‘පඩි කපන කොළ’ නිසා ඡන්ද අයිතිය අහිමි වන ලක්ෂයකට ආසන්න ඇඟලුම් සේවිකාවෝ

රදිකා ගුණරත්න   

‘‘අවුරුදු 15 කට විතර කලින්, මම ගමේ ස්ථිර පදිංචිය නෑ කියල ග්‍රාම සේවක මහත්තයා ඡන්ද හිමි නාම ලේඛනයෙන් නම අයින් කරල තිබුණා. කටුනායක ආපු අලුත දීමනා කැපෙයි කියන බයට ගමේ ගියෙ නෑ. ඡන්දය දාන්නෙ කොහොමද කියලවත් මම දන්නෙ නෑ, දැන් මට ස්ථිර පදිංචියකුත් නෑ, ගමේ ඡන්දෙත් නෑ‘‘ යැයි සංසි පවසයි.  

39 හැවිරිදි සංසි වයස 19 දී ගාල්ලේ දුෂ්කර ගම්මානයක සිට කටුනායකට පැමිණ මේ වන විට ලංකාවේ ප්‍රමුඛතම ඇඟලුම් කම්හලක මැෂින් ඔපරේටර්වරියක් ලෙස සේවය කරයි. ඇය ඇඟලුම් ක්ෂේත්‍රයේ වසර 20 ක අත්දැකීම් සහිත ස්ථිර සේවිකාවකි.

‘‘පුරවැසියො විදිහට අපි ඡන්දෙ දාන්න ඕනෙ. අපට ගමේ ඡන්දෙ තිබුණත් නිවාඩු දාල ගමට යන එක තමයි ප්‍රශ්නෙ..‘‘ යැයි වයස 48 ක් වන, වසර 20 ක් කටුනායක ආයෝජන කලාපයේ වැඩකරන හපුතලේ මානෙල් පැවසුවා ය. මැෂින් ඔපරේටර්වරියක් ලෙස ඇගේ ස්ථිර සේවා කාලය වසර 17 කි.

ඡායාරූප අයිතිය – රදිකා ගුණරත්න

වාර්ෂිකව දළ වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 5 ඉක්මවා විදේශ විනිමය ගෙන දෙන, ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ කොඳු නාරටිය ලෙස සැලකෙන්නේ ඇඟලුම් ක්ෂේත්‍රයයි. ඒ අතරින් ද ඇඟලුම් කම්හල්වල ස්ථානගත වීම් සහ වැඩිම සේවක පිරිසක් ස්ථානගත වී සිටිනුයේ කටුනායක නිදහස් වෙළඳ කලාපය තුළ ය. එහි සේවය කරන ලක්ෂ එකහමාරකට අධික සේවිකාවන්ගෙන් අති බහුතරය ස්ථිර පදනමින් සේවය කරන අය වන අතර, ඔවුන්ගෙන් 70%කට පමණ සේවා ගිවිසුම් ද තිබෙන බව ඇඟලුම් ක්ෂේත්‍රයේ නියුතු කම්කරුවන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් කටයුතු කරන සහයෝගිතා මධ්‍යස්ථානයේ (Solidarity Centre) 2021 වසරේ පර්යේෂණ වාර්තාවක් සඳහන් කරයි. ඒ අනුව කටුනායක ඇඟලුම් කම්හල්වල ස්ථිර සේවයේ නියුතු, සේවා ගිවිසුම් හිමි සංඛ්‍යාව 105,000 ක් පමණ වන අතර, එයින් අති බහුතරය කාන්තාවන් ය.  වෘත්තීය සමිති ද සඳහන් කරන්නේ කටුනායක කර්මාන්ත කලාපයේ ස්ථිර සේවිකාවන් 80,000-100,000 අතර ප්‍රමාණයක් සිටින බව ය.

කටුනායක නිදහස් වෙළඳ කලාපයේ ස්ථිර සේවිකාවන්ගේ ඡන්දය ප්‍රකාශ කිරීමේ හැකියාව පිළිබඳ සොයා බැලීමේ අරමුණ වෙනුවෙන් මෙම ලිපිය සඳහා කටුනායක නිදහස් වෙළඳ කලාපයෙන් ඇඟලුම් කම්හල් 25 ක් නියෝජනය වන පරිදි අහඹු ලෙස තෝරාගත් ස්ථිර සේවිකාවන් 60 දෙනෙකු ඇසුරෙන් පර්යේෂණය සිදුකළ අතර,  එහිදී හෙළි වූයේ එම 60 දෙනා අතරින් ඡන්දය ප්‍රකාශ කර තිබෙන්නේ 14 දෙනෙක් පමණක් බව ය. ඉතිරි 46 දෙනා  හෙවත් නියැදියෙන් 76.3%ක් දෙනා ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී තිබිණි.

ඇඳිරි නීතිය මැදින්  ඡන්දය දමා එන අතළොස්ස  

සාමාන්‍යයෙන් මැතිවරණ දිනය ලෙස යෙදෙන්නේ සති අන්තයේ සෙනසුරාදා දිනයකි. කෙසේ නමුත් ලංකාවේ අවසන් වරට මහ මැතිවරණය පැවති 2020 අගෝස්තු 05 වැනිදා බදාදා දිනයක් වූ අතර,  ඇඟලුම් සේවිකාවන්ට වරුවක් වැඩ කර ගමට යාම සඳහා අඟහරුවාදා දිනයේ නිවාඩු ලබා දී තිබිණි.

නමුත් කාන්තාවන් වශයෙන් රාත්‍රී ගමනාගමනයේදී මුහුණ දෙන අනාරක්ෂිත බව හා අපහසුතා නිසා ඔවුන්ගෙන් අති බහුතරය ඡන්දය ප්‍රකාශ කිරීමට ගමේ යාම සඳහා තෝරාගෙන තිබුණේ බදාදා උදෑසනයි.

‘‘බදාදා උදේ 6 වෙද්දි කටුනායකින් පිටත් වුණා. ගෙදර යද්දි දවල් 12.30 යි. බදාදා ම ආපහු ආවා. ‘‘ගලේවෙල සිට කටුනායක ආ 41 හැවිරිදි ගීතානි කීවාය. 34 හැවිරිදි ධම්මිකා ද ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සිය ගම්පළාත වන කුලියාපිටියට ගියේ බදාදා උදේ ය. ඔවුන් දෙදෙනා ෆැක්ටරි දෙකක ය.

‘අපිට ඕනෙම් වැඩ කරල යන්නත් පුළුවන් නැතිනම් පහුවදා උදේ යන්නත් පුළුවන්. ‘‘  

ඡන්දයට පසු දිනය වූ බැවින් එම බ්‍රහස්පතින්දා දිනය ඇඳිරි නීතිය දිනයක් විය.

‘‘ඇඳිරි නීතිය දැම්මොත් එදාම එන්න පුළුවන්. නැතිනම් පාස් පෙන්නලා එනවා.‘‘ යැයි යතුරුපැදියෙන් ගමේ යන 38 හැවිරිදි කුලියාපිටියේ නදීෂා කීවා ය. නමුත් අති බහුතරය භාවිතා කරන්නේ පොදු ප්‍රවාහන සේවයයි. ‘‘ඡන්දෙ දාල බස් එකට නගිනවා උදෙන්ම. ගෙවල්වල අය බයයි. ඇඳිරි නීතිය මැද බස් එක ඉතින් නතර කරන්නෙ නැතිව ආවා. බස් නැති වුණොත් එන්න වෙන්නෙ නෑ කොහොමත්‘‘ යැයි අම්පාර, මහඔය සිට පැමිණ, වසර 8 ක් ස්ථිර සේවිකාවක ලෙස කටයුතු කරන ප්‍රියංගිකා පැවසුවා ය. ‘‘එන්න බැරි වුණොත් පඩියෙන් කපනවා‘‘.

රුපියල් 7000 සිට 12,000 දක්වා වැටුප් කපා හැරීමක්!

සාමාන්‍යයෙන් ඇඟලුම් සේවිකාවන් නිතිපතා සේවයට වාර්තා කළ විට රුපියල් 7000 ක හෝ රුපියල් 8000 ක  පැමිණීමේ දීමනාවක් ලැබේ. කෙසේ නමුත් ප්‍රියංගිකා හට රුපියල් 7000 ට අමතරව, සේවක සුබසාධන ප්‍රතිලාභයක් වශයෙන් බෝඩිං ගාස්තු ලෙස රුපියල් 5000 ක මුදලක් ද එම කම්හල මගින් මාසිකව පඩිපතට එකතු කිරීම සිදු කරයි. ඡන්දය දැමීමට යාම නිසා එම රු. 5000 ක බෝඩිං කුලිය ද එවර පඩිපතෙන් කපා දමා තිබිණි.  ඒ අනුව 2020 අගෝස්තු මාසයේ පඩිය වශයෙන් ඇගේ අතට ලැබුණේ මූලික වැටුප වන රුපියල් 32,000 පමණි. ඒ ද ඇය වසර 8 ක් පමණ කාලයක් එම කම්හලේ සේවය කර තිබූ නිසා ය. සාමාන්‍යයෙන් ඇඟලුම් සේවිකාවන්ගේ මූලික වැටුප රු. 22,500 ක් වන අතර, සේවා කාලය අනුව වාර්ෂික වැටුප් වැඩිකිරීම් සිදුකරන ආකාරය ද කම්හලෙන් කම්හලට විෂමාකාර ය.  

‘‘මම ඡන්දෙ දාන්න ගියෙ මොකටද කියල හිතුණා.‘‘ යැයි ද ප්‍රියංගිකා පැවසුවා ය.

ඡායාරූප අයිතිය – රදිකා ගුණරත්න

කොලපාට, රෝස පාට සහ කහපාට කොල

ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ගමේ යන්නේ නම්, කලින් නිවාඩු දමා යාමේ හැකියාව ද සේවිකාවන් කම්හල් විසින් සපයා තිබේ. එහිදී මානව සම්පත් අංශයෙන් සාමාන්‍ය නිවාඩු ඉල්ලා සිටින ක්‍රමවේදය ම  අනුගමනය කෙරේ. එය අදාළ වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ලබාදෙන, කිලෝමීටර 150 දක්වා වූ එක්දින විශේෂ නිවාඩුව සහ කිලෝමීටර 150ට වැඩි අය සඳහා ලබාදෙන දින 2 ක විශේෂ නිවාඩුවට අමතරව නිවාඩු ලබාගැනීමට බලාපොරොත්තු වන අය සඳහා ය.

‘‘අපිට ගෙදර යද්දි කොළ දාල යන්න පුළුවන්. කලින්ම නිවාඩු දාල යනව නම් කොල පාට කොළේ පුරවනවා. එදා උදේ ඇවිත් නිවාඩු දාල වරුවෙන් යනව නම් කහපාට කොළේ පුරවනවා. එන දවස හරියට කියන්න බැරි නම් රෝස පාට කොළේ පුරවන්න ඕනෙ. රෝස පාට කොළේ පුරවන අයගෙ පැමිණීමේ දීමනාව සම්පූර්ණයෙන් ම කපනවා‘‘ යැයි නිකවැරටියේ සිට කටුනායකට පැමිණි, තත්ව පාලිකාවක ලෙස සේවය කරන 37 හැවිරිදි දිල්රුක්ෂි පැවසුවා ය. ‘‘රෝස පාට කොළේට අපි කියන්නෙ ‘පඩි කපන කොළේ‘ කියලා..‘‘

‘‘අපේ ගොඩක් අය යන්නෙ පාරෙ බස් එකේ. බස් එකෙන් බැහැලත් ගොඩක් පිටිසර පැතිවලට යන්න ඕනෙ. එ් නිසා විශේෂ නිවාඩුව ෆැක්ටරි එකෙන් දුන්නත්, අමතර නිවාඩුත් ගන්න වෙන නිසා ගොඩක් අය ඡන්දෙ දාන්න යන්නෙ නෑ.‘‘ යැයි ඇය තවදුරටත් සඳහන් කළාය.

මඩකලපුවේ සිට පැමිණ, වසර 10 ක් මුළුල්ලේ ස්ථිර සේවිකාවක් ලෙස කටයුතු කරන 32 හැවිරිදි මලර්, කටුනායකට පැමිණි පසු ඡන්දය ප්‍රකාශ කර තිබෙන්නේ 2020 වසරේ පමණි. ‘‘එදා බදාදා දවසක් නිසා අඟහරුවාදා දවල් ගෙදර ගියා. ඡන්දෙ දාල ආපස්සට බස් එකේ නැගල ආවා. හරිම මහන්සියි. පහුවදා ආපහු වැඩට යන්නත් ඕනෙ, නැත්නම් පඩිය කැපෙනවා‘‘. ඒ ඇගේ අත්දැකීමයි.

ඡායාරූප අයිතිය – රදිකා ගුණරත්න

උපයාගත් නිවාඩුව අහිමි වන හැටි

‘‘ඡන්දෙට පහුවදා වැඩට ගියෙ නැත්නම් ඉතිරි කර ගත්ත නිවාඩුවලින් අඩු කරනවා, පැමිණීමේ දීමනාවත් කපනවා‘‘ යැයි මලර් පැවසුවාය. වෙනත් වචනවලින් මෙය සාරාංශ කරන්නේ නම් මෙහිදී සිදු වන්නේ උපයාගත් නිවාඩුව අහිමි වීමකි.

කටුනායක විවිධ ඇඟලුම් කම්හල්වල මෙම පැමිණීමේ දීමනාව සහ උපයාගත් නිවාඩුව අහිමි වන්නේ ද සමාකාර ලෙස නොවේ. මාසයට නිවාඩු එකහමාරක් ගත්තොත් පැමිණීමේ දීමනාව එක් කම්හලක කපා දමන අතර, තවත් කම්හලක දින එකහමාරක් ගත්තොත් පැමිණීමේ දීමනාව භාගයකින් කපා හැරීමත්, දින 2 ක් හෝ ඊට වැඩි වුවහොත් සම්පූර්ණ දීමනාවම කපා හැරීමත් සිදු කෙරේ.

‘‘උපයාගත් නිවාඩු නැති වුණාම දවසක වැටුප 1500 ක් වගේ කපනවා. පැමිණීමේ දීමනාවත් කපනවා. මාසෙට නිවාඩු එකහමාරක් ගත්තොත් පැමිණීමේ දීමනාවෙන් බාගයක් දෙනවා.‘‘ යැයි එක් ඇඟලුම් සේවිකාවක් පැවසූ අතර, වෙනස් ඇඟලුම් කම්හල් දෙකක සේවිකාවන් දෙදෙනෙක් එය විස්තර කළේ පැමිණීමේ දීමනාව කපා හැරීම, එක් දිනක් නිවාඩු ගත්ත ත් සිදුවන බවයි. මේ අනුව විවිධ ඇඟලුම් කම්හල්වල ක්‍රියාත්මක වන්නේ විවිධාකාර නිවාඩු ප්‍රතිපත්ති ය.

කම්කරු නිවාඩු පිළිබඳ පොදු ප්‍රතිපත්තිය අදාළ නැති වන හැටි   

එකම කම්කරු නීතියක් යටතේ පාලනය වුවත්ඇඟලුම් ක්ෂේත්‍රයේ සේවිකාවන් ඡන්දය ප්‍රකාශ කිරීමට යාමේදී සෙසු කම්කරුවන්ට වඩා සුවිශේෂී ගැළුවකට හා අවදානමකට මුහුණ දෙන බව ඇඟලුම් ක්ෂේත්‍රයේ සේවිකාවන්ගේ කම්කරු අයිතීන් පිළිබඳ සක්‍රිය මැදිහත්වීමක් කරන නීතීඥ ස්වස්තිකා අරුලිංගම් පවසයි. ඇය වෘත්තීය සමිති නායිකාවක ද වේ. ‘‘ඇඟලුම් ක්ෂේත්‍රයේ අප දකින විශේෂිතම හිමිකම් උල්ලංඝනයක් වන්නේ ඡන්ද නිවාඩුව ට අමතරව වෙනත් තමන්ට හිමි නිවාඩු ගත්තත්, පැමිණී‌මේ දීමනාව කපා හැරීමයි’’ යැයි ඇය පැවසුවාය. ‘’ඇඟලුම් සේවිකාවන් ගේ මූලික වැටුප අඩු නිසා ලබාදෙන මාසික දීමනා ඔවුන්ට ඉතාම වැදගත් සාධකයක් වෙනවා. ඡන්දය ප්‍රකාශ කිරීමට යාම නිසා අමතර නිවාඩු ගැනීමට සිදුවීම සේවිකාවන් මුහුණ දෙන යථාර්ථයක්. යැයි ඇය පැහැදිලි කළාය.  

ඇඟලුම් කම්හල්වල මෙම ක්‍රමවේද හේතුවෙන් සිදුවන්නේ ස්ථිර සේවිකාවන් ව ඡන්දය ප්‍රකාශ කිරීමට වක්‍රාකාරයෙන් අධෛර්යමත් කිරීම බව වෙළඳ කලාපය තුළ සේවිකාවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කටයුතු කරන ඩාබිඳු සාමූහිකයේ සම්බන්ධීකාරකවරිය මෙන්ම වෘත්තීය සමිති නායිකාවක ද වන චමිලා තුෂාරි පැවසුවා ය.  

ඡායාරූප අයිතිය – රදිකා ගුණරත්න

‘‘ඒ අවදානම අරන් ඡන්දෙ දාන්න ගමට යන්න සේවිකාවො කැමති නෑ. ගෙදර ගියත්, ගිහින් ගෙදර අයගෙ මූණ බලල ඊළඟ බස් එකේ ආපහු එන්න ඕනෙ. මාස්පතා ගමට යන්න තරම් වත්කමක් ඔවුන් ට නෑ. සමහරු සල්ලි ටිකක් එකතු කරන් ගමේ යන්නෙ අවුරුද්දටම එක පාරයි. උපයාගත් නිවාඩුව පාවිච්චි කරන්නෙ ඒකට. ඡන්දෙ නිසා පඩියෙන් රුපියල් හත් අට දාහක් අඩු කරගන්න කැමති කවුද? .‘‘ යැයි ඇය විමසයි. 

ඇය තවදුරටත් පෙන්වා දෙන්නේ බොහෝ ඇඟලුම් සේවිකාවන් සිය ගෙදර දොර ගැටළු විසඳීම සඳහා මූලික වැටුපෙන් කපා හැරෙන සේ බැංකු ණය ආදිය ලබාගෙන ඇති බවයි. ‘ඡන්දෙ දාන්න ගෙදර ගියා වගේ නෙවෙයි, එක දවසක් හරි වැඩිපුර නිවාඩු ගත්තොත් පැමිණීමේ බෝනස් නැති වුණාම මාසෙ ජීවත් වෙන්නෙ කොහොමද?’’

නිවාඩු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් කම්හල් තුළ තත්වය

‍‘‘අපි අනිවාර්යයෙන් සේවිකාවන්ට ඡන්දෙ දාන්න ගමට යන්න කියලා විශේෂ නිවාඩුව ලබාදෙනවා. ආයතන පැත්තෙන් අපි කිසිම බාධාවක් කරන්නෙ නෑ‘‘ යැයි සිය නම සඳහන් නොකරන ලෙස ඉල්ලා සිටි කටුනායක ආයෝජන හා නිදහස් වෙළඳ කලාපයේ ප්‍රධාන පෙළේ ඇඟලුම් කම්හලක මානව සම්පත් කළමනාකාරවරයෙක් කියා සිටියේය. ‘‘අපි මෙගාෆෝන් හරහා නිවේදනය කරනවා, ඡන්දයට ගෙදර යන්න නිවාඩු අවශ්‍ය අය කොළ පුරවන්න කියලා. සුපවයිසර්වලවත් දැනුවත් කරනවා‘‘.

කෙසේ නමුත් සුපවයිසර්ලා හෙවත් වැඩ පරීක්ෂකවරුන්, ඡන්දය දැමීම සඳහා සේවිකාවන් නිවාඩු දමා ගමට යාම අධෛර්යමත් කරන්නේ ද යන පැනයට බොහෝ කම්හල් සේවිකාවෝ පිළිතුරු දීමෙන් වැළකී සිටියහ. එක් අයෙක් පමණක් මෙසේ කීය. ‘‘ඡන්දෙට පහුවෙනිදා නොවරදවාම වැඩට එන්න කියලා අපිට නොකියා කියනවා. එයාලගෙ වැඩි කැමැත්තක් නෑ ඉතින්! ‘‘

වැඩ පරීක්ෂකවරයෙකුගේ අදහස ද මෙම ලිපිය සඳහා ලබාගැනීමට උත්සාහ කළත් එය සාර්ථක වූයේ නැත.

‘‘අපේ ළමයි ගොඩක් වෙලාවට කරන්නෙ ඡන්දෙ දවසට බෝඩිමට වෙලා ඉන්න එක. කැමති නම් වැඩ කරන්නත් පුළුවන්‘‘ යැයි මහියංගනය හසලක ගම් පළාත වන 42 හැවිරිදි කුමාරි පවසන්නීය. ‘‘අපේ බෝඩිමේ ළමයි දහදෙනෙක් විතර ඉන්නවා. අන්තිම ඡන්දෙට ගමේ ගියෙ මමයි තව එක්කෙනෙකුයි විතරයි‘‘.

ගම් පළාත් බලා යාමට නොමිලේ පහසුකම් දෙනවා !- යොහාන් ලෝරන්ස්

මේ අතර, Joint Apparel Association Forum Sri Lanka (JAAFSL) හි යොහාන් ලෝරන්ස් මහතා පවසන්නේ, කටුනායක ඇතුළු ඇඟලුම් කම්හල් සේවිකාවන්ට ඡන්දය ප්‍රකාශ කිරීමේ කාර්යය පහසුකරණය සඳහා සියල්ල සපයා ඇති බවයි. ඡන්දය ප්‍රකාශ කිරීමේ ඉහළ ප්‍රතිශතය පිළිබඳ අප ආඩම්බර විය යුතු බව ද ඔහු පැවසුවේය. ‘’ බොහෝ කම්හල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ගම් පළාත් බලා යාමට නොමිලේ ප්‍රවාහන පහසුකම් ලබාදෙනවා’’ යැයි ද ඔහු කීය.

කෙසේ නමුත් එසේ කම්හල් මගින් නොමිලේ සපයන ප්‍රවාහන පහසුකම් මගින් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ගමේ ගිය කිසිවෙකු නියැදිය තුළ හමු නොවූ අතර, ඔවුහු එම පහසුකම ලබාගත් අයෙකු ගැන ද අසා නොතිබුණහ.  

මෙම තත්වය තුළ කටුනායක ස්ථිර සේවිකාවන්ගෙන් අතිබහුතරය, ඡන්දය ප්‍රකාශ නොකිරීම තෝරාගැනීම අරුමයක් නොවේ. voter suppression හෙවත්, ඡන්ද දායකයන් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් ඉවත්වී සිටීම හෝ වැළකී සිටීම ද මැතිවරණයක නිදහස් හා සාධාරණ භාවයට බරපතළ ගැටළුවක් බව පැෆරල් ආයතනයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසයි.

නූතන වහල් සේවයක්

2021 වසරේ ශ්‍රී ලංකාවට පැමිණි නූතන වහල් සේවය පිළිබද සොයාබැලීමේ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයා, ලංකාවේ අතිශය සමාජභාවීකරණය (highly gendered) වූ ක්ෂේත්‍ර 4 න් එකක් වශයෙන් ඇඟලුම් ක්ෂේත්‍රය නම් කළේය. ලංකාවේ ඇඟලුම් ක්ෂේත්‍රයේ නියැළෙන්නන්ගෙන් 80%ක් කාන්තාවන් වේ. ඔවුන් කාන්තාවන් වන නිසාම, පොදු ප්‍රවාහන සේවයේ දී මුහුණ දෙන දුෂ්කරතා සහ පවුලේ උපයන්නිය බවට පත්වීම ඇතුළු ඔවුන්ටම අනන්‍ය වූ ගැටළු රාශියක් ද පැන නගින අතර, එයට ඔවුන්ගේ ඇඟලුම් කම්හල්වල ක්‍රියාත්මක වන විෂමාකාර නිවාඩු දීමනා ප්‍රතිපත්ති ද එක් වූ විට ඡන්ද අයිතිය භාවිතා කිරීම ඔවුන්ට නොවැදගත් දෙයක් බවට පත් කර ඇති සෙයකි. ස්ථිර සේවිකාවන් බවට පත් වූ විට අත්සන් කරන සේවා ගිවිසුම්වලින් ඔවුහු ආයතනයේ නිවාඩු ප්‍රතිපත්තියට නිරායාසයෙන් බැඳෙති. රැකියාවේ සුරක්ෂිතතාවයට සබැඳි මානසික සුවතාවය වෙනුවෙන් වැඩපරීක්ෂකවරුන්ගේ හොඳ හිත නඩත්තු කිරීම, උපයාගත් නිවාඩුව පරිස්සම් කරගෙන එය නිදහසේ ගමේ යාමට යෙදවීම වැනි වගකීම් ද පසුව එයට එක් වන බව පැහැදිලි ය.

නිදහස් වෙළඳ කලාපය තුළ ඡන්ද පෙට්ටි ස්ථාපනය කිරීම

ඇඟලුම් කර්මාන්තයේ සේවක සේවිකාවන් සඳහා  සිය වැඩබිම තුළම ඡන්ද පෙට්ටි ස්ථාපනය කිරීමේ අවශ්‍යතාවය දැන් වසර කිහිපයක පටන් පවතියි. අප කළ විමසීමේදී ද ඇඟලුම් සේවිකාවන් කියා සිටියේ ගමට නොගොස් වැඩබිම තුළ විශේෂ ඡන්ද මධ්‍යස්ථාන පිහිටවන්නේ නම් එය අතිශය ප්‍රායෝගික බවයි.

‘‘එහෙනං අපි හැමෝම ඡන්දෙ දානවා‘‘ යැයි දිනූෂා කීවා ය. එය එසේ වීමට නම් ඔවුන් සඳහා තාවකාලික පදිංචි සහතික නිකුත් කළ යුතු ය.

තාවකාලික පදිංචි සහතික යටතේ විශේෂ ඡන්ද මධ්‍යස්ථාන ඇඟලුම් කලාප තුළ පිහිටුවීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව සූදානමින් සිටින බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේය.

‘‘අපි ලෑස්තියි. නමුත් අපිට ඒ සඳහා වැඩ කරන්න නීති සම්පාදනය වෙන්න අවශ්‍යයි. ඒක දේශපාලන අධිකාරිය විසින් කළ යුතු දෙයක්. තාවකාලික පදිංචි සහතික යටතේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය සහ විශේෂ ඡන්ද මධ්‍යස්ථාන පිහිටුවීමේ විධිවිධාන පිළිබඳ යෝජනා සහ නිර්දේශ සියල්ල අපි ලබාදී තිබෙනවා. ඇඟලුම් කර්මාන්තශාලා කලාප ද එයට අයත්‘‘ යැයි ඔහු පැවසුවේය.

‘‘නමුත් මේ යන විදිහට නම්, මේ අවුරුද්දෙත් ඔවුන්ට ඡන්දය පාවිච්චි කරන්න ලැබෙන එකක් නෑ..‘‘  

මෙම වාර්තාව ප්‍රථමයෙන් ප්‍රකාශයට පත් කරන ලද්දේ 2024 ජුනි 23 වන දින ‘අනිද්දා’ පුවත්පතේ වන අතර එය, නෙදර්ලන්ත තානාපති කාර්යාලයේ සහාය ඇතිව විමර්ශනාත්මක වාර්තාකරණ මධ්‍යස්ථානය විසින් පවත්වන ලද මැතිවරණ වාර්තාකරණ අවස්ථා යටතේ සම්පාදනය කරන ලද්දකි.     

Hot this week

The Diplomat, the Chameleon, the Bloodhound: Understanding Newsroom Personalities

Investigative journalists are a bit peculiar. Many of us...

Dilrukshi Handunnetti Delivers Presidential Address at MICC 2026

CIR Co-founder Dilrukshi Handunnetti delivered the Presidential Address at...

Shifting sands, sinking communities 

Beneath the Sands, published in 2023, is a collaborative...

Seven years later, Easter Sunday attack verdict brings long-awaited convictions

Speed Read Ending a five-year trial, a Colombo High Court...

Sri Lanka’s campaign finance law shows higher compliance but transparency lags

Speed read Sri Lanka’s campaign finance law has produced high...

Topics

The Diplomat, the Chameleon, the Bloodhound: Understanding Newsroom Personalities

Investigative journalists are a bit peculiar. Many of us...

Dilrukshi Handunnetti Delivers Presidential Address at MICC 2026

CIR Co-founder Dilrukshi Handunnetti delivered the Presidential Address at...

Shifting sands, sinking communities 

Beneath the Sands, published in 2023, is a collaborative...

Seven years later, Easter Sunday attack verdict brings long-awaited convictions

Speed Read Ending a five-year trial, a Colombo High Court...

Sri Lanka’s campaign finance law shows higher compliance but transparency lags

Speed read Sri Lanka’s campaign finance law has produced high...

Call for Applications: 2027 Ochberg Fellowships

Ends on Wed, Oct 21, 2026 2:30 AM The GCJT...

AI women, political deepfakes and Facebook’s failure

Colombo— What began as a disturbing experiment in manufacturing...

DBS Jeyaraj, remembering a journalist who kept truth alive

David Buell Sabapathy Jeyaraj (DBS) left behind more than...

Related Articles

Popular Categories