රට රස්සාවලට එතෙර ගොස් අතරමං වන නුපුහුණු ශ්‍රමිකයන්ගේ ඛේදවාචකය

මොනරාගල දිස්ත්‍රික්කයේ දුෂ්කර ගම්මානයක පදිංචි ඉන්ද්‍රාණි, ඉමහත් දුෂ්කරතා මධ්‍යයේ මැදපෙරදිග ගෘහ සේවිකාවක ලෙස සේවය කර පස් වසරක ඇවෑමෙන් ආපසු දිවයිනට ආවේ හිස් අතිනි. එතෙර රැකියාවෙන් උපයා ගත් කිසිවක් ඇය අත ඉතිරිව තිබුණේ නැත.

දෙදරු මවක වූ ඇය ආපසු එනවිට වැස්සට තෙමෙමින් තිබූ කටු මැටි පැල ඇයටත්, ස්වාමිපුරුෂයා සහ දරුවන්ටත් නොතෙමී ඉන්නට සෙවන කර දුන්නේ පරිත්‍යාගශීලින් කිහිපදෙනෙකු විසිනි.නැවත සියරටට පැමිණෙන විට ජීවිතයේ හතළිස් හත්වැනි වියත් පසුකර සිටි ඇය මේ වනවිට එදිනෙදා ජීවිකාව ගෙනයාම සඳහා ගමේ ගෙවල්වල වත්ත පිටිය උදුලුගෑම්,දරුවන් බලාගැනීම් සහ ගඩොල් කැපිම් ආදී විවිධ කුලී වැඩ කරන තැනැත්තියක් බවට පත්ව සිටී .

මොනරාගලම පදිංචිකාරියක වන ශ්‍රියානි ද ඊට සමාන අත්දැකීමකට මුහුණ දුන් තවත් කාන්තාවකි.

“මම පවුලේ වැඩිමලා. නංගිලා දෙන්නයි මල්ලිටයි ඉස්කොලේ යන්න වියදම් කරන්න තාත්තට බැරි හින්දයි කොළඹ ගාමන්ට් එකක රස්සාවට ගියේ. එහෙදි තමයි මම රට ගියේ .අපිට ගෙයක් දොරක්වත් හරියට තිබුණේ නැහැ.එදා ඉදලා හම්බකරපු හැම සතයක්ම තාත්තට එවුවා.නංගිලා මල්ලිලා බැන්දට පස්සෙ ඒ අය ඉල්ලනකොට එයාලටත් එව්වා. ඒ අයගේ දරුවන්ටත් වියදම් කළා. මල්ලිට ට්‍රැක්ටරයක් ගන්නත් සල්ලි එව්වා . අදටත් ඒ අයට තමයි වියදම් කරන්නේ. තාත්තා නැති වුණාට පස්සේ අම්මා බලාගන්න සල්ලි එවුවෙත් මම. කලකට පස්සේ ලංකාවට ඇවිත් විවාහ වුණත් ඒ පවුල් ජිවිතය සාර්ථක වුණේ නෑ . ඒ කාලේ හම්බකරපු සල්ලිත් මහත්තයා එයාගේ වැඩවලටයි,එයාගේ වාහනයේ ණය ගෙවන්නයි ගත්තා.ඉතිං මම ආයෙත් රට ගියා . දැන් අවුරුදු 21ක් තිස්සෙම රට රස්සාවල් තමයි කරන්නේ”

විදේශ විනිමය උපයාගැනීමේ අරමුණින් විදෙස් ගතවන බොහෝ දෙනකු එම තීරණයට එළඹෙන්නේ ශ්‍රී ලංකාව තුළ පවත්නා විරැකියා ගැටලුවට විසදුමක් වශයෙනි. එසේම පවුල් සංස්ථාව තුළ මතුවන ආර්ථික ගැටලුවට විසදුමක් වශයෙන්ද බොහෝ කාන්තාවෝ විදෙස්ගතව විවිධ වෘත්තින් හි යෙදෙති . නිල සංඛ්‍යා ලේඛණ අනුව වර්තමානය වන විට වසරකට විදේශ ගතවන ශ්‍රමිකයින්ගේ සංඛ්‍යාව ලක්ෂ දෙකකට අධිකය.ලියාපදිංචි නොවී විදේශ ගතවන්නන්ද සමග ගත්විට එම සංඛ්‍යාව ඊටත් වඩා බොහෝ සෙයින් වැඩිය.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිල සංඛ්‍යා ලේඛන අනුව 2018-2022 පසුගිය වසර පහක කාලය ඇතුළත විදෙස්ගතවී ඇති ශ්‍රමිකයින් පිළිබඳ තොරතුරු මෙසේය.

මේ පිරිස අතර පුහුණු ශ්‍රමිකයින් මෙන්ම අඩු නිපුණතාවයක් සහිත ශ්‍රමික සංක්‍රමණිකයින්ද සිටින අතර ඔවුන් විදේශයන්හිදී මුහුණ පාන ගැටලු මෙන්ම රැකියා කාලය අවසන්වී යළි දිවයිනට පැමිණිමෙන් පසු මුහුණ දෙන්නට සිදුවන ගැටලුවල ස්වභාවයන්ද විවිධය.

විදෙස්ගතව සිට යළි පැමිණෙන එම සංක්‍රමිණකයින්ට මුහුණ පාන්නට සිදුවන ගැටලු, ඒ හරහා මතුවන ආර්ථික සමාජීය ප්‍රශ්න හා පවුල් සංස්ථාවල බිඳවැටිම් හමුවේ ඔවුන්ගේ ඊළග ක්‍රියාමාර්ග, වර්තමානයේ ඔවුන්ගේ ජීවන තත්ත්වය පිළිබඳව ඔවුන්ගේ අත්දැකීම් වලින් කියා පාන්නේ බොහෝදෙනෙකු කොපමණ මුදලක් විදෙස්ගතව හරි හම්බ කළද ඒ මුදල් නිසි කළමණාකරණයකට ලක් නොවු තැන ඔවුන් පත්වන අසරණභාවයයි.නුපුහුණු ශ්‍රමිකයින් ලෙස විදෙස් ගතවන්නන්ට මේ තත්ත්වය වඩාත් නරක ආකාරයට බලපා ඇති බව ඔවුන්ගේ අත්දැකීම් විමසා බලනවිට පෙනේ.

පහතින් දැක්වෙන්නේ 2018-2022 කාලයට අදාළව, විදෙස්ගතවන පුහුණු හා නුපුහුණූ ශ්‍රමිකයින් පිළිබඳව විදේශසේවා නියුක්ති කාර්යාංශය් නිල වෙබ් අඩවියේ සදහන් තොරතුරු ඇසුරින් සකස් කරන ලද ප්‍රස්ථාරයකි.එම ප්‍රස්ථාරය දුටු සැණින් නිරීක්ෂණය වන ප්‍රධාන කරුණක් වන්නේ පසුගිය පස් වසර පුරාම ශ්‍රී ලංකාව වැඩිම විදෙස් ශ්‍රමිකයින් ප්‍රමාණයක් යවා ඇත්තේ ‘අර්ධ නිපුණතා සහිත’ සහ ‘අඩු නිපුණතා සහිත’ වර්ගීකරණ යටතේ බවයි.

පසුගිය පස් වසරට අදාළව විවිධ තරාතිරම් යටතේ විදෙස් ගතවු ශ්‍රමිකයින්ගේ නිපුණතා මට්ටම ප්‍රතිශතයක් වශයෙන් චිත්‍රණය කළවිට මෙම විෂයේදී රටක් වශයෙන් අප සිටින තැන වඩාත් හොඳින් පැහැදිලි වේ.

ප්‍රස්ථාරයට අනුව සමස්ත විදේශගතවීම් ප්‍රමාණයෙන් 60% ක්ම අයත් වනුයේ අර්ධ නිපුණතා සහිත මට්ටමටය. තවත් 30% ක් අඩු නිපුණතා සහිත මට්ටමටය.වෘත්තීය මට්ටම,මධ්‍යම මට්ටම,ඇතුළු සෙසු සියලු මට්ටම් අයත් වනුයේ ඉතිරි 10% ටය.මෙම අර්ධ නිපුණතා සහ අඩු නිපුණතා සහිත මට්ටම් වලට අයත් පිරිස වෘත්තීය ක්ෂේත්‍රයන් අනුව හඳුනාගත්විට ඔවුන් අතරින් වැඩිම ප්‍රමාණයක් අයත් වනුයේ ඇඟලුම් කර්මාන්තය, ගෘහ සේවා හා කම්කරු ක්ෂේත්‍රයන්ටය.ඔවුන්ට භාෂා කුසලතාවයන් හා වෘත්තිය සුදුසුකම පිළිබඳව ඇත්තේ අවම දැනුමකි.ඒ හේතුව නිසාම විදෙස් රටවලදී ඔවුන්ට මුහුණ පාන්නට සිදුවන ගැටලු ප්‍රමාණය වැඩිය.එසේම ඔවුන්ගේ අපේක්ෂාවන් ඉටුකරගැනීමට ඇති අවස්ථා ප්‍රමාණයද අල්පය.

මහන්සිවී උපයන මුදල පරිස්සමින් කළමනාකරණය කරගැනීම ග්‍රාමීය කාන්තාවන්ට ප්‍රබල ගැටලුවක් වී ඇති බව ඔවුන්ගේ අත්දැකීම් විමර්ශනයකර බලන විට පෙනේ. ඔවුන් විසින් ඊට සොයාගෙන ඇති පහසු විසඳුම වන්නේ නැවත නැවතත් විදෙස්ගත වීමය. ඔවුන්ගේ එම ක්‍රියාමාර්ග පවුල් ජිවිතවල බරපතල අවුල් ඇතිකිරීමටත්, විවිධ ගැටලුකාරී තත්වයන් මතු වීමටත් හේතුවී තිබේ.

ශ්‍රියාලතා වැල්ලවාය ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි.පාසැල් ගමන නිමකළ වහාම කොළඹ ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක රැකියාවක් සඳහා නිවසින් පිටවන්නේ තම පවුලේ තිබු අගහිඟකම් ගැන ශ්‍රියාලතා හොදින්ම දැන සිටි නිසාය. දෙමව්පියන් සමග පවුලේ සිව් දෙනෙකුගේ බර තනිවම තම පියාට දරා ගැනිමට නොහැකි වු නිසා කොළඹ රැකියාව කරන අතරතුර ටික කාලයකින් විදෙස්ගතවන ඇය ඩුබායි රටේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක රැකියාවට යන්නෙ 2002 වසරේදීය. ඒ රුපියල් 15000ක වැටුපකටය. එතැන් සිට ඇය මේ

දක්වාමත් ඕමානය සවුදි හා කුවේට් යන රටවල සේවය කරමින් සිටින්නේ තම පවුලේ වියදම් බරට කර දෙමිනි.

“මං දැන් රට ගිහින් අවුරුදු 21 ක් වෙනවා. අදටත් මට කියලා ඉතුරු කරගත්ත කිසිම දෙයක් නෑ. ඔය කාලය පුරාවටම මම කළේ පවුලේ අයට උදව්කරන එක විතරයි. හැමදාමත් මේ විදිහට පිටරට ඇවිල්ලා දුක් විඳන්න බෑ.තව මාස හය හතකින් මම ආයෙමත් ලංකාවට යනවා.ඒ ගිහින් අම්මවත් බලාගෙන පුළුවන් විදිහට ජීවත්වෙන්න තමයි කල්පනා කරගෙන ඉන්නේ. මෙහේ සල්ලි උපයන්න ගොඩාක් දුක් විදින්න ඕනේ. මම ඉන්න ගෙදර දරුවෝ හය දෙනෙක් ඉන්නවා. ඒ හය දෙනාම බලාගන්න ඕනේ.ඉතිරි මාස හයේදිවත් කීයක් හරි ඉතුරුකරගන්න තමයි හිතාගෙන ඉන්නේ”

වසර ගනනාවක විදෙස්ගත ශ්‍රමිකයෙකු ලෙස සේවය කර ආපසු පැමිණෙන අයෙකුට මෙවැනි දුක්ඛිත ඉරණමක් හිමිවී ඇත්තේ ඇයි? විධිමත් පුහුණුවක් හා මුදල් කළමනාකරණය සම්බන්ධයෙන් නිවැරදි මාර්ගෝපදේශයක් නොලැබීමද ඔවුන්ගේ එම ඉරණම හා බැඳී ඇති බව එම සිදුවිම් පිළිබඳව වැඩිදුරටත් සිදුකළ සොයා බැලිම්වලදී අනාවරණය වේ.

මේ ප්‍රශ්නය වඩාත් හොදින් තේරුම් ගැනීම සඳහා පොදුවේ මොනරාගල දිස්ත්‍රික්කයේ විදෙස්ගත ශ්‍රමිකයින්ගේ තත්ත්වය සහ ඔවුන් අතර නුපුහුණු ශ්‍රමිකයින්ගේ තත්ත්වය කෙබඳුදැයි විමසා බැලීමට අප උත්සාහ කළ අතර එහිදී දක්නට ලැබුණ පොදු චිත්‍රය මෙසේය.

මොනරාගල දිස්ත්‍රික්කයේ තවමත් 60% වැඩි පිරිසකගේ ජීවනෝපාය කෘෂිකර්මාන්තයය. එසේ වුවද රබර්,ගම්මිරිස් බහුලව වගාකරනු ලබන බඩල්කුඹූර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ විදෙස් ශ්‍රමිකයින් අතර වැඩිම පිරිසක් වාර්තාවන අතර බිබිල බුත්තල හා මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ පිළිවෙලින් දෙවැනි තෙවැනි හා සිව්වැනි ස්ථානවලට පත්ව තිබේ .

ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ මට්ටමින් සලකා බැලුවිට මොනරාගල දිස්ත්‍රික්කයේ වත්මන් ස්ත්‍රී සහ පුරුෂ විදෙස් ශ්‍රමිකයින් ගණන මෙසේය.

මොනරාගල දිස්ත්‍රික්කයේ විදෙස් ශ්‍රමිකයින්- ප්‍රා.ලේ කොට්ඨාශ අනුව (2022/2023)

ප්‍රා.ලේ කොට්ඨාශය2022  වර්ෂය2023 08- -02 දක්වා
ස්ත්‍රිපුරුෂස්ත්‍රිපුරුෂ
බඩල්කුඹූර836878642573
බිබිල1061135894
බුත්තල83605355
මඩුල්ල47534327
මැදගම32462219
මොනරාගල32431018
සියඹලාන්ඩුව12510817
තණමල්විල08180711
වැල්ලවාය10150506
එකතුව11661277848820

මේ පිරිස අතර වරක් දෙවරක් හා කිහිපවරක් විදෙස්ගතව සිට නැවත පැමිණෙන පිරිස් සිටින අතර විදෙස්ගතවීමට අපෙක්ෂාවෙන් සිටින ගණනද පන්සියයකට අධිකය.

රංමැණිකා පිරිමි දරුවන් සිව් දෙනෙකුගේ මවකි. බාලම දරුවා ලැබෙන්නට සිටින විට ස්වාමි පුරුෂයා ඇය හා දරුවන් අතහැර දමා ගියේ ඔවුන් කබලෙන් ලිපට ඇද දමමිනි.ඒ මීට වසර 14කට පෙරය.

පවුලේ අගහිඟකම්,දරුවන්ගේ අධ්‍යාපන කටයුතු මෙන්ම රෝගී වී සිටින වියපත් මව ජීවත්කරවීම වෙනුවෙන් ඇයගේද විසඳුම වූයේ විදෙස්ගත වීමය

“පොඩි දරුවට 13යි. එයා හම්බවෙන්න ඉන්නකොට තමයි මහත්තයා මාව දාලා ගියේ . කොළඹ ඒජන්සියකින් ගියේ ඉස්සෙල්ලාම ජෙර්දාන් වලට.එහේ අවුරුදු 4ක් හිටියා. ඊට පස්සේ කුවේට් රටේ අවුරුදු 3ක් හිටියා.ඒ හම්බකරලා එවපු හැම සතයක්ම එවුවේ දරුවන්ට.එවපු සල්ලිවලින් රුපියලක්වත් ඉතුරු කරගන්න බැරිවුණා. තාත්තා ලෙඩ වුණා.වියදම් කළාට තාත්තා බේරගන්න බැරිවුණා. කුලී වැඩ කරලා ජිවත්වෙන්න අමාරු නිසා මං ආයෙමත් රට ගියා.ඒ ගිහින් අවුරුද්දක් යනකොට මම අසනීප වුණා.ඊට පස්සේ බෙහෙත් අරන් දීලා ලංකාවට එව්වා.මගේ ලියකියවිලි හලාවත විදේශ සේවා එකට භාර දුන්නා.ඒත් තවමත් මට කිසිම වන්දියක් ලැබුණේ නෑ.මගේ වකුගඩුවල වතුර පිරිලලු.පොඩි දෙන්නා තාමත් ඉස්කොලේ යනවා.දැන් කන්නෙත් බොහොම අමාරුවෙන්.දරුවන් ජීවත් කරන්න ඕන නිසා කුලී වැඩක් කරනවා .අන්තිම සැරේ රට ගියේ ගේ වැඩ ටික ඉවරකරගෙන දරුවො දෙන්නට උගන්න ගන්න ඕන නිසයි. මගේ හීන ඔක්කොම දැන් බොඳවෙලා තියෙන්නෙ.”

මොනරාගල දිස්ත්‍රික්කයෙන්ම තවත් මෙවැනි අනුවේදනීය කතා බොහොමයක් පෙළගැස්සවිය හැකි තරම් මේ ප්‍රශ්නය බැරෑරුම්ය. ඒ බොහොමයක් කතා නුපුහුණු ශ්‍රමිකයින් වශයෙන් විදෙස් රැකියා සඳහා යොමුවූවන්ගේය. ඔවුන් වෙන් වෙන්ව කියන ඒ කතා එකට කැටිකොට ගත්විට කියැවෙන ප්‍රධාන කතාව වන්නේ මෙම පුරවැසි ප්‍රශ්නය තවත් පමා නොකොට වහාම විසඳුමක් සෙවිය යුතු ගැටලුවක් බවය

නුපුහුණු ශ්‍රමිකයින් මුහුණ පාන ගැටලු, ඔවුන් ඒවායින් ගලවාගත හැකි මාර්ග සම්බන්ධයෙන් අපි ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය නිමාලි විනීෂියා මහත්මිය සමඟද වැඩිදුරටත් සාකච්ඡා කළෙමු.

නුපුහුණු ශ්‍රමිකයන්ගේ ගැටලුවලට විසඳුම් සෙවීමේ සාමූහික ප්‍රයත්නයක් අවශ්‍යයි ! – ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය නිමාලි විනීෂියා

නුපුහුණු ශ්‍රමිකයින් මුලිකවම සුරාකෑමට හා අවධානමට ලක්වෙනවා. බොහෝවිට ඔවුන්ට තියෙන සිමිත කුසලතාවයන් නිසා වගේම අයිතිවාසිකම් ගැන නොදැඅනුවත්කම නිසා. එසේම ඔවුන්ගේ ගමනාන්තය පිළිබඳව තියෙන නොදැනුවත්කම නිසා ඔවුන් සූරාකෑමට,අපයෝජනයට හා අසාධාරණකම්වලට ලක්වෙන්නත් පුළුවන්.නුපුහුණු ශ්‍රමිකයන්ට අඩුවැටුප් හා අවිනිශ්චිත රැකියාවන්ට යොමුවෙන්නත් සිද්ධවෙනවා. විශේෂයෙන්ම අස්ථාවර රැකියාවල කොන්දේසි සහිත අඩු වැටුප් සහිත රැකියාවල නිරතවෙන්න සිදුවෙනවා.ලේඛණගත නොකළ ශ්‍රමික කම්කරුවන් විදිහට විදෙස් ගතවූවිට බොහෝවිට ඔවුන්ට නීතිමය ආරක්ෂාව සීමාවෙනවා.මෙමගින් ඇතිවිය හැකි අවධානම වන්නේ පිටුවහල් කිරිම් වගේ තත්ත්වයන්ට ලක්වීම.ඒ විතරක් නෙවෙයි; නොදන්න සංස්කෘතික වටපිටාවකදී ඔවුන්ට භාෂා හා සන්නිවේදන දුෂ්කරතා වගේම සංස්කෘතික බාධාවන් ඇතිවෙන්නත් පුළුවන්. මේ තත්ත්වයන් පුහුණු ශ්‍රමිකයින්ට වඩා නුපුහුණු ශ්‍රමිකයින්ට බලපානවා.

ශ්‍රමිකයින් ලෙස මොවුන් විදෙස් ගතවන්නේ කිසියම් වේතනයක් බලාපොරොත්තුවෙන්.නිසි පුහුණුවක් නොලබා මෙසේ විදෙස්ගතවීම තුළින් ඔවුන්ට බලපාරොත්තු ඉලක්ක වලට යාමට නොහැකි වෙනවා. ඒ තුළ ආතතියක් නිර්මාණය වෙනවා වගේම මානසික පිඩනයක් ගොඩනැගෙන්නත් පුළුවන් . සමාජ හුදකලාභාවයට පත්වෙන්නත් පුළුවන් .

නුපුහුණූ සංක්‍රමණියන් විදෙස් ගතකරවීමේදී කූට බඳවා ගැනීම් හා අධික මිළ ගණන් යටතේ අතරමැදියන්ගේ ගොදුරුබවට පත්වෙන්න පුළුවන්.ඒ නිසා මේ පිරිස් තවත් ණය උගුල්වල ගොදුරු බවට පත්වෙන්න පුළුවන්.

මේ නිසා නුපුහුණූ ශ්‍රමිකයන් සඳහා අර්ථවත්, කල්පවත්නා ආරක්ෂාවක් නිර්මාණය කිරීමට රජයයන්, ජාත්‍යන්තර සංවිධාන ,රාජ්‍ය නොවන, පෞද්ගලික අංශවල හා සංවිධානවල සාමුහික ප්‍රයත්නයක් ඉතාමත් වැදගත් . අධ්‍යපනික හා නිපුනතා සංවර්ධන වැඩසටහන් හදුන්වාදීමත් විදෙස්ගතවීමේදී ප්‍රවේශ මාර්ගයන් සම්බන්ධයෙන් දැනුම්වත් කිරිමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම මෙන්ම මුල්‍ය කළමනාකරණය සම්බන්ධයෙන් දැනුම අවබෝධය ලබාදීමත් නුපුහුණු ශ්‍රමිකයින් මුහුණ දෙන ගැටලු අවම කිරීම සදහා ඔවුන් සවිමත් කිරීමත් කළයුතුව තිබෙනවා.

ඉන්දික රොෂාන් ගරුසිංහ 

මෙම වාර්තාව 2023 සැප්තැම්බර් මස 18 දින ‘අද’ පුවන්පතේ ප්‍රකාශයට පත් කරන ලද වාර්තාවක උපුටනයකි.  

Hot this week

Survivors, sorrow, and the unyielding search in Nepal

On Sept.7, Nepali families performed the13th day funeral ituals...

Guide to Investigating Tech and AI in Modern Warfare 

When historians look back on the wars of the...

A Year After Nepal’s Uprising, Self-Immolations Test the State’s Promise of Change

Five people set themselves on fire in Nepal in...

Can’t sleep, feels drained? Extreme heat may be affecting your mental health

Speed Read Rising temperatures can disrupt sleep, increase fatigue and...

Applications now open for SAWM-SL digital equity AI training workshops

COLOMBO – Applications are now open for Digital Equity...

Topics

Survivors, sorrow, and the unyielding search in Nepal

On Sept.7, Nepali families performed the13th day funeral ituals...

Guide to Investigating Tech and AI in Modern Warfare 

When historians look back on the wars of the...

Can’t sleep, feels drained? Extreme heat may be affecting your mental health

Speed Read Rising temperatures can disrupt sleep, increase fatigue and...

Applications now open for SAWM-SL digital equity AI training workshops

COLOMBO – Applications are now open for Digital Equity...

“டிஜிட்டல்சமத்துவம் – செயற்கைநுண்ணறிவு ” பயிற்சிப் பட்டறைகளுக்கான விண்ணப்பங்கள் கோரல்

இலங்கை தெற்காசிய பெண்கள் ஊடக அமைப்பினால் ஏற்பாடு செய்யப்பட்டுள்ள இந்த பயிற்சிப்...

SAWM-SL ඩිජිටල් සමානාත්මතා AI පුහුණු වැඩමුළු සඳහා  අයදුම්පත් දැන් විවෘතයි

දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී...

The River Came at Nine

As of the morning of Sept. 3, the ninth...

Related Articles

Popular Categories