Tuesday, April 21, 2026
26.7 C
Colombo

මත්ස්‍ය පරිභෝජනයෙන් කොරෝනා ආසාදනය වන බව විද්‍යාත්මකව තහවුරු කර නැහැ

“වෙනදා නත්තලට ඉස්සන්ට දැල්ලන්ට ලොකු ඉල්ලුමක් තිබ්බා. ඉස්සර මට නත්තල් මාසෙ අඩුම දවසකට ලක්ෂ තුනක විතර වෙළඳාමක් තිබුණා. මේ වෙනකොට ඒක 60%කින් විතර අඩු වෙලා. තාමත් මිනිස්සු මාලු ගන්න බයයි.  අතේ කොරෝනා තිබ්බොත් මාලුවල විතරක් නෙවෙයි ඕනම දේක ගෑවෙනවා’ මාලු ගැන විතරක් අමුතුවෙන් බය වෙන්නෙ මොකටද? මාලු උයලා කෑවම කොරෝනා හැදෙනවද? අනවශ්‍ය බියක්නෙ තියෙන්නෙ.

මට බැංකු ලෝන් එකක් තියනවා. මේ තත්වෙත් එක්ක බොහොම අමාරුවෙන් තමයි දැන් ඒවත් ගෙවාගෙන යන්නෙ’ මටත් වැඩිය බරපතල ප්‍රශ්ණවලට මුහුණ දීපු මාලු වෙළෙන්දො ගොඩක් ඉන්නවා. මාස දෙකක් විතර යද්දි මේ තත්වෙ හරි යයි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නවා.

පෑලියගොඩ මාලු මාර්කට් එක අරින්න අවසර දීලා තිබ්බට සාමාන්‍ය ජනතාවට ඇවිත් මාලු මිලට ගන්න අවසර දීලා නැහැ. තොග වෙළෙඳුන්ට විතරයි මිල දී ගැනීම් කරන්න පුළුවන්.

වසර 21ක් පුරා මාලු වෙළඳාමේ යෙදෙන රාජගිරියේ පදිංචි චමින්ද අසේල කොවිඩ් 19 මුල් කර ගනිමින් මාලු ආහාරයට ගැනීම පිළිබඳ පැතිර ගිය කටකතා හේතුවෙන් සිය මත්ස්‍ය වෙළඳාමට අත්ව ඇති ඉරණම විස්තර කළේ එලෙසිනි. චමින්දගේ මැසිවිල්ල රටේම ධීවර කර්මාන්තයට අත්ව ඇති ඉරණමේ කැඩපතක් බඳුය.

ඉකුත් ඔක්තෝබර් මස අග භාගයේ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණය කේන්ද්‍ර කර ගනිමින් මතු වූ කොරෝනා අසාධිත පොකුර හේතුවෙන් මාලු පරිභෝජනය පිළිබඳ ජනතාව අතර පැතිර ගියේ භීතියකි. මාලු ආහාරයට ගැනීමෙන් කොරෝනා බෝ විය හැකි බවට ජනතාව අතර පැතිර ගිය කට කතා හේතුවෙන් පැන නැගි අනියත බිය නිසාම මාලු මිලට ගැනීමෙන් වැළකී සිටීමට බොහෝ පිරිස් කටයුතු කළහ. එයින් රටේ ආර්ථිකයට සෘජුව උරදෙන ධීවර කර්මාන්තයට මෙන්ම මත්ස්‍ය වෙළඳාමට දැඩි අයහපත් බලපෑමක් එල්ල විය.

සැබවින්ම මාලු පරිභෝජනයෙන් කොරෝනා ආසාදනය විය හැකි බවට පැතර යන කටකතා සත්‍යද?මේ ඒ පිළිබඳ ලොව පිළිගත් විද්‍යාත්මක පර්යේෂණ වාර්තා සහ විශේෂඥ මතයන් ඇසුරින් අසත්‍යට එරෙහිව සිදු කරන ගවේශණතාමක විශ්ලේෂණයකි. 

පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයෙන් ව්‍යාප්ත වූ කොරෝනා පොකුරු

ඉකුත් ඔක්තෝබර් 21 වනදා පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයෙන් ආසාධිතයින් 40ක් පමණ හඳුනාගනීමෙන් පසු නැවත දැනුම් දෙනතුරු එම ස්ථානය වසා දැමීමට රජය පියවර ගනු ලැබිණි. උපුටා ගැනීම්: පෑලියගොඩ මාලු වෙළඳසැල් තාවකාලිකව වසා දමයි Peliyagoda Fish Market closed temporarily  Asia Today: Sri Lanka closes fish market, expands curfew  49 COVID-19 cases detected in Peliyagoda fish market

එම අවස්ථාවේදී වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර සඳහන් කර සිටියේ මත්ස්‍ය පෘෂ්ටය මතුපිට කොවිඞ් වෛරසය තැවරුණහොත් එය යම් කාලසීමාවක් රැඳී පවතින නමුදු ආරක්ෂිත සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කරමින් පිසින ලද මාලු ආහාරයට ගැනීමට කිසිසේත් බිය විය නැති බවයි. උපුටා ගැනීම්: Been to Peliyagoda fish market lately, go see your PHI – Army Commander

නමුත් ඒ වන විට රටේ ප්‍රධාන ධීවර වරාය කිහිපයකට හා ධීවර වෙළඳසැල් කිහිපයකටම වෛරසය ව්‍යාප්ත වී තිබිණි. ඔක්තෝබර් 22 වන දා බේරුවලින් පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයට මාලු රැගෙන ගිය ලොරි රථ රියදුරන් සහ සහායක පුද්ගලයින් 10 දෙනෙකුට කොවිඞ් ආසාදනය වීම හේතුවෙන් බේරුවල ධීවර වරාය වසා දැමීමටද වරාය කළමණාකාරීත්වය පියවරගෙන තිබූ බව මාධ්‍ය වාර්තා අනාවරණය කරනු ලැබීය.  උපුටා ගැනීම්: කොරෝනා හේතුවෙන් මාළු වෙළඳසැල් විශාල ප්‍රමාණයක් වසාදමයි 

පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයට බොහෝ ප්‍රදේශවලින් මාලු වෙළෙඳුන් සහ පාරිභෝගිකයන් පැමිණෙන නිසා එම ආශ්‍රිතයින් හරහා දිවයිනේ වෙනත් දිස්ත්‍රික්කවලටද වෛරසය පැතිර යාම කිසිසේත් වැළැක්විය නොහැකි විය. ඒ අනුව පානදුර, හෝමාගම, මාදම්පේ, කහවත්ත, රත්නපුර, දියතලාව වැනි රටේ විවිධ ප්‍රදේශවලින් ආසාධිතයින් සොයා ගැනීමට සෞඛ්‍ය අංශ සමත් වූ අතර  මෙම සිදුවීම් මාලාව හේතුකොටගෙන මාලු මිලදී ගැනීමට ජනතාව තුළ භීතියක් නිර්මාණය විය. උපුටා ගැනීම්: පෑලියගොඩ ආසාධිතයින් නිසා වෛරසය තවත් දිස්ත්‍රික්කවලට

වෛරසයට වැඩි වේගයෙන් පැතිරුණු කටකතා

මේ භීතිය නිසාම මාලු ආහාරයට ගැනීමෙන් කොරෝනා ආසාදනය විය හැකි බවට මිථ්‍යා මතයන් සහිත කටකතා සීග්‍රයෙන් පැතිර ගිය අතර සමාජ මාධ්‍ය ඔස්සේද එම මතයන් තටු ලබා ඉගිල යන අයුරු දක්නට ලැබිණි.

ධීවරයෙකු වූ නිහාල් ප්‍රනාන්දු ඉකුත් ඔක්තෝබර් මස 29 දින පළ වූ බීබීසී සිංහල වෙබ් අඩවියේ වාර්තාවකට අදහස් පළ කරමින් පවසා සිටියේ මාළු අස්වැන්න විකුණා ගත නොහැකිව තමා පත්ව සිටින අසරණ තත්වය විස්තර කර තිබුණේ මෙලෙසිනි.

“පුළුවන් නම් එන්න හලාවත ජැටියට පෙන්නන්න’ මගේ බෝට්ටුවේ විතරක් තියනවා ලක්ෂ ගාණක ලොකු මාළු ඒ කියන්නේ තෝරු, පරව්, කෙලවල්ලෝ මේ දවස් ටිකේ අපි කෑවෙත් ඒ මාළු තමයි’ මම දන්න විදිහට මේ වන විට දකුණේ හා නැගනහිර ඇතුළු ප්‍රදේශ කීපයක බහුදින ධීවර යාත්‍රාවල මාළු කිලෝ ලක්ෂ පහකට වැඩි ප්‍රමාණයක් තියෙනවා. මේ මාළු තව ගොඩක් කල් තියාගන්න අමාරුයි. මොකද මේ කොරෝනා රැල්ල ආවේ ධීවරයන්ගෙන් නෙමෙයි ව්‍යාපාරිකයන්ගෙන්. ඒ ගැන ජනතාව දැනුවත් කරන්න ආණ්ඩුව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළේ නැහැ. අපේ ධීවරයෝ අපේ කාටවත් කොරෝනා නැහැ.

මේ අතර ඉකුත් නොවැම්බර් 18 වනදා හිටපු රාජ්‍ය ධීවර අමාත්‍ය දිලිප් වෙදආරච්චි  සිය පක්ෂ කාර්්‍යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී මාධය ඉදිරියේම  අමු මාලු කූරියෙක් අනුභව කරමින් මේ මාලු කන්න බය වෙන්න එපා. කිසිම කොරෝනා රෝගයක් හැදෙන්නෙ නෑ. මේවා අපි කන්නෙ අමුවෙන්. ඕනනම් කාලා පෙන්වන්නම්” කියමින් මාලු කෑමට බිය නොවන මෙන් ජනතාවගෙන් ඉල්ලීමක් කිරීමට කටයුතු කළේය. එම ප්‍රකාශය විදෙස් මාධ්‍යවලද විශාල අවධානයක් දිනා ගැනීමට සමත් විය.

Sri Lankan lawmaker eats raw fish to promote sales hit by coronavirus, (VIDEO) Ex-Fisheries Minister does a ‘Bear Grylls’ by ‘Eating Raw Fish’ on Camera

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට අනුව ධීවර කර්මාන්තයෙන් සෘජුව හා වක්‍රව ජීවනෝපාය සලසාගන්නා පිරිස ලක්ෂ විස්සකට ආසන්නය. ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ 2018 වාර්ෂික කාර්යය සාධන වාර්තාවට අනුව 2018 වසර තුළ සමස්ත මත්ස්‍ය නිෂ්පාදනය මෙට්රික් ටොන් 527,060ක් වන අතර මේ සදහා කරදිය හා මිරිදිය අංශ පිළිවෙළින් මෙට්රික් ටොන් 439,370 හා මෙට්රික් ටොන් 87,690ක මත්ස්‍ය අස්වැන්නක් ලබා දීමෙන් දායක වී ඇත. 2019 ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවට අනුව ධීවර කර්මාන්තය ශ්‍රී ලංකාවේ දළ දේශීය නිශ්පාදනයට දක්වන දායකත්වය 1.1%කි. 2018 වසරේ එම අගය 1.2% කි.

මාලු ආහාරයට ගැනීමෙන් කොරෝනා ආසාදනය විය හැකි බවට කිසිදු විද්‍යාත්මක සාක්ෂියක් නැහැ – සෞඛ්‍ය අමාත්‍යංශයන් නිල නිවේදනයක්

ඉකුත් ඔක්තෝබර් 24වන දින සෞඛ්‍ය අමාත්‍යංශය සහ වසංගත රෝග විද්‍යා අංශය විසින් නිල නිවේදනයන් නිකුත් කරමින් දක්වා තිබුණේ මාලු ආහාරයට ගැනීමෙන් කොරෝනා ආසාදනය විය හැකි බවට කිසිදු විද්‍යාත්මක සාක්ෂියක් මෙතෙක් හමු වී නොමැති බැවින් ජනතාව මාලු ආහාරයට ගැනීමට කිසිසේත් බිය නොවිය යුතු බවයි. කොවිඞ් 19 වෛරසය ඕනෑම පෘෂ්ටයක රැඳී තිබිය හැකිය යන සෛද්ධාන්තික පදනම මත මාලු පිසීම හෝ ගබඩා කිරීම සඳහා සකස් කරන අතරතුර මුහුණ ඇල්ලීමෙන් වැළකී ඒ සඳහා යොදා ගත් උපකරණ සහ දෑත් හොඳින් සබන් දා සෝදා පවිත්‍ර කළ යුතු බවද එහි වැඩිදුරටත් දක්වා තිබිණි

නමුත් ජනතාව අතර පැතිර ගිය බිය තුරන් කිරීමට එය ප්‍රමාණවත් නොවූ බව අනාවරණය වූයේ වෙනදා මෙන් ජනතාව මාලු මිලදී ගැනීමට නොපැමිණෙන බවත් ඒ නිසා අස්වනු තොග පිටින් අපතේ යන බවත් ධීවරයින් සහ මාලු වෙළෙඳුන් ඉකුත් සතිය දක්වාම වරින් වර මාධ්‍ය වෙත කළ අනාවරණයන් හේතුවෙනි. 

සැබවින්ම මත්ස්‍ය පරිභෝජනයෙන් කොවිඩ් වෛරසය මිනිසාට  ආසාදනය විය හැකිද?

මේ පිළිබද දේශීයව සහ ජත්‍යන්තරව දැනට අනාවරණය කරගෙන ඇති විද්‍යාත්මක සාධක සොයා අපි ගවේශණය කළෙමු. ඒ අනුව මේ පිළිබඳ වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතාගෙන් අප කළ විමසීමේදී ඔහු සඳහන් කර සිටියේ මත්ස්‍ය පරිභෝජනයෙන් කොවිඞ් වෛරසය මිනිසාට  ආසාදනය විය හැකි බව මෙරට කිසිදු සෞඛ්‍ය අංශයක් විසින් තවමත් විද්‍යාත්මකව තහවුරු කර නොමැති බවයි. දේශීය වශයෙන් මේ පිළිබඳ විධිමත් පර්යේෂණයන් සිදු කොට දත්ත සහිත වාර්තාවක් තවමත් එළි දක්වා නොමැති  නමුදු කොවිඞ් 19  පාලනය කිරීමට එදිනෙදා අනුගමනය කරන ක්‍රමවේදයන් ඔස්සේ ලබා ගන්නා දත්ත අත්දැකීම් සහ සාධක මත එම නිගමනය ලබා දිය හැකි බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

“පිටත පොත්ත ඉවත් කර නියමිත උෂ්ණත්වයක් යටතේ පිසිනකොට එම වෛරසය මැරෙනවා. දැනට කොවිඞ් 19 හඳුනාගන තිබෙන්නේ ශ්වසන පද්ධතිය හරහා ආසාදනය වන රෝගයක් විදියට මිස ආහාර මාර්ගය හරහා ශරීරගත විය හැකි රෝගයක් ලෙස නෙවෙයි”

පිසීමකින් තොරව සුෂි වැනි මාලු අමුවෙන් ආහාරයට ගැනීමේදී අවධානමක් මතු වනවාද යන්න අප කළ විමසීමට වෛද්‍ය සමරවීර සිය අදහස් පළ කළේ මෙලෙසිනි.

“අමු මාලු ආහාරයට ප්‍රිය ඇතැම් පිරිස් හිතන්න පුලුවන් යම් විදියකට කොරෝනා වෛරසය තැවරිලා තිබෙන මාලු අමුවෙන් ආහාරයට ගැනීමේදී උගුරෙ වෛරසය තැවරිලා තැන්පත් වෙලා ආසාදනය වෙන්න ඉඩකඩ තියනවා කියලා. තර්කානුකූලව එහෙම හිතෙන්න ඉඩ තිබෙනවා. නමුත් මෙතෙක් වෛද්‍ය විද්‍යාත්මකව ඒ අකාරයෙන් වෛරසය ශරීරගත විය හැකි බවට සනාථ වෙලා නැහැ. එහෙම සිදුවීමක් වාර්තා වෙලත් නැහැ.

“කොවිඞ් 19 විතරක් නෙවෙයි ඕනම වෛරසයක් පෘෂ්ටයක් මත යම් කාල සීමාවක් රැඳී පවතිනවා. කොරෝනා සම්බන්ධයෙන් දැනට අපිට තියෙන්නෙ අවුරුද්දකට අඩු කාලයක් තුළ සිදු කළ පර්යේෂණ හා දත්ත ඇසුරින් ලබා ගත් තොරතුරු පමණයි. ඒ නිසා අපිට මෙම වෛරසය සම්බන්ධයෙන් 100%ක් නිෂ්චිත  අදහස් පළ කරන්න බැහැ. ඒ නිසා ප්‍රවේශම් වීම ඉතා වැදගත්. නිසි සෞඛ්‍ය උපදෙස් පිලිපැදලා ඉතා පිරිසිදුව මාලු ආහාරයට ගැනීමේ අවධානමක් නැහැ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ මතය

ලෝක සෞඛ්‍ය සංවිධානය සිය නිල වෙබ් අඩවියේ කොවිඞ් 19 යටතේ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ අංශ කිහිපයක් යටතේ පැහැදිලි කිරීම් සිදු කර ඇත. එහි සත්ව/මාංශමය ආහාර නිෂ්පාදන ඇතුලු පිසින ලද ආහාර අනුභව කිරීමෙන් කොවිඞ් 19 ශරීර ගත විය හැකිද යන්න පිළිබඳ මෙසේ පැහැදිලි කර ඇත.

ආහාර මගින් මිනිසාට කොවිඞ් 19 ආසාදනය විය හැකි බවට දැනට කිසිදු සාක්ෂියක් හමු වී නැත. ආහාරවල ඇති සෙසු බැක්ටීරියා සහ වෛරස් මරා දැමිය හැකි උෂ්ණත්වයේදී  කොවිඞ් 19 වෛරසයද මරා දැමිය හැකිය. මස් කුකළු මස් හා බිත්තර වැනි ආහාර සෑම විටම අවම වශයෙන් 70’Cක්‍  දක්වා හොඳින් පිස ගත යුතුය. පිසීමට පෙර අමු මාංශමය ආහාර සහ පිසින ලද ආහාර එක්ව තබා ගැනීමෙන් වැලකිය යුතු අතර ඒ හරහා වෛරසය පිසූ ආහාර වලට සංසරණ වීමේ අවධානම වළක්වා ගත හැකි බවද එහි වැඩි දුරටත් දක්වා ඇත.

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය නිකුත් කළ (FAO) ආසියානු රටවල ධීවර හා ජලජීවී ආහාර පද්ධතියට කොවිඞ් 19 බලපෑම් කර ඇති ආකාරය පිළිබඳ වාර්තාව

එසේම ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කොවිඞ් 19 පැතිරීම වසංගතයක් ලෙස ප්‍රකාශයට කිරීමෙන් මසකට පසු එනම් ඉකුත් මැයි 21 දින එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) විසින් ඇතැම් ආසියානු රටවල ධීවර හා ජලජීවී ආහාර පද්ධතියට කොවිඞ් 19 බලපෑම් කර ඇති ආකාරය පිළිබඳ නිල වාර්තාවක් ප්‍රකාශයට පත් කරන ලදී.

එම ප්‍රතිපත්ති කෙටියෙන් ගෝලීය වශයෙන් විෂය පථය තුළ තිබියදී, සමහර ආසියානු රටවල තත්වය පිළිබඳ විග්‍රහ කර ඇත. මෙම ලිපිය නව දත්ත, වර්ධනයන් සහ නිරීක්ෂණ ඇතුළත් කරමින් යාවත්කාලීන කිරීමක් සපයා ඇත.

එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු සම්බන්ධීකරණය  සඳහා වන කාර්්‍යාලය විසින් පවත්වාගෙන යන රිලීෆ් වෙබ් අඩවිය  විසින් ප්‍රකාශයට පත් කර ඇති එම වාර්තාවේ සඳහන් වන්නේ මාලු සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක ප්‍රධාන අංගයක් වන අතර ඒවා ආහාරයට ගැනීමට ආරක්ෂිත බවයි.

වසංගත තත්වය නිසා ඇතැම් රටවල නොමඟ යවනසුලු මතයන්, විශ්වාසයන් හා  හැඟීම් මත්ස්‍ය නිෂ්පාදන පරිභෝජනය අඩු කිරීමට හේතු වී තිබෙන බවද එහි වැඩිදුරටත් සඳහන් වේ. එහෙත්, ජලජ සතුන් ෆින්ෆිෂ්, උරගයින්, උභයජීවීන් සහ පෘෂ්ට වංශීන් හා මොලුස්කාවන් වැනි අපෘෂ්ට වංශීන් කොවිඞ් 19 මිනිසුන්ට ව්‍යාප්ත කිරීමෙහිලා වසංගත විද්‍යාත්මක කාර්යභාරයක් ඉටු නොකරන බව අවධාරණය කර ඇත.

කොවිඞ්19 ආසාදනය වී ඇති සනීපාරක්ෂක පිළිවෙත් අනුගමනය නොකරන පුද්ගලයින් විසින් හසුරුවනු ලැබුවහොත් ඕනෑම නිෂ්පාදනයක හෝ මතුපිටක වෛරසය තැවරෙන ආකාරයෙන්ම මත්ස්‍ය නිෂ්පාදනද අපවිත්‍ර විය හැකි බව එම වාර්තාවෙන් පෙන්වා දෙයි.

මේ හේතුව නිසා ධීවර හා ජලජීවී වගා සේවකයින් සහ මාළු නිෂ්පාදන වෛරසයෙන්  ආරක්ෂා කිරීම සඳහා ශක්තිමත් සනීපාරක්ෂක පිළිවෙත් ක්‍රියාත්මක කිරීම වැදගත් වන බවද එහි වැඩිදුරටත් දැක්වේ.

කොවිඩ් 19 සහ ආහාර අතර සබඳතාව ගැන විදෙස් පර්යේෂණ වාර්තා

ඉකුත් අගෝස්තු 22දා ඇමරිකානු රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානද (Centers for Disease Control and Prevention) සිය නිල වෙබ් අඩවියෙන් මෙම මාතෘකාව සම්බන්ධයෙන් දත්ත සහිත සවිස්තරාත්මක වාර්තාවක්  ඉදිරිපත් කර ඇත. Centers for Disease Control and Prevention යනු  එක්සත් ජනපදයේ ජාතික මහජන සෞඛ්‍ය ආයතනයකි. එය සෞඛ්‍ය හා මානව සේවා දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වන එක්සත් ජනපදයේ ෆෙඩරල් නියෝජිතායතනයක් වන අතර එහි මූලස්ථානය ජෝර්ජියාවේ ඇට්ලන්ටා හි පිහිටා ඇත.

CDC ඉදිරිපත් කර ඇති වාර්තාවෙන් පැහැදිලි කර සිටින්නේ මුහුදු ආහාර හෝ මස්වලින් කොවිඞ් 19 වෛරසය ශරීරගත වූ බවට තවමත් කිසිදු විද්‍යාත්මක සාක්ෂියක් හරහා තහවුරු වී නොමැති බවයි.

Food and Coronavirus Disease 2019 (COVID-19) යන එම වාර්තාවේ සඳහන් පරිදි මෙම වෛරසය සම්ප්‍රේෂණය වීමේ වැඞ් සම්භාවිතාව තිබෙන්නේ මිනිසාගෙන් මිනිසාට බව පෙන්වා දෙන එම වාර්තාව මිනිස් සිරුරෙන් ආහාරවල සහ ආහාර ඇසුරුම්වලද වෛරසය තැවරීමේ හැකියාව තිබෙන නමුදු එසේ තැවරෙන වෛරසයේ එහි අවධානම ඉතා අවම බවද සඳහන් කර ඇත.

ආහාර නිෂ්පාදන සහ ඇසුරුම් වැනි අංශවල සේවකයින් රැසක් සේවය කළද මෙතෙක් ලොව කිසිදු රටකින් ආහාර හරහා වෛරසය ශරීරගත වූ රෝගීන් පිළිබඳ වාර්තා වී  නොමැති බවද එම වාර්තාවේ සඳහන් කර ඇත.

ආහාර පිසින අවස්ථාවේ හෝ කෑමට ගැනීම සඳහා සූදානම් කරන අවස්ථාවේදී නාසය, මුඛය හෝ දෑස් ඇල්ලීමෙන් වැළකී සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් මනාව  පිරිසිදුව ආහාරයට ගැනීමෙන් වෛරසය ශරීරගත වීමේ අවධානමක් නොමැති බවට සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත් කළ වාර්තාවේ දැක්වෙන කරුණ සීඩීසී වාර්තාවෙන්ද  තවදුරටත් තහවුරු කර දක්වා ඇත.

එසේම මස් හා මාලු මෙන්ම එළවලු වැනි වෙනත් ආහාරද පිසීමේදී භාවිත කළ හැකි එකිනෙකට වෙනස් උෂ්ණත්ව ධාරිතාවන්ද එම වාර්තාවේ සඳහන් කර ඇත. එහි මාලු ඇතුලු මුහුදු ආහාර පිසීම සඳහා නිර්දේශ කර ඇති උෂ්ණත්වය වන්නේ ෆැරන්හයිට් අංශක 145ක් වන අතර මාලු හෝ මස් පහසුවෙන් කැබලි කර ගත හැකි මට්ටම දක්වා පිසින මෙන් එහි උපදෙස් ලබා දී ඇත. ආහාර විෂ වීමකට තුඩු දිය හැකි විෂබීජ විනාශ කරන මට්ටමේ උෂ්ණත්වයක් ආහාර පිසීමේදී භාවිත වනවාද යන්න තමාටම පරීක්ෂා කර ගැනීම සඳහා ආහාර සඳහා වූ උෂ්ණත්වමානයක් ද භාවිතා කරන මෙන් එහි වැඩිදුරටත් උපදෙස් ලබා දී ඇත.

මේ අනුව  මාලු කෑමෙන් කොරෝනා ආසාදනය විය හැකි බවට ජනතාව අතර කටකතා සහ සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර ගිය මතය මේ දක්වා විද්‍යාත්මකව සනාථ නොකළ සාවද්‍ය මතයක් බවට තහවුරු වනු ඇත.

Hot this week

Sri Lanka’s Bumpy Road to a Political Reset

Sri Lanka is navigating a fragile political transition following...

AI Tools & Social Norms are Making the Internet Unsafer For Women

As generative AI usage rises in India, image, video,...

Energy minister under fire as NPP confronts first no-confidence motion over corruption charges

COLOMBO – Sri Lanka’s ruling National People’s Power (NPP)...

Six extraordinary stories on intangible losses due to climate change

There are many climate change stories but those that...

From maritime tensions to economic recovery: Can Sri Lanka navigate the next decade?

Speed Read: Sri Lanka’s relationship with neighboring India remains central...

Topics

Sri Lanka’s Bumpy Road to a Political Reset

Sri Lanka is navigating a fragile political transition following...

AI Tools & Social Norms are Making the Internet Unsafer For Women

As generative AI usage rises in India, image, video,...

Energy minister under fire as NPP confronts first no-confidence motion over corruption charges

COLOMBO – Sri Lanka’s ruling National People’s Power (NPP)...

Six extraordinary stories on intangible losses due to climate change

There are many climate change stories but those that...

From maritime tensions to economic recovery: Can Sri Lanka navigate the next decade?

Speed Read: Sri Lanka’s relationship with neighboring India remains central...

Holding the Power of Big Tech Accountable

by Sandrine Rigaud • March 24, 2026 Editor’s Note: This is the...

Counter narratives and tackling harmful content

Ove the past year, the Center for Investigative Reporting...

Sri Lanka’s missing tuberculosis patients: 5,000 cases annually go undetected

Speed Read: Up to 5,000 tuberculosis patients annually go undetected...

Related Articles

Popular Categories