Wednesday, May 13, 2026
24.5 C
Colombo

ගැහැණුන් දෙදෙනෙක් – එකම ඉරණමක්: ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලේ පැටළී විදෙස්ගත වූ ඔවුන් අද

රදිකා ගුණරත්න   

පොළොන්නරුවේ පද්මලතා, සිය දියුණුව පිළිබඳ අභිමානවත් සතුටකින් කතා කරන්නීය. ‘‘ගමේ වාහනයක් තියාගෙන කාටවත් ණය නොවී ගෙයක් දොරක් හදාගෙන හොඳට ඉන්නෙ අපි‘‘ යැයි ඇය කියන්නීය. ‘‘අවුරුදු දාසයක් තිස්සේ දිගටම මැදපෙරදිග ගියා. මගෙම කියල ඉඩමක් අරන් ගෙයක් හදාගත්තා..‘‘

එහෙත් පොළොන්නරුවේ කාන්ති නිමාලිකා ගේ කතාව එයට වඩා බෙහෙවින් වෙනස් ය. ‘‘මට මේ ගෙදර ඔප්පුව බේරල දෙන්න පුළුවන් නම් බුදු බව අත්වෙනවා‘‘. ඇය විදෙස්ගත වීමෙන් සිදුව තිබෙන්නේ ණය බර වැඩි වීම පමණි. ‘‘අපිට කවුරුහරි හදි හූනියම් කරල. ඒක කපාගන්නවත් විදිහක් නෑ!‘‘

පද්මලතා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ගෘහ සහායිකාවක ලෙස පුහුණු සහතිකය ලබා විදේශගත වූයේ සැමියාගේ බීමත්කම, ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය සහ අත ළඟ එන ණය ව්‍යසනයෙන් ගැළවීම පිණිස ය. ඒ 2007 වසරයි. ක්ෂුද්‍ර මූල්‍ය අර්බුදය පොළොන්නරුවේ හිස ඔසවමින් තිබිණි.  ස්වයං රැකියාවක් සඳහා ඇය ලබාගත් කුඩා කණ්ඩායම් ණය, ස්වයං රැකියාවක් ඇරඹීමෙන් තොරවම සැමියා සහ දරුවන් වෙනුවෙන් වියදම් වී තිබිණි. ‘‘මට වෙන කරන්න දෙයක් තිබුණෙ නෑ. රට යන එක තමයි එකම උත්තරය වුණේ..‘‘

මේ අතර, පොළොන්නරුවේ කාන්ති නිමාලිකා 2011 වසරේදී ගෘහ සහායිකාවක ලෙස පුහුණු සහතිකය ලබා විදෙස්ගත වූවාය. ඒ වන විට ඇයට ණය ප්‍රශ්නයක් නොතිබුණු අතර, ඇය විදේශගත වූයේ නිවසක් තනා ගැනීම සඳහා මුදල් ඉපැයීම පිණිස ය.

‘‘මම රට ඉද්දි හම්බ කරන හැම දේම ගෙදරට එව්වා. ආපහු ලංකාවට එනකොට කිසිම ඉතිරියක් නෑ. යන්තම් ගේ හදන්න පටන් අරන් තිබුණ විතරයි.‘‘

එයින් දස වසරකට පසු 2021 වසරේදී කාන්ති නිමාලිකා නැවත වරක් විදේශ ගත වන විට ඇය ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලට හසු ව සිටියා ය. ඇය සිය පළමු ක්ෂුද්‍ර මූල්‍ය ණය මුදල 2015 වසරේදී ලබාගෙන තිබුණේ ඇඳුම් මැසීමේ ව්‍යාපාරයක් සඳහා ය. දෙවැනි තෙවැනි සහ සිව්වැනි ණය මුදල් ද එසේම ය. කිසිදු ව්‍යාපාර පුහුණුවක් හෝ නිපුණතා සංවර්ධනයක් ක්ෂුද්‍ර මූල්‍ය ආයතන ඇයට ලබාදුන්නේ නැත. ‘‘ගෙවල්වලට ඇවිත් කිව්වා, ව්‍යාපාරයක් කරනව කියල යෝජනාවක් ලියල දෙන්න කියලා. අපි කණ්ඩායම් විදිහට එක එක්කෙනාට ඇප වුණා.‘‘ 

මේ කාලය වන විට ‘කුඩා කණ්ඩායම් ණය‘ වශයෙන් කාන්තාවන් ඉලක්ක කරගෙන ස්වයං රැකියා සඳහා රුපියල් දස දහසේ සිට ලක්ෂ දෙක දක්වා විවිධ ප්‍රමාණවල ණය ලබාදීම මෙන්ම විවිධ හිංසාවන්ට ඔවුන් ලක් කරමින් ණය වාරික එකතු කිරීම ද ක්ෂුද්‍ර මූල්‍ය ආයතන විසින් සිදු කරමින් තිබිණි. 2018 වසරේ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ, මානව හිමිකම් සම්බන්ධයෙන් පුද්ගල ණය ඇති කරන බලපෑම පිළිබඳ කරුණු සෙවූ ජගත් සංවිධාන ස්වාධීන විශේෂඥ හුවාන් පාබ්ලෝ බොහොස්ලාව්ස්කි විසින් දැක්වූ ආකාරයට ණය වාරික ගෙවීමට කාන්තාවන් සිය වකුගඩු විකිණීමේ සිට ලිංගික අල්ලස් ලබාදීම දක්වා අර්බුදය ඔඩු දුවා තිබිණි.

විදෙස්ගත වන විට රුපියල් එක්ලක්ෂ අසූදහසක ණය බරක් කාන්ති නිමාලිකා හට තිබිණි. නිවසේ ඔප්පුව ද ලක්ෂ එකහමාරකට ඇපයට තබා තිබිණි.

‘‘මට ඕනෙ වුණේ මේ කරදරවලින් බේරිලා පුළුවන් තරම් ඉක්මනට රට යන්න!‘‘

කාන්තාවන්ගේ ක්ෂුද්‍ර මූල්‍ය ණය ප්‍රශ්නය වහල් බවේ නූතන ආකාරයක් 

2021 වසරේදී වහල්භාවයේ නූතන ආකාරය පිළිබඳ සොයාබැලීමට පත් කළ, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලයේ විශේෂ වාර්තාකරු තොමොයෝ ඔබොකාතා, ලංකාවේ ක්ෂුද්‍ර මූල්‍ය ගැටළුව, ‘අතිශය සමාජභාවීකරණයට ලක් වූ අංශයක්‘ (a highly gendered sector) ලෙස හඳුනාගත් අතර, ක්ෂුද්‍ර මූල්‍ය උගුලෙහි සිරවූ කාන්තාවන් ණය ගෙවීමට ගන්නා උත්සාහයන් ‘වහල් භාවයේ නූතන ආකාරයක්‘ වශයෙන් හඳුන්වා දුන්නේය.

‘‘මම හිටපු ගෙදර ගොඩක් වැඩ වැඩියි. පාන්දර වෙනකල් එක දිගට වැඩ. ළමයි පස් දෙනෙක්ගෙ වැඩ තනියම කරන්න ඕනෙ. පඩි අඩුවෙන් දුන්නෙ. ඊට පස්සෙ මාව අසනීප වුණා. මාව ඉස්පිරිතාලෙට අරන් ගියා. ඉස්පිරිතාලෙන් කිව්වා, මට වැඩ කරන්න සනීපයක් නැහැ කියලා. මට ලංකාවට එන්න ඕනෙ වුණා. ලංකාවෙ ඒජන්සියෙ මැඩම් කිව්වා, ගියා නම් ඉඳපන් කියලා‘‘ යැයි ද නිමාලිකා පැවසුවාය.

මූලික වශයෙන් ණය ප්‍රශ්නයෙන් පළා යාමේ අවශ්‍යතාවය මත, කාන්ති නිමාලිකා විදෙස්ගත වී තිබුණේ අනාරක්ෂිත ශ්‍රම සංක්‍රමණිකයෙකු ලෙස ය. පුහුණු සහතිකය අත තිබියදීත්, ඇයට රැකියා වීසාවලින් විදෙස්ගත විය හැකිව තිබියදීත් ඒජන්සිය ඇයව විදෙස්ගත කර තිබුණේ සංචාරක වීසාවලිනි.

‘‘අතට රුපියල් ලක්ෂ 5 ක් දෙනව කියපු එක ලොකු හයියක් වුණා. ඒකෙන් ගෙදර ඔප්පුව බේරන්න හිටියෙ. ඒත් මම රට ගියාට පස්සෙ මහත්තයට කතා කරල රුපියල් අසූදාහක් දීල තිබ්බා. ඉතිරි සල්ලි අලුත් පාස්පෝට් එක හදන්න වියදම් වුණා කියල කිව්වලු‘‘. කාන්ති නිමාලිකා පැවසුවාය.

විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී රට රැකියාවට ගියේ නම් පමණක් ඇයට රක්ෂණ ආවරණය ලබාගත හැකි ව තිබිණි. ආපසු පැමිණීමේ ගුවන් ටිකට්පත් සඳහා ඇගේ  සැමියා විසින් ණයට ලබාගත් ලක්ෂ දෙකක මුදලක් ඒජන්සිය වෙත ගෙවා තිබිණි.

අද වන විට නිමාලිකා නිතර නිතර රෝහල්ගත වෙයි. වකුගඩු රෝගය යැයි සැකකෙරෙන තත්වයක් නිසා කුලී වැඩකට පවා යාමට ඇයට නොහැකි ය. සැමියා මත්පැනට ඇබ්බැහි වී සිටියි. නිවසේ ඔප්පුව සින්නවීමට ආසන්න ය. අඩක් වැඩ නිම කළ එම නිවස ද බුන්වත් වූ ඔවුන් මෙන්ම ඔහේ බලා සිටියි.

සින්න වීමට ආසන්න බිඳුණු සිහිනය – කාන්ති නිමාලිකාගේ නිවස Photo Credit: Asanka Satharasinghe, Polonnaruwa

ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලෙන් බේරීමට මැදපෙරදිගට පළා ගිය කාන්තාවෝ

පද්මලතා මෙන්ම කාන්ති නිමාලිකා ද ජීවත් වන පොළොන්නරුව දිස්ත්‍රික්කය, උතුරු නැගෙනහිර හැරුණු විට ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර මූල්‍ය අර්බුදය පුපුරාගිය ප්‍රධාන දිස්ත්‍රික්කය විය. ක්ෂුද්‍ර මූල්‍ය ආයතන විසින් 30% සිට 220% දක්වා වූ අධිකතර සහ නියාමනයකින් තොරව ඉහළ වාර්ෂික පොලී අනුපාතික සමග මෙම ණය ලබා දෙමින් තිබිණි. ණය වාරික ගෙවාගත නොහැකිව 2020 වසර වන විට කාන්තාවන් සංඛ්‍යාව 100 දෙනෙකු පමණ සිය දිවි නසාගෙන ඇති බවට මාධ්‍ය වාර්තා පළ වූ නමුත් කිසිදු නිල පර්යේෂණයක් ද මේ සම්බන්ධව සිදු කෙරී නැත. ණය අර්බුදයෙන් පළා යාම පිණිස කාන්තාවන් කී දෙනෙකු විදේශගත වී තිබේ ද යන්න පිළිබඳ කිසිදු නිල සංඛ්‍යා ලේඛනයක් නොමැති අතර, එම දත්ත එක්රැස් කිරීමක් ද මෙතෙක් සිදුව නැත.

‘‘මං වගේම ණය වෙච්ච අපේ ගමේ ගෑණු කෙනෙක් ණය ගෙවාගන්න බැරුව වස බීලා අමාරුවෙන් ජීවිතේ බේරගත්තා. පස්සෙ ඒ පවුලම ගම දාල ගියා..‘‘ යැයි මේ සම්බන්ධයෙන් කාන්ති නිමාලිකා පවසයි.

ඇය ජීවත් වන පොළොන්නරුවේ ගණන්ගොල්ල ගම්මානය ක්ෂුද්‍ර මූල්‍ය ණය අර්බුදයට දැඩි සේ ගොදුරු වූ ගම්මානයක් වූ අතර එය පවුල් 430 කින් පමණ සමන්විත ය. ණය උගුලට හසු වූ පවුල් 18ක පමණ මව්වරු නැවත නැවතත් ගෘහ සහායිකාවන් ලෙස විදේශගත වෙමින් සිටිති. එසේ විදේශ රැකියාවේ යෙදී මේ වන විට ආපසු පැමිණ සිටින ක්ෂුද්‍ර මූල්‍ය වින්දිත කාන්තාවන් සංඛ්‍යාව 08 දෙනෙකි. මේ අනුව දළ වශයෙන් ගම්මානයේ පවුල්වල ණය බරෙන් පීඩිත කාන්තාවන්ගෙන් 6%ක පමණ ප්‍රතිශතයක් ක්ෂුද්‍ර මූල්‍ය අර්බුදය හේතුවෙන් විදේශගත වීම තෝරාගෙන තිබෙන අතර, එසේ විදේශගත වූ කාන්තාවන්ගෙන් 30%ක් පමණ ආපසු පැමිණ සිටිති.

‘‘අම්ම පැනල ගියාද කියල ණයකාරයො ඇහුවා!‘‘

‘‘එහෙ ඉද්දිත් මට හරියට ණය ප්‍රශ්නෙ මතක් වුණා. කොම්පැනිවල අය දවස ගාණෙ ගෙදර ඇවිත් අම්ම කෝ පැනල ගියාද කියල අහනවා කියල ළමයි කියනවා. මම එහෙදිත් හිටියෙ හරි පීඩනයෙන්‘‘ යැයි කාන්ති නිමාලිකා කීවාය.

ණය එකතු කිරීමට පැමිණෙන ක්ෂුද්‍ර මූල්‍ය ආයතන නියෝජිතයන් විසින් කාන්තාවන් ව කායික මෙන්ම මානසික ප්‍රචණ්ඩත්වයන්ට ද ලක් කරන බව ජගත් සංවිධාන ස්වාධීන විශේෂඥ පැබ්ලෝ බොහොස්ලාව්ස්කිගේ වාර්තාවේ දැක්වේ.

‘‘අපේ පුහුණු වැඩසටහන්වලදි අපි අනිවාර්යයෙන්ම මානසික සෞඛ්‍යය ගැන අවධානය යොමු කරනවා. අවශ්‍ය උපදෙස් දෙනවා‘‘ යැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පුහුණු වැඩසටහන් භාර නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සෙනෙරත් යාපා අවධාරණය කළේ ය.

එහෙත්  ක්ෂුද්‍ර මූල්‍ය ණය ගෙවාගත නොහැකිව විදේශගත වන සහ එසේ විදේශගත වී ආපසු පැමිණෛන කාන්තාවන් කෙරෙහි එහිදී විශේෂ අවධානයක් යොමු නොකෙරේ. 

විදෙස්ගත ශ්‍රමිකයන් ව සිට ආපසු පැමිණි වුන් සමාජයීය, ආර්ථික මෙන්ම මනෝවිද්‍යාත්මක ලෙස ද නැවත සමාජගත කිරීම (social, economic and physiological reintegration) ජාතික ක්‍රියාකාරී සැලැස්ම යටතේ සිදු කෙරෙන බව, ශ්‍රී ලංකාවේ වහල් සේවයේ නූතන ආකාර පිළිබඳ හෙළිදරව් කළ ජගත් සංවිධාන වාර්තාවට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා රජය 2022 වසරේදී සඳහන් කර තිබේ. නමුත් ප්‍රායෝගික තත්වය වෙනස් ය.

‘‘ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට මනෝ උපදේශන සේවාවන් වෙනුවෙන් උපදේශනවලට යොමු වෙන අය අතරේ රට ගිහින් ආපසු පැමිණි අය හෝ ක්ෂුද්‍ර මූල්‍ය උවදුර නිසා විදේශගත වී නැවත පැමිණි අය නැති තරම්.‘‘ යැයි සිය නම හෙළි නොකරන ලෙස ඉල්ලා සිටි පොළොන්නරු දිස්ත්‍රික්කයේ සේවයේ නියුතු විදේශ රැකියා සංවර්ධන නිලධාරිනියක පැවසුවා ය.

කාන්ති නිමාලිකාගේ නොගෙවූ ණය වෙනුවෙන් පවරා ඇති නඩු, ඇය නොමැතිව ඒකපාර්ශවිකව විභාග වන බවද එක් ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් නියෝජිතයෙකු ඇයට දැනුම් දී තිබේ. රෝගී තත්වය, ණය බර සහ පවුල් ප්‍රශ්න තුළින් ඇති වී තිබෙන මානසික වියවුල් බවක් හේතුවෙන් ඇයට එහි බරපතළකම නොවැටහෙනවා විය හැකි ය. ඇය නැවත නැවතත් කියන්නේ තමන් මේ තත්වයට පත් වුණේ කිසිවෙකු විසින් හූනියමක් කර ඇති නිසා බව ය.

කාන්ති නිමාලිකා සිය විදේශ ගමන් බලපත්‍රය අතැතිව සුසුම්ළන්නීය. Photo Credit: Asanka Satharasinghe, Polonnaruwa

ප්‍රතිලාභ ලැබුණු කෙනෙක් නැහැ!

කාන්ති නිමාලිකා  වැනි කාන්තාවන්ගේ හෙට දවස පිළිබඳව, 2008 වසරේදී පනවා ගැනුණු ‘නැවත පැමිණීම සහ සමාජගත කිරීම පිළිබඳ ජාතික ප්‍රතිපත්ති විධිවිධාන‘ (National Policy Provisions on Return and Reintegration The National Labour Migration Policy (2008) of Sri Lanka) සහ ඒ අනුව සකස් කර ගත් ජාතික ක්‍රියාකාරී සැලැස්ම අදාළ වේ. ශ්‍රී ලංකාව මෙබඳු ප්‍රතිපත්තියක් හිමි දකුණු ආසියාවේ එකම රට වන අතර, මෙයට අනුව මෙම කාන්තාවන් දෙදෙනාම ආපසු සිය රට බලා පැමිණි ශ්‍රමික සංක්‍රමණිකයන් යන පොදු කාණ්ඩය යටතේ  ප්‍රතිලාභ ලැබීමට සුදුස්සෝ වෙති. එම විධිවිධාන සහ ජාතික ක්‍රියාකාරී සැලැස්ම අනුව වසරකට වඩා වැඩි කාලයක් විදේශගත ව සිට ලංකාවට පැමිණෙන සංක්‍රමික ශ්‍රමිකයන් හට ලංකාවට පැමිණ වසර 5 ක් ඇතුළත ඉල්ලුම් කළ යුතු,  50,000 ක ස්වයං රැකියා ණයක් සහ අධ්‍යාපනයේ නියැළෙන දරුවන්ට රුපියල් දස දහසක පාසල් උපකරණ කට්ටලයක්  ද වේ.

‘‘අපි දැනට ප්‍රතිලාභ ලබාදෙමින් යනවා. ඒ වැඩකටයුතු ආරම්භ කරල තියෙන්නෙ.‘‘ යැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රකාශක (පුහුණු සහ බඳවා ගැනීම්) නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සෙනෙරත් යාපා පැවසුවේය. ‘‘පළාත් මට්ටමෙන් තොරතුරු එක්රැස් කර තිබෙනවා.‘‘

‘‘අපි නම් එහෙම දෙයක් ගැන දන්නෙ නෑ. අපිට කිසිම ප්‍රතිලාභයක් ලැබිලත් නෑ‘‘. යැයි කාන්ති නිමාලිකා පැවසුවා ය. 

‘‘එහෙම දෙයක් තියෙනව නම් ලොකු දෙයක්.‘‘ යැයි  පද්මලතා ද පැවසුවා ය. පද්මලතාගේ දැන් වයස අවුරුදු 43 කි. ආපසු පැමිණ – නැවත නොගොස් සමාජගත වීම පද්මලතා ට ඉක්මනින් හෝ කල් ගත වී හෝ කරන්නටම සිදු වේ. ‘‘මට හැමදාම මෙහෙම වැඩ කරන්න බෑ.‘‘ යැයි ඇය කීවාය. ‘‘ස්වයං රැකියා වැඩසටහනකින් හරි ප්‍රතිලාභ ලැබෙනව නම් ලොකු දෙයක්. මට මගෙ ව්‍යාපාරය වැඩිදියුණු කරගෙන දෙතුන් දෙනෙකුට රස්සා දෙන්නත් පුළුවන්‘‘. 

ඇය සඳහන් කරන ව්‍යාපාරය කුඩා සරුවත් කඩයකි. කෝවිඩ්-19 වසංගත සමයේ කෙටි කලකට නැවත පැමිණි ඇය, ලංකාවේ ස්ථාවර වීමට සිතා ඇරඹූ ‘එදා වේල සරිකර ගත හැකි‘ අන්දමේ කුඩා ආදායම් මාර්ගයකි. කෙසේ නමුත් අනතුරුව රටේ හටගත් දේශපාලන සහ ආර්ථික අර්බුද හමුවේ අද වන විට එය, ගෙදර අද්දර පාර අයිනේ ඇති ඉටි රෙදි ගැසූ මඩුවකට වැඩි යමක් නොවේ.

පද්මලතා ට ද ව්‍යවසායිකාවක වීමේ සිහිනයක් ඇත. මේ ඇගේ සරුවත් කඩයයි. Photo Credit: Asanka Satharasinghe, Polonnaruwa

මේ අතර, විදේශ රැකියා සංවර්ධන නිලධාරිනිය මෙසේ පැවසුවාය.

‘‘ප්‍රතිලාභ වැඩසටහනක් ක්‍රියාත්මක වන බව දන්නවා. නමුත් ප්‍රතිලාභ ලබාගත් කිසිම කෙනෙක් ගැන නම් අහල නෑ. එක සැරයක් එක කාන්තාවක් මී කිරි හට්ටි ව්‍යාපාරයක් කරන්න ස්වයං රැකියා ණයට ඉල්ලුම් කළා. මී කිරි හට්ටිවලට ණය ලබානොදෙන බව ඇයට දැනුම් දී තිබුණා. ‘‘

ප්‍රතිලාභ ලැබීම අයිතියක් නෙවෙයි!

GAATW (Global Alliance Against Traffic in Women) විසින් 2023 ජූලි මස කොළඹ දී ‘ශ්‍රී ලංකාවේ සිවිල් සංවිධාන සහ සංක්‍රමණික සංවර්ධන සමාජවල නියෝජිතයන්ගේ ඒකාබද්ධ ප්‍රකාශය‘ එළි දක්වනු ලැබිණි. ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගේ ‘ආරක්ෂිත සහ සාධාරණ ශ්‍රම සංක්‍රමණය‘ පිළිබඳ සිවිල් සංවිධාන ගණනාවක් සමග එක්ව සිදුකළ පර්යේෂණයක ප්‍රතිඵලයක් වන මෙහි, ආපසු පැමිණි පසු ලබාදිය යුතු අයිතිවාසිකම් අතර ආපසු පැමිණීම හා සමාජගත වීම පිළිබඳ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක අනු ප්‍රතිපත්තිය (Return and Reintegration Sub Policy) අනුව එම කාන්තාවන්ගේ නිපුණතා සංවර්ධනය මෙන්ම රැකියා හා ව්‍යවසායක අවස්ථා සඳහා ප්‍රවේශය ලබාදීම ද වේ.

මෙහිදී අදහස් දැක්වූ විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ මෙම අනු ප්‍රතිපත්තියේ දැක්වෙන්නේ සහායක පැකේජ මිස අයිතියක් ලෙස ලබාගත හැකි ප්‍රතිලාභ නොවන බවයි. 

GAATW ආයතනයේ ජාත්‍යන්තර සම්බන්ධීකාරක බන්දනා පට්නායක් එහිදී මෙසේ පැවසුවාය.

‘‘ආපසු පැමිණෙන සංක්‍රමණික කාන්තාවන්ට කිසිදු ප්‍රතිලාභයක් අයිතියක් ලෙස ලැබෙන බවට සහතිකයක් නැහැ.‘‘

ප්‍රතිලාභ සඳහා කෝටාවක් අවශ්‍යයි

ශ්‍රී ලංකාවේ සංක්‍රමණික කාන්තාවන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් කටයුතු කරන, කාන්තාව හා මාධ්‍ය සාමූහිකයේ වැඩසටහන් අධ්‍යක්ෂිකා (කාන්තාවන්ගේ ආර්ථික අයිතිවාසිකම් සහ මාධ්‍ය) ආචාර්ය සේපාලි කෝට්ටෙගොඩ මෙසේ පැවසුවාය.

‘‘විදෙස්ගත ශ්‍රමිකයන් බවට පත් වන කාන්තාවන්, උපයන මුදල් සම්පූර්ණයෙන්ම පාහේ තමන්ගේ පවුල්වලට එවනවා. ඔවුන් බොහෝ විට ලංකාවට එන්නෙ හිස් අතින්. එය, පැහැදිලිවම සමාජභාවීකරණය වූ ප්‍රතිචාරයක් (‘a gendered response’). අනෙක් කාරණය, හැම කෙනෙකුම ව්‍යවසායිකාවක් කරන්න බැහැ. රාජ්‍යයට මීට වඩා වගකීමක් ඔවුන් ගැන තිබෙනවා. ඔවුන් වෙනුවෙන් නව රැකියා නිර්මාණය කළ යුතුයි.‘‘

‘‘ක්ෂුද්‍ර මූල්‍ය ප්‍රශ්නය මේ පළාත්වල දැඩි සේ තිබෙනවා. ආපසු පැමිණවුන් සමාජගත කිරීමේ ප්‍රතිපත්තිය තුළ ණය උගුලට හසු වූ කාන්තාවන්ට විශේෂයක් කළ යුතුයි. ප්‍රතිලාභ සඳහා කෝටාවක් හඳුන්වා දිය යුතුයි‘‘. විදේශ රැකියා සංවර්ධන නිලධාරිනිය පැවසුවාය.

‘‘මට වෙච්ච දේ මගෙ පුතාට වෙන්න දෙන්නෙ නෑ‘‘- පද්මලතා

‘‘මේ ගම්මානවල ණය ප්‍රශ්නයත් එක්ක කාන්තාවන් නිපුණ ශ්‍රමිකයන් විදිහට විදේශගත නොවෙන තරම්. තරුණ ගැහැණු ළමයි අවුරුදු 16 වෙද්දි සාමාන්‍ය පෙළ කරලා, සමහර විට ඊටත් කලින් විවාහ වෙන ප්‍රවණතාවක් තියෙනවා, දරිද්‍රතාවය නිසාම. ඊට පස්සෙ ඔවුන් ණය වෙනවා. ණය ගෙවාගන්න බැරි වුණාම මැදපෙරදිග යනවා‘‘  යැයි සංවර්ධන නිලධාරිනිය පැවසුවාය.

කෙසේ නමුත් සංවර්ධන නිලධාරිනියගේ දැනුවත් කිරීම්වලින් පසුව නිපුණ ශ්‍රමිකයෙකු ලෙස විදේශ ගත වීමේ අවස්ථාව පිළිබඳ පද්මලතා දැන් සිතයි. නිපුණ ශ්‍රමිකයෙකු බවට පත්වීමට නම් අවම වශයෙන් ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) රාමුව යටතේ 3 වන මට්ටම හෙවත් NVQ Level 3 සැපිරිය යුතු වේ. තෘතියික සහ වෘත්තීය පුහුණු අධිකාරිය ඇතුළු ආයතන කිහිපයක් විසින් සපයනු ලබන මෙම ත්‍රෙමාසික සහතිකපත්‍ර පාඨමාලාව හැදෑරීමෙන් අනතුරුව ඇයට ජාත්‍යන්තර සුවසේවා අංශයේ care giver හෙවත් රැකබලාගන්නියක/ උපස්ථායිකාවක/ සාත්තුසේවිකාවක ලෙස කටයුතු කිරීමට හැකි වනු ඇත.

මේ අතර, ඇගේ 24 හැවිරිදි පුත්‍රයා නිපුණ ශ්‍රමිකයෙකු බවට පත් වී දකුණු කොරියාවේ සුරක්ෂිත රැකියාවකට යාම සඳහා වෙල්ඩින් වැඩ පාඨමාලාවක් හදාරමින් සිටියි. ‘‘මට හරි මහන්සියි. මම ආවෙ ලේසි ගමනක් නෙවෙයි. තවම මට ගේ වැඩ සම්පූර්ණ කරගන්නත් බැරි වුණා. ඒත් මගෙ පුතාට මට වෙච්ච දේවල් වෙන එකක් නැහැ‘‘  යැයි ඇය පවසයි.   

වසර 16 ක් අඛණ්ඩව විදේශ රැකියාවේ යෙදෙමින් පද්මලතා ඉදිකරගත් නිවස. එහි වැඩ කටයුතු තවම නිම නැත. Photo Credit: Asanka Satharasinghe, Polonnaruwa

මෙම වාර්තාව 2023 අගෝස්තු මස 22 දින Lanka News Web (LNW) වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් කරන ලද වාර්තාවක උපුටනයකි.

Hot this week

Sri Lanka Airbus probe shaken by ex-CEO’s death

Speed Read Ex-CEO of SriLankan Kapila Chandrasena found dead under...

Sri Lanka’s Treasury heist exposes gaps in debt management system and 24/7 security shield

Speed Read: A debt payment to Export Finance Australia was...

Sri Lanka hit by fuel storage capacity, not supply

Speed read Sri Lanka’s fuel system is constrained by limited...

Sri Lanka’s air quality crisis: where data gaps meet drifting pollution

Speed read In Sri Lanka, air quality consistently deteriorates between...

Toxic fallout: Mercury fears, substandard coal and a governance crisis converge at Norochcholai

Speed read Mercury(hg) concerns linked to substandard coal at the...

Topics

Sri Lanka Airbus probe shaken by ex-CEO’s death

Speed Read Ex-CEO of SriLankan Kapila Chandrasena found dead under...

Sri Lanka hit by fuel storage capacity, not supply

Speed read Sri Lanka’s fuel system is constrained by limited...

Sri Lanka’s air quality crisis: where data gaps meet drifting pollution

Speed read In Sri Lanka, air quality consistently deteriorates between...

GIJN Launches Global Academy of Investigative Journalism

The Global Investigative Journalism Network (GIJN) has launched the...

Easter 2019: A tragedy foretold and still unresolved

Seven years ago, on 21 April 2019, sun dawned...

Sri Lanka’s Bumpy Road to a Political Reset

Sri Lanka is navigating a fragile political transition following...

Related Articles

Popular Categories