Tuesday, April 21, 2026
26.7 C
Colombo

ස්ත්‍රීත්වය නිසාම බැට කන ඡන්ද අපේක්ෂිකාවෝ

මෙරට ඡන්ද අපේක්ෂිකාවන්ට මුහුණ දීමට සිදුව තිබෙන්නේ මැතිවරණය හමුවේ තිබෙන දේශපාලනමය තරගයට වඩා වෙනස් වූ අරගලයකට ය. ඒ, කාන්තාවන් වීම නිසාම තමන්ට එල්ල වන අපහාස හා විවිධාකාර පීඩාවන්ට ද මුහුණ දෙමින් ම පුරුෂ මූලික වූ තරග බිමක හුදෙකලා සටනක් කිරීමට සිදුවීම නිසා ය. වත්මන් ශ්‍රී ලාංකික ජනගහණයෙන් 52%ක් පමණ සිටින්නේ කාන්තාවන් වුවත් මෙරට දේශපාලනය තුළ කාන්තාවන් සිටින්නේ ඉතා අල්ප සංඛ්‍යාවකි. විශේෂයෙන් ව්‍යවස්ථාදායකය තුළ එම නියෝජනය ඉතාමත්ම අල්ප ය. එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණය සදහා ද ඉදිරිපත්ව සිටින අපේක්ෂක අපේක්ෂිකාවන් අතර ද අපේක්ෂිකාවන් සිටින්නේ ඉතා අඩු ප්‍රතිශතය කි. ප්‍රධාන පක්ෂ කීපයක් පිළිබද සැලකූ විට එක්සත් ජාතික පක්ෂයේ මුළු අපේක්ෂක සංඛ්‍යාවෙන් කාන්තාවන් වෙනුවෙන් වෙන්ව ඇත්තේ 4.5% කි. ජාතික ජන බලවේගයේ 6% කි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ 5% කි. සමගි ජන බලවේගයේ 4%කට ආසන්න සංඛ්‍යාව කි. නාමයෝජනා කඩඉම ජයග්‍රහණය කර මැතිවරණයට තරග කිරීමේ දුර්ලභ අවස්ථාව හිමිකරගෙන සිටින එම සුළුතර අපේක්ෂිකාවන් පිරිසට ද මැතිවරණ ප්‍රචාරක සමයේ කරන්නට සිදුවී ඇති අරගලය සුළු පටු එකක් නොවේ.

‘කාන්තාවක් දේශපාලන කාතාවක් කළත්, ෆේස්බුක් එකේ යමක් දැම්මත් ගොඩක් අය කරන්නේ ඇයට ලිංගිකත්වය පදනම් කරගෙන අපහාස කරන එක යි. ඒ අපහාස එල්ලවන්නේ ඇය කාන්තාවක් නිසාම යි. විශේෂයෙන් හොඳට ඇඳලා පැළඳලා ඉන්නවා නම්, ඇහැට කනට පේනවා නම් ඒක වැඩියි.’

අවස්ථාවක් ලබාගැනීමමත් අභියෝගයක්

කාන්තාවන්ට දේශපාලනයට පිවිසීමට පක්ෂ තුළ තිබෙන ඉඩ ප්‍රස්ථා සම්බන්ධයෙන් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂිකාවන් කීපදෙනෙකු අදහස් දැක්වූයේ මෙලෙස ය. “පක්ෂය ඇතුළේ නාම යෝජනා ලබා දීමේ දී දේශපාලන පසුබිමක් නැති වුණත් යම් විධියකින් මුදල් ටිකක් වියදම් කිරීමේ හැකියාව තියනවා නම් පුරුෂයන්ට ඉඩ ලැබෙන අවස්ථා තියනවා. ඒත් පක්ෂයේ නාම යෝජනා ලබා දීමට පිරිමි කෙනෙක්ට වඩා කාන්තාවක් සපුරා තිබිය යුතු සුදුසුකම් වැඩියි. මුදල් වියදම් කිරීමේ හැකියාව විතරක් නෙමෙයි, ජනප්‍රියත්වය වැනි හැම දේම බලනවා. රංගන ශිල්පිනියක් වැනි ප්‍රසිද්ධ අයෙක් නම් ලැබෙන අවස්ථා වැඩියි. අපේ වගේ ආසියාතික රටවල ගොඩක් වෙලාවට කාන්තාවක් දේශපාලනයට එන්නේ පිරිමි අයෙක්ගෙන් පස්සේ යි. මගේ පියාගේ නඩුවට කෑ ගහලා කතා කරලා, ටිකක් ජනප්‍රිය චරිතයක්වෙලා තිබුණ නිසා මට එන්න ලොකු අපහසුවක් වුණේ නැහැ. දේශපාලන පසුබිමක් නැති, අප්‍රසිද්ධ, දක්ෂ කාන්තාවන් ගම් මට්ටමේ ඉන්න පුළුවන් වුණත් ඒ අයට අවස්ථාව ලැබෙන්නේ නැති තරම්.” ඒ, කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග කරන අපේක්ෂිකාවක් වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ය.

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ බදුල්ල දිස්ත්‍රික්කයෙන් තරග වදින අපේක්ෂිකාවක් වන ඕෂධී හේවාමද්දුම පැවසුවේ ද මෙරට දේශපාලනයට පැමිණි කාන්තාවන්ගෙන් 90%ක් පමණ පියාගෙන් පසු දියණිය, සැමියාගෙන් පසු බිරිඳ, සහෝදරයාගෙන් පසු සහෝදරිය ආදී වශයෙන් කිසියම් පවුල් පසුබිමක් සහිතව දේශපාලනයට පැමිණි කාන්තාවන් බව ය, එමෙන් ම එසේ නොවන කාන්තාවන් ස්වාධීනව දේශපාලනයට පැමිණීමේ දී විවිධ බාධා එල්ල වන බව ය. කොළඹ දිස්ත්‍රික්ක‍යෙන් තරඟ වදින අපේක්ෂිකාවක් වන නිරූපා සේරසිංහ පැවසුවේ මෙවැන්න කි. “ඉදිරියට යෑම සම්බන්ධයෙන් පක්ෂයෙන් කිසිම බාධාවක් නැති වුණත් කාන්තා අපිට කවුරුවත් පාර හදාලා දෙන්නේ නැහැ, ඒක අපේ ශක්තියෙන් අපිම හදා ගන්න ඕනෑ කියන තැන මම ඉන්නවා. එතැන දී මම කාන්තාවක් ද පිරිමියෙක් ද කියන දේ මම අදාල කරගන්නේ නැහැ.”

දේශපාලනයට පිවිසීමේ දී කාන්තාවක් වීමේ හේතුව මත ම ඔවුන්ට පක්ෂ තුළ ඉඩක් ලබා දීමේ දී සලකා බලන කරුණු විවිධාකාර වන බව මෙම අපේක්ෂිකාවන්ගේ අත්දැකීම් සාක්ෂි දරන්නේ ය. දේශපාලනය සම්බන්ධයෙන් තිබෙන උනන්දුව හෝ හැකියාව වෙනුවට කාන්තාවක් වීම නිසාම ජනප්‍රියභාවය, භාහිර පෙනුම ආදී බොහෝ කාරණා සලකා බැලෙන අවස්ථා බහුල බව ඒ අනුව පැහැදිලි වන්නේ ය. කෙතරම් දේශපාලනය සම්බන්ධයෙන් දක්ෂතා තිබෙන කාන්තාවකට වුව ද මෙම ක්‍රමවේදයන් මත බොහෝ පක්ෂ තුළ අපේක්ෂක ධූරයක් ලබා ගැනීම පහසු කාර්යයක් නොවන්නේ ය. කාන්තා නියෝජනය වැඩි කිරීම සම්බන්ධයෙන් ඇතැම් අවස්ථාවල කථිකා ගොඩනැගුණ ද ඒවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි ආකාරයේ ක්‍රමවේදයන් සියලු පක්ෂවල සම සේ ක්‍රියාත්මක වේ ද යන ගැටලුව තිබෙන්නේ ය. අපේක්ෂිකාවන්ට පක්ෂය තුළ ඉඩ ප්‍රස්ථා ලබා දීම සම්බන්ධයෙන් තිබෙන ප්‍රතිපත්තිමය කරුණු හෝ ක්‍රමවේද සම්බන්ධයෙන් අපි ප්‍රධාන පක්ෂ කීපයක මහලේකම්වරුන්ගෙන් විමසුවෙමු.

පක්ෂ තුළ තිබෙන බව කියන ප්‍රතිපත්ති

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් ලබා දුන්නේ මෙවන් පිළිතුරකි. “අපි, හැමෝටම සම තැන දෙන පක්ෂයක්. ඉල්ලීම් කරන සහ ක්‍රියාකාරී ඕනෑම අයෙක්ට පිරිමි හෝ කාන්තා වෙනසක් නැතිව අපේ පක්ෂයේ අවස්ථාව දෙනවා. බලහත්කාරයෙන් කාන්තාවන් ඇතුළත් කරන්න යන්නේත් නැහැ. පහුගිය පළාත් පාලන මැතිවරණයේ දී ඒක හරිම අසාර්ථක වුණා. ඒ නිසා තරග කිරීමට ඉල්ලා සිටින කාන්තාවන් දේශපාලන වශයෙන් ක්‍රියාකාරී ලෙස කටයුතු කරනවා නම් ඒ සියලුදෙනාටම අපි නාමයෝජනා දීලා තියනවා. අපි ශ්‍රී ලංකා පුරවැසියන් ලෙස සලකා හැමෝටම සම අයිතිය දීලා තියනවා.” එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් පැවසුවේ ඔවුන්ගේ පක්ෂයේ කාන්තාවන් විශාල ගණනක් අපේක්ෂිකාවන් ලෙස ඉදිරිපත්ව සිටින බව හා ජාතික ලැයිස්තුවට ද ඇතැම් අය ඇතුළත් කර ඇති බව කි. කාන්තාවන් 25%කට පළාත් පාලන මැතිවරණයේ දී ද අවස්ථාව ලබා දුන්නේ ඔවුන්ගේ පාලනය යටතේ බවත් තම පක්ෂය තුළ කාන්තාවන්ට විශාල ඉඩක් ලබා දී තිබෙන බවත් ඔහු පැවසුවේ ය. සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර පැවසුවේ ද පාර්ලිමේන්තු මැතිවරණය සදහා බොහෝ දිස්ත්‍රික්කවලින් කාන්තා අපේක්ෂිකාවන් තම පක්ෂයෙන් ද ඉදිරිපත් කර ඇති බව ය. ඉල්ලුම් කළ සියලුදෙනාට ම අවස්ථා ලබා දුන් බවත් ඉල්ලුම් නොකර අවස්ථා දිය නොහැකි බවත් ඔහු වැඩිදුරටත් පැවසුවේ ය. ජාතික ජන බලවේගයේ මහලේකම් ටිල්විස් සිල්වා පැවසුවේ මෙවැන්නකි. “හැකි උපරිමයෙන් කාන්තා නියෝජනයක් අපේක්ෂක ලැයිස්තුවේ සිටීමත් තෝරා පත්වීමත් හොදයි කියලා අපි විශ්වාස කරනවා.  අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේත් අපි කාන්තාවන් හා ළමයින් පිළිබද විශේෂයෙන්ම සදහන් කර තිබෙනවා. ඒ නිසා කාන්තාවන්ට සමාන අයිතියක් හා සමාන පිළිගැනීමක් තියෙන්න ඕනෑ වගේම ප්‍රබල නියෝජනයක් හැදෙන්න ඕනෑ කියන ස්ථාවරයේ අපි ඉන්නවා. සුදුසකම් තිබෙන හා ඉදිරිපත් වන උපරිමය ගන්න අපි උත්සාහ කළා.”

ස්ත්‍රීත්වයට එල්ල වන අපහාස

කෙසේ හෝ අවස්ථා ලබා මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට තරගවැද සිටින, විශේෂයෙන් අභියෝගයක් එල්ල කළ හැකි මට්ටමේ සිටින අපේක්ෂිකාවන්ට මේ වන විට මුහුණදීමට සිදුවී ඇති තත්ත්වය ඛේදජනක ය. ඔවුන් වෙත එල්ල වන අපහාස ගැරහුම් හා චෝදනා බොහෝ විට ඔවුන්ගේ දේශපාලන මතවාද  ප්‍රතිපත්ති පදනම් කරගත් ඒවාට වඩා ලිංගිකත්වය පදනම් කරගත් ඒවා බව පැහැදිලිව පෙනෙන්නට තිබෙන්නේ ය. ෆේස්බුක් වැනි සමාජ මාධ්‍යජාල තුළ විවිධාකාරයේ පෝස්ට් සාදමින් හා ඒවා හරහා ඔවුන් හාස්‍යයට ලක් කරමින් ද ඒවා බොදා හරිමින් ද තවත් සංවාද ගොඩනගමින් ද තිබෙනු පැහැදිලිව පෙනෙන්නට තිබෙන කරුණ කි.

තම මැතිවරණ ව්‍යාපාරය තුළ මුහුණ දීමට සිදුවන එවන් අභියෝග සම්බන්ධයෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අපේක්ෂිකාව පැවසුවේ මෙවන් කතාවකි. “මම විතරක් නෙමෙයි හැම පක්ෂයකම ඉන්න කාන්තාවන් දේශපාලන කාතාවක් කළත් ෆේස්බුක් එකේ යමක් දැම්මත් ගොඩක් අය කරන්නේ ඇයට ලිංගිකත්වය පදනම් කරගෙන අපහාස කරන එක යි. ඒ අපහාස එල්ලවන්නේ ඇය කාන්තාවක් නිසාම යි. විශේෂයෙන් හොඳට ඇඳලා පැළඳලා ඉන්නවා නම්, ඇහැට කණට පේනවා නම් ඒක වැඩියි. සමහර පිරිමි අපේක්ෂකයෝ කොච්චර වැරදි දෙයක් කියලා තිබුණත් ඔහු පිරිමියෙක් වීම නිසාම ඔහුට අර විධියට අපහාස කරනවා අඩුයි. අපේක්ෂිකාවන්ට වැඩිපුරම මඩ ගහන්නේ එයාගේ දේශපාලනය සම්බන්ධයෙන් නෙමෙයි, ලිංගිකත්වය සම්බන්ධ කරගෙන යි. සමහර පිරිමි අය කරන කතාව දොහොත් මුදුන් දී පිළිගෙන ඔහු වීරයෙක් වෙන්නත් මගේ කතාවට බනින්නත් මම නරක වෙන්නත් හේතුව මම කාන්තාවක් වීම නිසා යි.” මේවා මැතිවරණ අපේක්ෂිකාවන් මුහුණදෙන විශාල ප්‍රශ්න බව ඇය පැවසුවා ය. මෙරට කාන්තාවන් අගමැති, ජනාධිපති තනතුරු වලට ද පත්ව තිබුණ ද තවමත් දේශපාලනය යනු පුරුෂ පාර්ශවයට අයත් දෙයක් යැයි මතයක් සමාජයේ තිබෙන බව ද ඇය ප්‍රකාශ කළා ය. 

අපේක්ෂිකා ඕෂධී හේවාමද්දුම පැවසුවේ ද කාන්තාවක් වීමේ හේතුව මත අපේක්ෂිකාවන් දේශපාලනයේ දී අපහාස වලට මඩ ගැසීම් වලට විශාල වශයෙන් මුහුණ දෙන බව ය. “ලංකාවේ කාන්තාවන්ට දේශපාලනයේ දී වන ලොකුම හිරිහැරය ලෙස මම දකින්නේ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ කරන අපහාස යි. ඉස්සර නම් වැඩිම වුණොත් මඩ පෝස්ටරයක් ගහවි. දැන් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ විශාල වශයෙන් කාන්තාවන්ට අපහාස කිරීම සිද්ධ වෙනවා. දේශපාලන අදහස් විවේචන කිරීම කිසිම ගැටලුවක් නෑ. නමුත් වැඩිපුර වෙන්නේ කාන්තාවක් වීම නිසා ම මඩ ප්‍රහාර එල්ල කිරීම යි. ඒ වගේම හැමෝම නොවුණත් සමහර පිරිමි දේශපාලනඥයෝ කාන්තාවකට ඉහළට එන්න ඉඩ දෙන්නේ ම නැහැ.” ඕෂධී හේවාමද්දුම පැවසුවා ය.

සමාජ මාධ්‍ය තුළ තමන්ට ද විශාල වශයෙන් අපහාස කිරීම් සිදුවන බව අපේක්ෂිකා නිරූපා සේරසිංහ ප්‍රකාශ කළා ය. සැබෑ ලෙස ම රටේ මඩ ගැසිය යුතු ප්‍රශ්න තිබිය දී කිසිසේත් අදාල නොවන ලෙස මෙම අපහාසයන් සිදුවන බව ඇය ප්‍රකාශ කළා ය. “සයිබර් අවකාශයේ ලොකු හිංසනයන් තියනවා. මම සූම් මීටින් එකක් කළ වෙලාවේ කවුරුහරි ඒක රෙකෝඩ් කරලා අර්ථය වෙනස් වන විධියට සංස්කරණය කරලා මට මඩ ගහන්න යොදා ගත්තා. තවත් තැනක දී මට වරදින්න ගිය වචනයක් මම නැවත නිවැරදි කළත් ඒ නිවැරදි කරන කොටස ඉවත් කරලා මට මඩ ගැහුවා.”ඒ, නරූපා සේරසිංහ  ය.  ඉතා කෙටි කාලයක් තුළ දේශපාලනයට පැමිණි තමන්ට අපහාස කිරීමට හේතුවක් සොයාගත නොහැකි හෙයින් මෙලෙස වචන අල්ලාගෙන අපහාස කරන බව ඇය ප්‍රකාශ කළා ය. මෙවැනි අපහාස විඳීමට අකමැති වීම කාන්තාවන් දේශපාලනයට පිවිසීම අඩු  වීමට ප්‍රධාන හේතුවක් වන බව ද නිරූපා සේරසිංහ පැවසුවා ය. “ඒත් මේකට ඔළුව නමාගෙන හැමදාම හිටියොත් මේක කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා කොච්චර මඩ ගැහුවත් කතා කිවුවත් හිතට හයිය අරගෙන අපි කවුරුහරි ඉස්සරහට එන්න ඕනෑ. ඒ නිසා මම කරන දේ තව කෙනෙක්ට ආදර්ශයක් වෙයි කියලා මම හිතනවා. දේශපාලනය කියන්නේ පිරිමින්ට විතරක් අයිති දෙයක් නෙමෙයි, මනුෂ්‍යයන් ලෙස අපි හැමෝටම අයිති දෙයක්. කාන්තාවෝ කියලා අපිට සුවිශේෂ වෙන්න ඕනෑ නැහැ. සාමාන්‍ය මනුෂ්‍යයෙක්ට විඳින්න තියන අයිතිවාසිකම් ටික විඳින්න තියනවා නම් එච්චරයි.” ඇය කීවා ය.

මෙරට පාර්ලිමේන්තුව තුළ ධූර 225න් අවම වශයෙන් දිස්ත්‍රික්ක 25 නියෝජනය කරමින් හෝ කාන්තාවන් සිටිය යුතු බව ඇතැම් අය පැවසුවත් ඊට සරිලන පරිසරයක් මෙරට සමාජය තුළ නිර්මාණය වී තිබේ ද යන ගැටලුව පවතින්නේ ය. මීට විසි වසරකට පෙර කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ට්‍රේස් ලේට්න් සහ ආචාර්ය කුමාරි ජයවර්ධන විසින් ලංකාවේ කාන්තාවන්ගේ මැතිවරණ සහභාගීත්වය  පිළිබඳ කරන ලද පර්යේෂණ දෙකකින් අනාවරණය වී තිබුණේ ජනාධිපති ධූරය දක්වා ද තරඟ කරමින් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියකට සහභාගිවීමට කාන්තාවන් අතර විශාල උනන්දුවක් තිබුණ ද, ඔවුන් ඒවාට සහභාගි වීමට විශාල අකමැත්තක් දක්වන බව යි. ඊට හේතු ලෙස ඔවුන් දක්වා තිබෙන්නේ මැතිවරණ ප්‍රචණ්ඩත්වයට ඇති අකමැත්ත, ස්ත්‍රීන් නිසා තමන් පාත්‍ර වන හිංසනය, අවමන්, හිරිහැර සහ චරිත ඝාතන, මූල්‍ය සම්පත්වල සහ පිරිස් බලයේ හිඟකම යන ඒවා ය. මේවායින් අපට හැඟෙනුයේ වසර විස්සකට පෙර මෙරට දේශපාලන සංස්කෘතියේ දී කාන්තාව මුහුණදුන් ගැටලුවල ම යම් යම් ස්වරූපයන්ගේ වෙනසක් මිස  අද ද ඔවුන්ට එල්ල වන බාධාවල නම් අඩුවක් වී නැති බව ය. කෙසේ හෝ අවස්ථාවක් ලබා ගන්නා අපේක්ෂිකාවන්ට ද ලිංගිකත්වය පදනම් කරගෙන එල්ල කරන බාධා මිස මෙරට පුරවැසියන් ලෙස සලකා පිළිගැනීමට සූදානම් සමාජයක් ඇති කිරීමේ වැඩපිළිවෙලක් තවමත් මෙරට තුළ ගොඩනැගී නැත. ලිංගිකත්වය මත නොව ඔවුන්ගේ දේශපාලන දැක්ම, ප්‍රතිපත්ති සම්බන්ධයෙන් කථිකාවක් ගොඩනගා ගන්නා සහ විවිධත්වය ගරු කරන ශිෂ්ටසම්පන්න සමාජයක් ඇති කිරීම වෙනුවෙන් කටයුතු කිරීමට මෙරට දේශපාලන පක්ෂවල නායකයන්ට මෙන්ම සියලු පුරවැසියන්ට ද විශාල වගකීමක් තිබෙන්නේ ය.

දේශපාලන සංස්කෘතියේ අදුරුපැතිකඩ නැති වන තුරු, 50% අනුපාතය දුන්නත් ගැහැණියට එන්න අමාරුයි

නීතීඥ කෞෂල්‍යා ආරියරත්න

ලංකාවේ ගැහුණු දේශපාලනයට පැමිණීම ඓතිහාසිකවම තිබුණේ පියාගෙන් පසු හෝ සැමියාගෙන් පසු ආදී ලෙස බලය තියන අය ඉදිරියට ඒමක් ලෙසයි. බලය නොමැතිව පංතිමය වශයෙන් පහළ සිටින ගැහැණු ඉහළට ඇවිත් තිබෙන අවස්ථා ඉතාම දුර්ලභ යි. ඒ කියන්නේ ලංකාවේ දේශපාලනය කියන්නේ ඓතිහාසිකව ම පිරිමින්ගේ ආධිපත්‍යය යටතේ තිබෙන පිරිමින්ම මෙහෙය වන පිරිමි ම තීරණ ගන්නා කලාපයක්. එහෙම එකකට බලය නැති, පන්තිමය වශයෙන් ඉහළ නැති, උරුමයක් රහිත ගැහැණියක් ඒම තර්ජනයක් ලෙස පිරිමි සලකනවා. එහෙම එන ගැහැණු හැම තිස්සේම වෛෂ්‍යාවෝ එහෙම නැත්නම් චණ්ඩි ගැහැණු ආදී ලෙස ගැහැණුභාවයට සුදුසු නැති ගැහැණු විධියට නාමකරණයට ලක්වෙනවා. සමහර වෙලාවට තවත් පිරිමි කෙනෙකුගෙන් පසු බලයක් සහිතව ආවා වුණත් ගැහැණිය හැසිරෙන්න ඕනෑ විධිය සම්බන්ධයෙන් නිර්ණායක හදලා තියනවා. ඉතිහාසයේ ඔසරිය හෝ සාරිය අදින ස්ත්‍රිය හොද ගැහැණියක් විධියට සමාජය විසින් හදාගෙන තියනවා. කවුරුහරි ගැහැණියක් ඒකට අභියෝග කරනවා නම් එතැන දී ත් ඇයව අභියෝගයට ලක් කරනවා. යම් පන්තිමය බලයක් සහිතව දේශපාලනයට එන ගැහැණියක් වුණත් මාකට් කරන්න උත්සාහ කරන්නේ හොද අම්මා කෙනෙක්, සාම්ප්‍රදායික ස්ත්‍රියක් කියන පදනම මත සිට යි. සමහර වෙලාවට දේශපාලනයට එන කාන්තාවෝත් ඒ සාම්ප්‍රදායික ස්ත්‍රීත්වයට ආරෝපණය වෙනවා. ඒ නිසා ඒ අයත් නොදැනීම ඒ හිංසනය තමන් තුළට ඇතුළත් කර ගන්නවා. දේශපාලන පක්ෂ වලින් නිතරම කියන්නේ කාන්තාවට අවස්ථාව දෙනවා නමුත් එන්නේ නැහැ කියලා යි. ඒ අය එන්න කියන්නේත් පිරිමි අය හැදූ යාන්ත්‍රණයක් තුළට යි. ඒ යාන්ත්‍රණය ඇතුළේ සල්ලි තියෙන්න ඕනෑ, සම්බන්ධතා තියෙන්න ඕනෑ. ඒ වගේම පක්ෂවල රැස්වීම් තියෙන්නෙත් රාත්‍රී කාලයේ යි. ගැහැණියගේ ගෙදර භූමිකාව සම්පූර්ණයෙන් අමතක කරලා එන්න කියනවා. ගැහැණියගේ සියලු භූමිකාවන් අමතක කර ඇයට රැස්වීමකට එන්න කීම ම ඇයව අධෛර්‍යට පත් කිරීමක්. සාමාන්‍යයෙන් දේශපාලනය කියන්නේ අදුරු කලාපයක්. ලංකාවේ දේශපාලන සංස්කෘතියේ තිබෙන අදුරුපැතිකඩ නැති වන තුරු ගැහැණියට 50% අනුපාතය දෙනවා කීවත් එන්න අමාරුයි.

Hot this week

Sri Lanka’s Bumpy Road to a Political Reset

Sri Lanka is navigating a fragile political transition following...

AI Tools & Social Norms are Making the Internet Unsafer For Women

As generative AI usage rises in India, image, video,...

Energy minister under fire as NPP confronts first no-confidence motion over corruption charges

COLOMBO – Sri Lanka’s ruling National People’s Power (NPP)...

Six extraordinary stories on intangible losses due to climate change

There are many climate change stories but those that...

From maritime tensions to economic recovery: Can Sri Lanka navigate the next decade?

Speed Read: Sri Lanka’s relationship with neighboring India remains central...

Topics

Sri Lanka’s Bumpy Road to a Political Reset

Sri Lanka is navigating a fragile political transition following...

AI Tools & Social Norms are Making the Internet Unsafer For Women

As generative AI usage rises in India, image, video,...

Energy minister under fire as NPP confronts first no-confidence motion over corruption charges

COLOMBO – Sri Lanka’s ruling National People’s Power (NPP)...

Six extraordinary stories on intangible losses due to climate change

There are many climate change stories but those that...

From maritime tensions to economic recovery: Can Sri Lanka navigate the next decade?

Speed Read: Sri Lanka’s relationship with neighboring India remains central...

Holding the Power of Big Tech Accountable

by Sandrine Rigaud • March 24, 2026 Editor’s Note: This is the...

Counter narratives and tackling harmful content

Ove the past year, the Center for Investigative Reporting...

Sri Lanka’s missing tuberculosis patients: 5,000 cases annually go undetected

Speed Read: Up to 5,000 tuberculosis patients annually go undetected...

Related Articles

Popular Categories