Sunday, April 19, 2026
25.6 C
Colombo

රට ගිහින් හම්බකරගෙන ආවට පස්සේ අනාථ වන ජිවිත 

සෞදි අරාබියේ ගෘහ සේවිකාවක් ලෙස රැකියා කරන මහනුවර පදිංචි පෙරෝසා 50 හැවිරිදි තිදරු මවකි.

පළමු වරට අවුරුදු 18 දී මැදපෙරදිග ගෘහ සේවයට ඇය ගියේ ගෙදර ආර්ථිකයට හයියක් වීමේ අදිටන ඇතිවයි. දැනට අවුරුදු 20ක් පමණ රට රස්සාව කර ඇති ඇය අවුරුදු තුනකට වරක්වත් ලංකාවට පැමිණ තිබේ. ඒ සෑම අවස්ථාවක ම විශාල මුදලක් ද ගෙදරට අවශ්‍ය සුඛෝපභෝගි භාණ්ඩ ද රැගෙන ආවා ය. මේ වන විට පෙරෝසා ඉතා නවීන සුවපහසු නිවසක හිමිකාරියක් විය යුතු යැය ඔබට හිතුනත් අවාසනාවකට ඇය තවමත් ස්ථීර ලිපිනයක හිමිකාරිනියක් නම් නොවන්නී ය.

 “මම හැම පාර ම ලංකාවට ආවෙ ආයෙ යන්නේ නෑ කියල හිතාගෙන” පෙරෝසා අතීතය ආවර්ජනය කළා ය. මෙහි පැමිණ මාස කිහිපයකින් ඇගේ සියලු මුදල් වියදම් වී රැගෙන ආ භාණ්ඩ ද තුට්ටු දෙකට විකුණා දමා දෛනික වියදම පිරිමහගන්නට සිදුව ඇත. වටිනා කියන සියලු භාණ්ඩ විකිණීමෙන් පසු කුලී වැඩට යාමට සිදුවන ඇය නැවත විදෙස්ගත වන්නේ කිසිවෙකුගෙන් ලබාගන්නා ණය මුදලිනි. මේ ඇගේ ජීවන චක්‍රය වී තිබුණි.

PHOTO 2023 08 27 12 51 33

බන්ධනා පට්ටනයික්ඡායාරූපය – The Leader වෙබ් අඩවියෙනි.

නැවත සමෝධානය යනු ඕනෑම රටක විදෙස්ගත වූ ශ්‍රමිකයෙක් තම රටට නැවත පැමිණි පසු සමාජය තුළ සිය ජීවිතය ගොඩනගා ගැනීමට අවශ්‍ය මානසික, සාමාජීය, සංස්කෘතික, දේශපාලනික හා ආර්ථික වශයෙන සියලු පහසුකම් සම්පාදනය කර දීමයි. එලෙස විදෙස් රැකියා කර නැවත පැමිණෙන සංක්‍රමණික ශ්‍රමිකයන් සමාජගත කිරීමට අනර්ඝ වැඩපිළිවෙලක් බංගලාදේශය සහ නේපාලය ක්‍රියාත්මක කරන බවට කාන්තා වෙළඳාමට එරෙහි ගෝලීය සන්ධානයේ ජාත්‍යන්තර සම්බන්ධීකාරක බන්ධනා පට්ටනයික් ඉකුත් 04 වන දා කොළඹ පැවැති උත්සවයක දී පැවසුවා ය. දකුණු ආසියාවේ සංක්‍රමණික ශ්‍රමිකයන් සම්බන්ධයෙන් පවතින හොඳ ම ප්‍රතිපත්තිය ශ්‍රී ලංකාවට තිබුණත් එහි ප්‍රායෝගික ක්‍රියාකාරීත්වය ගැටලුසහගත යැයි ද ඇය වැඩිදුරටත් සිය කනසල්ල පළ කළා ය. 

ශ්‍රමික සංක්‍රණය පිළිබඳව ශ්‍රී ලංකාව 2008 වර්ෂයේ සකස් කළ ජාතික ප්‍රතිපත්ති මාලාවේ නැවත මව්රටට පැමිණෙනන් “නැවත සමෝධානය” කිරීම නොහොත් නැවත සංකලනය කිරීමට ආකර්ෂණීය යෝජනා කිහිපයක් ඇතුළත්. එහෙත් එකී නැවත සමෝධානය කිරීමේ යෝජනා අවම ප්‍රමාණයකින් හෝ ක්‍රියාත්මක නොවීම, පෙරෝසා වැනි දහස් ගණනක ශ්‍රම සංක්‍රමණිකයන්ගේ ජීවිත ව්‍යාකූල වීමට හේතුවී ඇත. 

අම්පාර දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක SWOAD නම් ප්‍රජා මූල සංවිධානයේ නියෝජිතයෙක් වන ලදන් කියා සිටින්නේ මෙරට නැවත සමෝධාන ප්‍රතිපත්ති ලියවිල්ලකට පමණක් සීමා වී ඇති බවයි. “බොහෝ දෙනෙක් රට යන්නේ, නැති බැරිකමට. රස්සාවකට ගිහිල්ල එන සමහරුන්ට නීතීමය උපකාර අවශ්‍ය වෙනවා, මනෝ සමාජ උපකාර අවශ්‍ය වෙනවා, සමහරුන්ට ආර්ථික ගැටලු තියෙනවා, සෞඛ්‍ය ගැටලු තියෙනවා. මේ හැම එකක් සම්බන්ධයෙන් ම හොඳ ප්‍රතිපත්ති ලියවිලිවල තියෙනවා. ඒ තියෙන ප්‍රතිපත්ති රජය ක්‍රියාත්මක කළොත් ගොඩක් ප්‍රශ්න විසඳෙනවා. නමුත් මේ කිසිවක් ක්‍රියාත්මක වෙන්නෙ නෑ. ඒකට මොකක් ද හේතුව කියල තේරෙන්නෙ නෑ.” 

1604726439 Sri Lankan migrant domestic workers L

ඡායාරූපය – The Leader වෙබ් අඩවියෙනි.


2008 වසරේ සම්පාදනය කළ ශ්‍රමික සංක්‍රමණය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියේ “සාර්ථක නැවත සමෝධානය වීමේ පරිසරය රජය විසින් ගොඩනැගිය යුතු ය” යනුවෙන් නැවත සමෝධානය කිරීමේ වගකීම රජයට පවතින බව පිළිගෙන තිබේ. ඒ වනවිට සංක්‍රමණය වන්නවුන් විසින් ප්‍රතිලාභ රාශියක් රටට ගෙනෙනු ලැබුවත් සමාජය තුළට සාර්ථක ලෙස සමෝධානය වීමට ඔවුන් ඉලක්ක කරගත් වැඩසටහන් කිසිවක් නොතිබුණු බව හඳුනාගෙන තිබුණි. එබැවින් ඉදිරියේ දී ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය විසින් ආපසු පැමිණෙන සංක්‍රමණික ශ්‍රමිකයන් සඳහා යාන්ත්‍රණයක් සැලසුම් කර ක්‍රියාත්මක කරනු ඇති බවත් එම වැඩසටහන මෙරටින් නික්ම යන අවස්ථාවේ දී සක්‍රිය වන බවත් ජාතික ප්‍රතිපත්තියේ විශේෂයෙන් දැක්වයි. එහිදි ඔවුන්ගේ කුසලතා හා ධාරිතාවන් ජාතික හා පෞද්ගලික සංවර්ධනය සඳහා යොදා ගැනීම යන පුළුල් අරමුණින් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරෙනු ඇතැයි අපේක්ෂා කර තිබේ.

Sustainable Reintegration නමින් 2022 වර්ෂයේ පළ වූ පර්යේෂණ වාර්තාවක මේ සම්බන්ධයෙන් වැදගත් කරුණු ගණනාවක් අනාවරණය කර තිබේ. ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියාතික රටවල් හතරක, මැදපෙරදිග ගෘහ සේවයේ නියැලී තම රටවලට පැමිණ සිටින කාන්තාවන් 467ක් යොදාගනිමින් කළ එම පර්යේෂණ නිගමනයේ දැක්වෙන්නේ ඔවුන්ගෙන් 70%ක් විරැකියාවෙන් පසුවෙන බවත් ඔවුන්ගේ පවුල් දැඩි ජීවන අරගලයකට මැදිව සිටින බවත් ය. උපන් රට වෙනුවෙන් විදේශ ප්‍රේෂණ ඉපැයීමට තම ජීවිතයේ හොඳම වයස නැතිනම් තරුණකම වෙනත් රටක ශ්‍රමය වැගිරීමට ගත කළ පිරිස් සිය වියපත් සමයේ විරැකියාවෙන් සහ අගහිඟකමින් බැටකෑම කොතරම් අභාග්‍යක් ද!

PHOTO 2023 08 27 12 51 34

ආචාර්ය චම්පිකා ධර්මදාසඡායාරූපය – The Leader වෙබ් අඩවියෙනි.

කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ආචාර්ය චම්පිකා ධර්මදාස නැවත සමෝධාන වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින් මෙසේ පෙන්වා දුන්නා ය. “ලංකාවෙ ගොඩක් දේවල් පොත්වල තිබ්බට ක්‍රියාත්මක වෙන් නෑ. වර්තමානයේ රටේ ආර්ථිකය විදේශ රැකියා මත බහුලව රඳා පවතින හින්දා නැවත සමෝධාන වැඩසටහන නිසි ලෙස ක්‍රියාත්මක කෙරෙනවා නම් හොඳයි.” 

මීට දශකයකට පෙර ජාතික ආර්ථිකයට දායක වූ ප්‍රධාන ක්ෂේත්‍ර අතර තේ, පොල්, රබර්, ඇඟලුම් මුල් තැන ගත්ත ද මේ වනවිට විදේශ ප්‍රේෂණ ඉපැයීමට තිබෙන ඉක්මන් සහ පහසු මාර්ගය විදේශ රැකියා අවස්ථා යන්නෙහි සැකයක් නැත. වාර්ෂිකව ශ්‍රී ලංකාවෙන් විදෙස්ගත වන ශ්‍රමික සංක්‍රමණිකයන් 225000කි. එමෙන් ම ලාංකිකයෝ මිලියන 1.7ක් විදෙස් රැකියාවන්වල නියැලෙති. විදෙස් රැකියා සඳහා ශ්‍රී ලංකාවෙන් පිටවන 92%ක ගමනාන්තය මැදපෙරදිග ය. ඉන් වැඩි දෙනා ඌණ කුසලතා සහිත ශ්‍රමිකයෝ ලෙස සලකනු ලැබෙති.

වසර 11ක කාලයක් මැදපෙරදිග ඇතුළු රටවල් කිහිපයක සේවය කර ඇති අනුරාධපුර පදිංචි ක්‍රිෂාන්ති දැනට තමාගේ ම ව්‍යාපාරයක් සිදු කරයි. “මං ජෝර්දානයේ හිටියා. මැලේසියාවේ හිටියා. සිංගප්පූරුවෙ හිටියා. මාලදිවයිනේ හිටියා. මුලින් යනකොට ගෘහ සේවිකාවක් විදිහටයි ගියේ. එතකොට ගෙදර ආර්ථික මට්ටමක් තිබුණෙ නෑ. ගෘහ සේවිකාවක් විදිහට ගිහිල්ල සල්ලි ටිකක් හොයාගෙන ඩිප්ලෝමා එකක් කරගෙන වෙන රස්සාවලට ගිය. ඊට පස්සෙ කරදර උන් නෑ. ඉඩමක් ගත්තා. ගෙයක් ගත්තා. ගෙදර වැඩ සම්පූර්ණ කරලා තමයි මං විවාහ වුණේ. මට දැන් බබාලා දෙන්නෙක් ඉන්නවා. මං සැලොන් එකක් දාලා තියෙනවා. ඇඳුම් මහනවා. ගෙදර පොඩි කඩයකුත් දාගෙන ඉන්නවා. මේ හැම දෙයක් ම කළේ රට ගිහින් ඉතුරු කරගත්ත සල්ලිවලින්” නැවත සමෝධාන වැඩසටහන නිසා තම ජීවිතයට ශක්තිමත් අඩිතාලමක් වැටුණු බව ක්‍රිෂාන්ති මහත්මිය විශ්වාස කරයි. 

නැවත සමෝධාන ක්‍රියාවලියේ වැදගත් අංශ දෙකක් වන කුසලතා වර්ධනය කරගැනීම සහ ව්‍යවසායකත්වයට යොමු වීම යන මානයන් දෙකෙන් ම සාර්තක වූ ශ්‍රමිකයෙක් ලෙස ක්‍රිෂාන්ති සැලකීම යුක්ති යුක්ත ය.

PHOTO 2023 08 27 12 51 33 3

හර්ෂ ජයරත්න ඡායාරූපය – The Leader වෙබ් අඩවියෙනි.

නමුත් විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නැවත සමෝධනය කිරීමේ වැඩසටහන හුදෙක් නාමමාත්‍රික යෝජනාවක් පමණක් යැයි සේෆ් පදනමේ විධායක අධ්‍යක්ෂක හර්ෂ ජයරත්න පෙන්වා දෙයි. “ලංකාවේ ප්‍රතිසංකලන ව්‍යාපෘතියෙන් සාර්ථක වූවන් ඉතාමත් අඩුයි. යම් සාර්ථක වුණ අයෙක් ඉන්නවා නම් ඒ ඔහු උපතින් ම ගෙනා හැකියාවක් නිසා සාර්තක උණ කෙනෙක්. ප්‍රතිසංකලන ක්‍රියාවලිය, කෙනෙක් රට යනවා කියල තීරණය ගන්න මොහොතේ සැලසුම් කරන්න ඕන දෙයක්. ඒත් මෙහෙ ගිහින් ආවට පස්සේ තමයි සාකච්ඡා කරන්නේ.”

සමෝධාන ක්‍රියාවලියට මෙරට විදේශ සේවා නියුක්ති කාර්යංශය සෑහීමට පත්විය හැකි තරම් වැඩකොටසක් නොකරන බවට බවට සිවිල් සංවිධාන චෝදනා කළත් කාර්යංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් මිහින්රාල් කාන්ත් ඒය ප්‍රතික්ෂේප කළේ. 

“ප්‍රී ඩිපාචර් ට්‍රේනිං අවස්ථාවේත් ප්‍රතිසංකලනය පිළිබඳ කොටසක් තියෙනවා. කොච්චර ඉතුරු කරන්න ඕන ද? කොච්චර රෙමිට් කරන්න ඕන ද. කාගෙ ගිණුමට ද රෙමිට් කරන්නේ යනාදිය ගැන කියා දෙනවා. මේ හැරෙන්න ඔවුන්ට කළමණාකරනය පිළිබඳ පුහුණුවකුත් තියෙනවා. ඒ වගේ ම අමාත්‍යංශයේ විදේශ සේවා සංවර්ධන නිළධාරීන් ඉන්නවා. ඔවුන් සෑම ප්‍රාදේශීය කාර්යාලයකට ම අනුයුක්තව වැඩ කරනවා. ඔවුනුත් මේ කාරණය ගැන කියා දෙනවා. Family Development plan යනුවෙන් සැලැස්මක් ඔවුන් සමඟ කතා කරලා සකස් කරනවා. ඒකෙ දි සැලසුම් කරනවා රැකියාව අවසන් කරල ආවට පස්සේ කරන්න යන දේ ගැන”

සංක්‍රමණික ශ්‍රමිකයන්ට නිසි පුහුණුව හා මගපෙන්වීම් ලබා දෙන බවට ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් පෙන්වා දුන්න ද අපට වාර්තා වූ සිදුවීම් කිහිපයක් ම පිළිබිඹු කළේ කාර්යංශය සිය වගකීම් පැහැර හැර ඇති බවයි. 

වසර 15ක් විදෙස්ගතව සිට පැමිණි කාන්තාවක් නිසි ලෙස සිය මුදල් කළමනාකරණය නොගත් නිසා ඈට අත් ව ඇති ඉරණම රඹෑව ප්‍රදේශයේ ප්‍රජා සංවිධාන නායිකාවක් වන රසිකා විස්තර කළා ය. ”අපේ ගමේ ඉන්නවා අවුරුදු 15ක් ම කුවේට්වල හොටෙල් එකක හිටපු කෙනෙක්. ඒ ඉඳලා ඇවිල්ලා සල්ලි නාස්ති කරලා අන්තිමට පොලියට සල්ලි දෙන්න ගත්තා ඒකෙන් ජීවත් වෙන්ඩ පුළුවන්නේ කියලා හිතාගෙන. අද පොලියත් නෑ. මොනවත් නෑ. අවුරුදු 15ක් රට හිටියා කියන්නත් බෑ. නැත්තට ම නැති වෙලා. කිසි කළමනාකරනයක් නැතිකම නිසා. දැන් එයාට අවුරුදු 60 පහුවෙලා නිසා ආයෙ යන්නත් බෑ.” නැවත සමෝධානය යනු උදෙක් ආධාර දීම පමණක් නොව මූල්‍ය විනය ඉගෙන්වීමත් එහි කොටසක් විය යුතු යැයි ආචාර්ය චම්පිකා ධර්මදාසගේ අදහසයි. “මේ වැඩසටහන මුදල් දීමට විතරක් ලඝු කරන්න බෑ. රට ඉඳන් උපයගෙන ආපු මුදල් කොහොම ද කළමණාකරණය කරගන්නෙ කියන පුහුණුවත් ලබා දිය යුතුයි. මේ කිසි දෙයක් කළත් වැඩක් නෑ නැවත සමෝධාන ක්‍රියාවලිය අවුරුදු දෙකකට වත් පසු විපරමක් කළේ නැත්තම්.”

maid in saudi arabia
ඡායාරූපය – The Leader වෙබ් අඩවියෙනි.

ශ්‍රමික සංක්‍රමණිකයන් පිළිබඳ ජාතික ප්‍රතිපත්තියේ නැවත සමෝධානය කිරීමේ දී සැලකිල්ලට ගතු යුතු වැදගත් කාරණා කිහිපයක් පිළිබඳව අවධානය යොමු කර තිබේ. නැවත සමෝධානය වීම සඳහා මග පෙන්වීම හා කුසලතා වර්ධනය, සේවා නියුක්තිය සඳහා විකල්ප අවස්ථා එනම් ක්‍ෂුද්‍ර මට්ටමේ ආයෝජන අවස්ථා, කුඩා හා මධ්‍ය පරිමාණ ක්‍ෂුද්‍ර ව්‍යවසායයන් සංවර්ධනය, ණය පහසුකම්, වෙළඳපල සහය ලබා දීම ආදිය විදේශ සේවා නියුක්ති කාර්යාංශය කළ යුතු කාර්යයන් ලෙස සලකා ඇත. ආපසු පැමිණෙන සංක්‍රමණික ශ්‍රමිකයන්ට කාර්යාංශය මගින් රැකියා අවස්ථා ද සොයා දීමට සහයෝගය දක්වන බව ද ඔවුන්ගේ තොරතුරු අදාළ පාර්ශ්වකරුවන් අතර බෙදා හරින බව ද තවදුරටත් දැක්වේ. සංක්‍රමණිකයන්ගේ ඉතුරුම් හා ආයෝජන සඳහා දැනට ක්‍රියාත්මක දිරි දීමනා, ණය ලබා ගැනීමේ පහසුව පිරිනැමීමත් පෙරලා පැමිණෙන කාන්තා හා පුරුෂ සංක්‍රමණික ශ්‍රමිකයන් විසින් ව්‍යවසායන් පටන්ගෙන සංවර්ධනය කිරීම වෙනුවෙන්, දිරි දීමනා ගෙවීම හා එයට ප්‍රචාරණයක් ලබා දීමත් නැවත සමෝධායනය කිරීමේ ක්‍රියාකාරී සැලැස්මේ කොටසක් සේ සලකා ඇත.

මිහින්රාල් කාන්ත් ප්‍රකාශ කරන්නේ නැවත සමෝධානයට අදාළව සංක්‍රමණික සේවකයෝ විදේශ රටවල උපයාගත් හැකියා භාවිතයෙන් මෙරට තුළ නව ව්‍යවසායක් ආරම්භ කිරීමට මූල්‍යයම සහාය පිරිනමන බවයි. “ප්‍රතිසංකලන ඒකකයෙන් ආධාර ලබා ගන්න ඕන නම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරියා හරහා ඉල්ලුම්පත් එවිය යුතුයි. එතකොට ඒකට අදාළ මුදල් කාර්යංශය නිදහස් කරන්නේ අදාළ ප්‍රාදේශීය ලේකම්ට.” උපරිම රුපියල් 50000ක වටිනාකමක් සහිත ද්‍රව්‍ය ව්‍යවසායක් ආරම්භ කිරීමට පිරිනැමේ. වර්තමාන මූල්‍ය වටිනාකමකට සමපාත වන ලෙස උපරිම මුදල ඉහළ දැමිය යුතු යැයි ආචාර්ය චම්පිකා ධර්මදාස අවධාරනය කළා ය. ව්‍යවසායන්ට යොමු කිරීමේ සැලැස්ම ධනාත්මක එකක් වුවත් සියලු සක්‍රිමණිකයන් ව්‍යවසායකයන් කිරීම ප්‍රායෝගික නොවනු ඇතැයි ඒ සම්බන්ධයෙන් තදින් විවේචන එල්ල කළ සේෆ් පදනමේ විධායක අධ්‍යක්ෂක හර්ෂ ජයරත්න කියා සිටියේ, “හැම කෙනෙක්ට ම ව්‍යාවසායකයෙක් වෙන්න පුළුවන් නම් රට යන්න කලින් ඒ 50000ක් දීලා ඔවුන් ව්‍යාවසායකයෙක් කරන්න තිබ්බා.”

PHOTO 2023 08 27 12 51 33 2

ඇන්ඩෘ සැමුවෙල්ඡායාරූපය – The Leader වෙබ් අඩවියෙනි.

මෙරට තුළ නැවත සමෝධාන ක්‍රියාවලිය නිසි ලෙස ක්‍රියාත්මක නොවීම හේතුකොටගෙන සංක්‍රමණික ශ්‍රමිකයෝ බරපතල ගැටලු රැසකට මුහුණ පා ඇතැයි පෙන්වා දෙන ප්‍රජා සංවර්ධන සේවා (CDS) ආයතනයේ විධායක අධ්‍යක්ෂ ඇන්ඩෘ සැමුවෙල් ශ්‍රම සංක්‍රමණිකයන්ගේ විරැකියා ගැටලුවට හේතු විස්තර කළේ ය. 

“මං හිතන් නෑ රජයට වැඩසටහනක් තියෙනවා කියලා විදෙස්ගත වෙලා පැමිණෙන ශ්‍රමික කාන්තාවන් රැකියාවේ නියුක්ත කිරීමට. ගෘහණියෝ විදිහට සංක්‍රමණය වූ ශ්‍රමිකයන්ට කුසලතා තියෙන නිසා හොටෙල් කළමනාකරණ ක්ෂේත්‍රය තුළ ඔවුන්ගේ හැකියා පාවිච්චි කරගන්න විශේෂයෙන් පෞද්ගලික අංශ සංචාරක කර්මාන්තයට පුළුවන්. එහෙම නැත්තම් හෙද කර්මාන්තයට දායක කරගන්න පුළුවන්. නමුත් එහෙම වැඩසටහන් ක්‍රියාත්මක වෙලා නෑ.” ඕනෑම රටක නැවත සමෝධාන ක්‍රියාවලිය තුළ අවධානය යොමු කෙරෙන මූලික ක්ෂේත්‍රය වන්නේ, නැවත පැමිණි සංක්‍රමිණික ශ්‍රමිකයන් රැකියාගත කිරීමයි. හොටෙල්, ඉදිකිරීම්, තොරතුරු තාක්ෂණය, කෘෂිකර්මාන්තය ඇතුළු පුළුල් ක්ෂේත්‍ර රැසක රැකියා කර නැවත පැමිණෙන්නන්ට ගැලපෙන රැකියා අවස්ථා හෝ ව්‍යවසාය අවස්ථා විවර කර දීමේ වගකීම රජයටත් පවතී යන්න ඇන්ඩෘ සැමුවෙල්ගේ ස්තාවරයයි. 

sri lankan domestic workers to be hired by aldurra 0 23 04 02 07 04 47

ඡායාරූපය – The Leader වෙබ් අඩවියෙනි.


සංක්‍රමණික ශ්‍රමිකයන් රැකියාගත කිරීමට විධිමත් වැඩපිළිවෙලක් රජයට නැතැයි සේෆ් පදනමේ හර්ෂ ජයරත්න ද චෝදනා කළේ ය. “සාමාන්‍ය ගෘහ සේවිකාවක් විදිහට ගිය කෙනෙක් ආයෙ එන්නේ උසස් ගෘහ සේවිකාවක් විදිහට අත්දැකීම් අරගෙන. එයාට ඕන නම් නැවත රට යන්න පුළුවන් RPL සහතිකයක් අරගෙන. එහෙම නැත්තම් ලංකාවේ හොඳ වැටුපක් අරගෙන සේවය කරන්න ඔවුන්ට කොහෙද ඉන්න පුළුවන් කියන සිතියමක් ලංකාවේ නෑ. කම්කරු දෙපාර්තුමේන්තුවට තියෙන්න ඕන එක් එක් ප්‍රදේශවල රැකියා ඉල්ලුම් පිළිබඳ යාවත්කාලීනව තොරතුරු. ශ්‍රමිකයෝ එද්දි ගේන කුසලතා මොනව ද කියල බලලා ඒකට රැකියා ඉල්ලුම මැච් කරන්න ඕන. නමුත් විදේශ සේවා නියුක්ති කාර්යාංශය ළඟවත් නැවත පැමිණීම පිළිබඳ තොරතුරු නෑ.” 

ආචාර්ය චම්පිකා ධර්මදාස ද හර්ෂ ජයරත්නට සමාන මතයක් ඉදිරිපත් කරමින් කියා සටින්නේ, “තනි පුද්ගලයෙක්ට අමාරුයි විදෙස්ගත වෙලා ගන්න හැකියාව ලංකාව තුළ ව්‍යවසායක් බවට පත් කරන්න. ඒකට රජයේ මැදිහත්වීම අවශ්‍යයි. කොරියාව වගේ රටවලට යන ශ්‍රම සංක්‍රමණිකයන් ලංකාවට ආවට පස්සේ ඔවුන්ගේ හැකියාව පාවිච්චි කරන්න පුළුවන් කර්මාන්ත හදන්න රජයට පුළුවන්. එයාල අරගෙන එන හැකියාවට සරිලන රැකියා වෙළඳපලක් හඳන්න රජය මැදිහත් වුණොත් විතරයි ඔවුන් ගේන හැකියාවෙන් රටට ප්‍රයෝජනයක් ලැබෙන්නෙ.” ඉකුත් කාලය පුරාවිදෙස් රැකියා වෙත මෙරට පුරවැසියෝ යොමු කිරීම දැඩි වෙහෙසක් රජය ගත්තේ ය. එනයින් ඒ හා සමාන පරිශ්‍රමයක් ඔවුන් නැවත මෙහි පැමිණෙනද්දි ඔවුන්ගේ ක්ෂේත්‍රවල ම රැකියාවක් ලබා ගැනීමට රැකියා අවස්ථාව උදා කර දීමේ වගකීමත් රජයට මිදිය නොහැකි ය.

නැවත සමෝධානය කිරීම හෙවත් ප්‍රතිසංකලනය උදෙක් ආර්ථික කාරණයක් පමණක් නොවේ, සාමාජීය හා මානසික සහාය අවශ්‍ය වන ශ්‍රම සංක්‍රමණිකයන්ට එම සහාය ලබා දීමත් ඉන් දැඩිව අපේක්ෂා කෙරේ. විදෙස්ගතව රැකියා කිරීමේ දී සිදුවන හදිසි අනතුරු ආදි ශාරීරික සෞඛ්‍ය ගැටලුවලට වන්දි ගෙවීම් වැනි ක්‍රමවේද පැවතියත් බහුලව සිදුවන මානසික සෞඛ්‍ය ගැටලු සම්බන්ධයෙන් ප්‍රමාණත් සැලකිල්ලක් යොමු වී නැතැයි යන්න ඇන්ඩෘ සැමුවෙල්ගේ නිරීක්ෂණයයි. “අපෙ රටේ අවධානය යොමු නොකෙරෙන ක්ෂේත්‍රයක් තමයි නැවත පැමිණෙන්නන්ගේ මානසික සෞඛ්‍ය ය. අපිට ඒක මගහරින්න බෑ. මොක ද ශාරීරික ආබාධවලට වඩා විශාල මානසික ආබාධ තියෙන අය ඉන්නවා. කාන්තාවෝ සේවා ස්ථානයේ අපයෝජනයට ලක්වෙනවා. පහර කෑම්වලට ලක්වෙනවා. ඒවා කාටවත් කියන්නෙ නෑ. තමන් තුළ ම තියාගෙන ඉන්නවා. ඒ නිසා ඔවුන්ට මනෝ උපදේශන ලබා දිය යුතු වෙනවා. ඔවුන් මුහුණ දුන්න දේවල්, කැළැල් වගේ දේවල් අමතක වෙන්න. මේ සම්බන්ධයෙන් රජය විතරක් නෙවෙයි සිවිල් සංවිධානත් අවධානය යොමු කළ යුතුයි.” 

PHOTO 2023 08 27 12 51 34 2

කමලා දේවි – වව්නියාව ඡායාරූපය – The Leader වෙබ් අඩවියෙනි.

මෙරට නැවත සමෝධාන වැඩසටහන පිළිබඳ කොතෙක් විවේචන පැවතියත් මේ වැඩසටහන නිසා විදෙස්ගත වී තම දිවියේ අසීරුම තැන් සාර්ථකව තරණය කළ කතුන් ද වෙති. එලෙස තම ජීවිතයේ කටුකම අවස්ථාවකට සාර්ථකව මුහුණ දීමට තමා උපයාගත් මුදල යෙදූ කාන්තාවක් වව්නියාවෙන් අපට හමුවූවා ය. නමින් කමලා දේවි වන ඇය දෙදරු මවකි. “මං වැඩට ගියේ බඳින්න කලින්. අවුරුදු 07ක් රට හිටියා. අම්මා තාත්තා ඒ සල්ලි වියදම් කළේ නෑ. උපයපු දේවල් ඉතුරු කරගත්තා. ඉඩම් ගත්තා. රත්තරං ගත්තා. මීට අවුරුදු තුන හතරකට කලින් මට කැන්සර් හැදුනා. මං ජීවත් වුණොත් ආයෙ උපයන්නත් පුළුවන් නිසා ඒ සල්ලි සියල්ල ඒකට වියදම් කළා. මොක ද පොඩි ළමයි දෙන්නෙකුත් මට ඉන්න නිසා.” කමලා දේවි හැඟීම්බර වූවා ය.

Lebanon domestic worker 970x500 1

ඡායාරූපය – The Leader වෙබ් අඩවියෙනි.


ගෝලීය ශ්‍රම සංක්‍රමණිකයන්ගෙන් 10%ක් තරම් විශාල ප්‍රමාණයක් දකුණූ ආසියාව නියෝජනය කරති. එබැවින් දකුණු ආසියානු රටවල් දෙකක් වන බංගලාදේශය සහ නේපාලය පිළිවෙලින් 2018 සහ 2022 වර්ෂවල තිරසාර නැවත සමෝධායන වැඩසටහන් ආරම්භ කර ඇත. තම ආර්ථිකයට සැලකිය යුතු විදේශ ප්‍රේෂණ සංක්‍රමණික ශ්‍රමිකයන්ගෙන් ලැබෙන බැවින් ඔවුන් නැවත මව් රටට පැමිණි පසුව තම සමාජය තුළ ආර්ථික, සාමාජීය, දේශපාලන හා සංස්කෘතික වශයෙන් අනුගත කිරීම පහසුකම් සැපයීම එම වැඩසටහන්වල ඉලක්ක වෙයි. මෙම ව්‍යාපෘති දියත් කිරීම සඳහා ජාත්‍යන්තර සංවිධාන සහ ස්විට්සර්ලන්තය ආදි දියුණු රටවල් හා ඒකාබද්ධ ව්‍යාපෘති දියත් කිරීමට නේපාල රජය සහ බංගලාදේශ රජය කටයුතු කර තිබේ. එබැවින් කලාපයේ සාර්ථක නැවත සමෝධාන ක්‍රියාවලිය සහිත රටවල් බවට නේපාලය හා බංගලාදේශය පත්ව ඇත.

කෙසේ නමුත් මෙරට ක්‍රියාත්මක නැවත සමෝධාන ක්‍රියාවලිය දෙස සමස්තයක් ලෙස බැලීමේ දී අපට හැඟෙන්නේ එය ඵලදායි ලෙස ක්‍රියාත්මක වී නැති බවයි. ශ්‍රම සංක්‍රමණය පිළිබඳව මෙරට ක්‍රියාත්මක සිවිල් සංවිධාන හා ප්‍රජා සංවිධාන පමණක් නොව ශ්‍රමික සංක්‍රමණිකයන් ද නැවත සමෝධාන ක්‍රියාවලියේ තිබිය යුතු කිසිඳු අංගයක් ලංකාවේ සාධනීය ලෙස ක්‍රියාත්මක නොවන බවට චෝදනා කරති. නේපාලය හා බංගලාදේශයට වඩා නැවත සමෝධානය පිළිබඳ සාධනීය ප්‍රතිපත්ති හා සැලසුම් ලංකාවට ඇතත් ඒවා ක්‍රියාවට නැගීමට නොහැකි වීම පිළිබඳ නැවත සම‍ාලෝචනය කළ යුතු ය. මන්දයත් මෙරටින් විදෙස්ගත වන පිරිස ඉතා වේගයන් ඉහළ යාමත් රටේ ආර්ථිකයේ ප්‍රධාන පංගුකාරයන් බවට විදේශ ශ්‍රමිකයන් පත්ව සිටීමත් හේතුවෙනි. එනයින් ඉදිරි අනාගතයේ නැවත සමෝධාන ක්‍රියාවලිය සමාලෝචනය කර ක්‍රමවත් වන්නේ නම් නිසැකව පෙරෝසා වැනි අහින්සක මව්වරුන්ගේ ජීවිත අකාලයේ පරවී නොයනු ඇති.

සකීෆ් සාම්

මෙම වාර්තාව 2023 අගෝස්තු මස 27 දින ‘අනිද්දා’ පුවන්පතේ ප්‍රකාශයට පත් කරන ලද වාර්තාවක උපුටනයකි.  

Hot this week

AI Tools & Social Norms are Making the Internet Unsafer For Women

As generative AI usage rises in India, image, video,...

Energy minister under fire as NPP confronts first no-confidence motion over corruption charges

COLOMBO – Sri Lanka’s ruling National People’s Power (NPP)...

Six extraordinary stories on intangible losses due to climate change

There are many climate change stories but those that...

From maritime tensions to economic recovery: Can Sri Lanka navigate the next decade?

Speed Read: Sri Lanka’s relationship with neighboring India remains central...

Holding the Power of Big Tech Accountable

by Sandrine Rigaud • March 24, 2026 Editor’s Note: This is the...

Topics

AI Tools & Social Norms are Making the Internet Unsafer For Women

As generative AI usage rises in India, image, video,...

Energy minister under fire as NPP confronts first no-confidence motion over corruption charges

COLOMBO – Sri Lanka’s ruling National People’s Power (NPP)...

Six extraordinary stories on intangible losses due to climate change

There are many climate change stories but those that...

From maritime tensions to economic recovery: Can Sri Lanka navigate the next decade?

Speed Read: Sri Lanka’s relationship with neighboring India remains central...

Holding the Power of Big Tech Accountable

by Sandrine Rigaud • March 24, 2026 Editor’s Note: This is the...

Counter narratives and tackling harmful content

Ove the past year, the Center for Investigative Reporting...

Sri Lanka’s missing tuberculosis patients: 5,000 cases annually go undetected

Speed Read: Up to 5,000 tuberculosis patients annually go undetected...

Section 377: A Colonial-Era Law That Still Governs Queer Lives in Asia

by Shivansh Srivastava. Introduced during British rule, Section 377 and...

Related Articles

Popular Categories