ෂණ දෙපාර්තමේන්තුව, ආගමන විගමන දෙපාර්තමේන්තුව, විදේශසේවා නියුක්තිකාර්යංශය සමඟ එක්ව විශේෂ ඒකකයක් පිහිටුවීමට කටයුතු කළ බවයි.

“යම් අයෙක් ව්‍යාජ ලේඛන ඉදිරිපත්කරලා යනවනම් ඒ අය සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්න කටයුතු කරනවා. මේකෙන් අපි බලාපොරොත්තු වන්නේ නීති විරෝධී සංක්‍රමණ වලක්වා ගන්න එක.ඒ වගේම අපි මේ වනවිට නීති විරෝධී ලෙස විදෙස් ගතවීම සිදු නොකරන ලෙස ජනතාව දැනුවත්කිරීමේ වැඩ සටහනක් ක්‍රියාත්මක කරමින් තිබෙනවා. ‘’

“ඒ වගේම ගෘහ සේවා රැකියා සඳහා විදේශ ගතවන අයට දින 28ක විධිමත් පුහුණුව හා ඉන් ලබාදෙන සහතිකය 2023 අප්‍රේල් 1 සිට අනිවාර්ය කරලා තියෙනවා.”

“විදේශ රැකියාවකට යනව නම් ජනතාවට මුලිකවම සැලසුමක් තියෙන්න ඕන, තමන් විදේශ ගතවන ක්ෂේත්‍රයේ පුහුණුවක් ලබාගන්න ඕන. එහෙම නැතිනම් බොරුවට සහතික හදාගෙන ගියවිට එහෙදි ඒ රැකියාව කරන්න බැරි වෙනකොට ගැටළු ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමන් පුද්ගලිකව හොයාගන්න රැකියාවක් නම් තමන් ඒ ගැන සැකහැර දැනගන්න ඕන. මොකද අතරමැදියෝ හවුල් වෙලා වෙනත් ජාවාරම් කරන්නත් අවස්ථාව තියෙන නිසා”

“එමෙන්ම භාෂා හැකියාවත් යම් ආකාරයකට හදාගෙන යනවානම් එයාගේ රැකවරණයටත් ඒක හේතුවක් වෙනවා.”

 නුපුහුණු කම්කරුවන් අතර අහම්බෙන් සිදුවන සංක්‍රමණයේ අවදානම පිළිබඳව රජය දැනුවත් කිරීම, ඒ සම්බන්ධයෙන් නිතිය ක්‍රියාත්මක කිරීම  අවශ්‍ය වගේම  නීතිවිරෝධී බඳවා ගැනීම්වලට මිනිසුන් ගොදුරු වීමෙන් වැළැකි සිටීමට, නීතිවිරෝධී සංක්‍රමණවලින් වැලකි සිටීමට ජනතාවට ද  වගකීමක් තිබේ.

මෙම වාර්තාව 2023 අගෝස්තු මස 31 දින ‘අද’ පුවන්පතේ ප්‍රකාශයට පත් කරන ලද වාර්තාවක උපුටනයකි.  

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි

RELATED ARTICLES
- Advertisment -

Most Popular

Recent Comments