Monday, June 8, 2026
24.5 C
Colombo

ව්‍යාජ පුවත් මැවුණු පූනානි කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සැබෑ කතාව

ඉරානයේ ඡායාරූපයක් පූනානි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ලෙස සමාජ මාධ්‍යවල හුවමාරු වෙයි.

පූනානි මධ්‍යස්ථානයේ ධාරිතාවය ගැන මාධ්‍ය වාර්තා කළ දත්ත වැරදියි.

පූනානි මධ්‍යස්ථානයේ ධාරිතාවය දාහයි – සෞඛ්‍ය අංශ හා යුදහමුදාව තහවුරු කරයි.

දැනට ලංකාවේම කොවිඩ් ප්‍රතිකාර ස්ථානවල ධාරිතාවය දහදාහයි.

පසුගිය ඔක්තෝබර් මාසය අවසානය වන විට මෙරට කොවිඩ්-19 ආසාදිතයින්ගේ සංඛ්‍යා ඉහළ යද්දී කොවිඩ් ප්‍රතිකාර සඳහා වෙන් කර තිබූ රෝහල් ධාරිතාවය ද ඉක්ම යෑමට ආසන්න තත්ත්වයක වන බව මෙරට සෞඛ්‍ය අංශ වාර්තා සඳහන් කළේය. දෛනිකව වාර්තා වෙමින් පැවති රෝගීන් සංඛ්‍යා ද සීග්‍රයෙන් ඉහළ යද්දී රෝහල් ධාරිතාවය ඉක්ම යෑමෙන් රට මුහුණ දීමට ඉඩ තිබූ අර්බුදය හමුවේ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍ය ජාල තුළ ද ඒ පිළිබඳ සංවාදයක් ගොඩනැගෙමින් තිබුණේය. (http://bitly.ws/aMZE, http://bitly.ws/aMYC, http://bitly.ws/aMZC, http://bitly.ws/aMZD, http://bitly.ws/aMZG, http://bitly.ws/aMZH, http://bitly.ws/aMZL, http://bitly.ws/aMZM) මඩකලපුව දිස්ත්‍රික්කයේ පූනානි හි පිහිටා ඇති පෞද්ගලික විශ්වවිද්‍යාලයක් තුළ කොවිඩ්-19 රෝගීන්ට ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට රජය කටයුතු කරන්නේ එවන් පසුබිමක් තුළය. එහෙත් කොවිඩ් ආසාදිතයන් සඳහා වන රෝහල් ධාරිතාවය ඉක්ම යෑමේ පුවතෙන් ටික දිනකට පසු මෙම නව ප්‍රතිකාර මධ්‍යස්ථානය ආරම්භ කිරීමේ පුවත ද වාර්තා වුවත් විවිධ මාධ්‍ය එම පුවත විවිධ ආකාරයෙන් වාර්තා කර තිබූ අතර දක්වා තිබූ ඇතැම් කරුණු ද පරස්පර විරෝධී බව නිරීක්ෂණය වූයේය.

අවදානම හමුවේ විවිධ පුවත්

රෝහල් ධාරිතාවය ඉක්මයෑමේ අවදානමකට මුහුණ දෙමින් සිටි පසුබිමක පූනානිවල පිහිටි පෞද්ගලික විශ්විද්‍යාලයේ කොවිඩ් අසාදිතයන් 1200කට ප්‍රතිකාර ලබා ගත හැකි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ආරම්භ කර ඇති බව 2020 ඔක්තෝබර් 28 දින මාධ්‍ය වාර්තා පළ වී තිබුණේය.(http://bitly.ws/aMZR, http://bitly.ws/aMZT) නැවත නොවැම්බර් මාසයේ 07වන දින ඇතැම් රජයේ මාධ්‍ය ද ඇතුලුව විවිධ මාධ්‍ය වාර්තා කරන්නේ කොවිඩ්-19 ආසාදිතයන් 2200කට පහසුකම් සහිතව ප්‍රතිකාර මධ්‍යස්ථානයක් පූනානිවල පිහිටි පෞද්ගලික විශ්වවිද්‍යාලය තුළ ආරම්භ කළ බවය. එහි වීඩියෝ දර්ශන හා ඡායාරූප ද එම පුවත සමග ප්‍රචාරය වී තිබුණේය. (http://bitly.ws/aMGF, http://bitly.ws/aMFv) ඒ සමග ඇතැම් සමාජ මාධ්‍ය ද මේ පුවත වාර්තා කරන්නේ ඡායාරූප ද යොදා ගනිමිනි. කොවිඩ් රෝගීන් 2200කට පහසුකම් ඇති නව වාට්ටු සංකීර්ණයක් සහිතව පූනානිවල එම විශේෂ ප්‍රතිකාර රෝහල ඉදිව ඇති බවට සඳහන් වූ ඒ බොහෝ ෆේස්බුක් පොස්ට්වල එම රෝහලේ බවට හැඟවෙන පරිදි ඡායාරූපයක් ද යොදා තිබූ අතර එය සිදුවීමට අදාල ඡායාරූපයක් ද යන්න පිළිබඳව සැක උපදවන සුළු වූයේය. ඒ ඇතැම් පොස්ට්ස් සඳහා බොහෝ දෙනා ප්‍රතිචාර ද එක් කර තිබූ අතර තවත් බොහෝ දෙනා බෙදා හැර තිබෙනු ද නිරීක්ෂණය වූයේය. (http://bitly.ws/aMFy, http://bitly.ws/aMFu, http://bitly.ws/aN2k, http://bitly.ws/aN2o)

පූනානි ප්‍රතිකාර මධ්‍යස්ථානය ද?

මූලික වශයෙන් නිරීක්ෂණයේ දී එහි ගෘහ නිර්මාණ ලක්ෂණ ද විශ්වවිද්‍යාල ගොඩනැගිල්ලක් තුළ නොවිය හැකි බවට වූ සැකය මත සමාජ මාධ්‍ය තුළ පළ වූ මෙම ඡායාරූපය සම්බන්ධයෙන් කරුණු පිරික්සීම ඇරඹෙන්නේය. එබැවින් තවදුරටත් ඡායාරූපවල කරුණු පරීක්ෂා කිරීමේ මෙවලම් (Revers Image Search)  භාවිතයෙන් එම ඡායාරූප පරීක්ෂාවට ලක් කළෙමු. එහි දී අනාවරණය වන්නේ පූනානි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඡායාරූපයක් ලෙස හැඟවෙන පරිදි හුවමාරු වූ ඡායාරූපය එම ප්‍රතිකාර මධ්‍යස්ථානයේ හෝ මෙරට සිදුවීමකට අදාල වූවක් නොවන බවය. එම ඡායාරූපය ජාත්‍යන්තර මාධ්‍ය ආයතනයක් වන AP ප්‍රවෘත්ති මාධ්‍ය ජාලයේ 2020 මාර්තු 26 දින පළ වූවක් බව ඉන් අනාවරණය වූයේය.

එහි දැක්වෙන්නේ කොවිඩ්-19 රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමට ඉරාන හමුදාව විසින් ඇඳන් 2000ක් සහිතව ඉරානයේ උතුරු ටෙහෙරාන් හි ජාත්‍යන්තර ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ තාවකාලිකව පිහිටුවන ලද ප්‍රතිකාර මධ්‍යස්ථානයකි. අදාල ඡායාරූපය ගෙන තිබුණේ Ebrahim Noroozi නම් ඡායාරූප ශිල්පියා වසින් වන අතර ඔහු එම ස්ථානයේම වෙනත් කෝණ වලින් ලබා ගත් තවත් ඡායාරූප ද එහි ම පළව තිබුණේය. (https://apnews.com/article/7ccd8d06071ac5d005b633a70d291092, http://bitly.ws/aMFv, http://bitly.ws/aMFM , http://bitly.ws/aMFK)

ඡායාරූපවල කරුණු පරීක්ෂා කිරීමේ මෙවලම් කීපයක් භාවිතයෙන් මෙම ඡායාරූපය පරීක්ෂා කිරීමේ දී ඉරාන  පුවත් වෙබ් අඩවි හා තවත් ජාත්‍යන්තර මාධ්‍ය ආයතන ගණනාවක් මෙම පුවත වාර්තා කර තිබූ අයුරු සහ විවිධ ඡායාරූප ශිල්පීන් විවිධ කෝණ වලින් එම ස්ථානය කාචයට හසුකරගෙන ඇති ආකාරය නිරීක්ෂණය වූයේය. (https://www.nytsyn.com/images/photos/2008961.html, https://southasiapost.com/2020/04/01/iran-devastated-by-coronavirus-says-u-s-sanctions-are-taking-lives/, http://bitly.ws/aMJU) ඒ අනුව තවදුරටත් ගවේශනය කිරීමේ දී එම රෝහල මුල සිටම ඉදිවූ ආකාරය පෙන්වන වීඩියෝවක් (Time lapse video) ඉරාන රජය යටතේ පාලනය වන ජාත්‍යන්තර මාධ්‍ය ආයතනයක් වන Presss TV හි සත්‍යාපනය කරන ලද (verified) ට්විටර් ගිණුමේ ප්‍රචාරය වී ඇති බව ද නිරීක්ෂණය වූයේය. (https://twitter.com/i/status/1242854557497151489) ඊට අමතරව ඒ සම්බන්ධයෙන් එරට බලධාරීන් සිදුකරන ප්‍රකාශ සමග එහි වීඩියෝ දර්ශන යූටියුබ් හරහා ද ප්‍රචාරය වී තිබුණි. ( https://www.youtube.com/watch?v=jVK0MlQUdwU)

මේ සියලු කරුණු සොයාබැලීම් අනුව තහවුරු වන්නේ මෙම ඡායාරූපය ශ්‍රී ලංකාවේ මඩකලපුව දිස්ත්‍රික්කයේ පූනානි හි පිහිටා ඇති පෞද්ගලික විශ්වවිද්‍යාලයේ ඉදිකරන ලද කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් නොවන බවත් එම ඡායාරූප ව්‍යාජ ලෙස මෙරට සිදුවීමට අදාලව භාවිතා කර ඇති බවත්ය. පූනානි වල පිහිටා ඇති පෞද්ගලික විශ්වවිද්‍යාලය පසුගිය කාලයේ ආන්දෝලනයට තුඩු දුන් ආයතනයක් වූයේය. මෙරට තවත් කොවිඩ්-19 ප්‍රතිකාර මධ්‍යස්ථාන ආරම්භ වුව ද ඒවා වෙනුවෙන් මෙතරම් මාධ්‍ය ප්‍රචාරයන් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය තුළ හෝ සමාජ මාධ්‍ය තුළ වූයේ නැත. එමෙන්ම කොවිඩ් ආසාදිතයින් සඳහා වෙන් කර තිබූ රෝහල් ධාරිතාවය ඉක්ම යමින් තිබූ බව මාධ්‍ය විසින් වාර්තා කර තිබූ බැවින් මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානය ආරම්භ කිරීමේ පුවතට වැඩි ප්‍රචාරයක් ලබා දීමට හා ඊට වැඩි අවදානයක් යොමු කර ගැනීමට මෙම ඡායාරූපය යොදා ගත් බව පෙනී යන්නේය. එමෙන්ම මෙම ඡායාරූපය පුවත සමඟ පළ කර තිබූ එක් ෆේස්බුක් පිටුවක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුගේ නමින් පවත්වාගෙන යන්නක් වූ අතර ඇතැම් ගිණුම් එම පක්ෂයට සහාය සඳහා පොස්ට් පළ කරන්නන්ගේ බව ද නිරීක්ෂණය වූයේය. ඊට අමතරව තම ෆේස්බුක් පිටුවලට වැඩි පිරිසකගේ අවදානය යොමු කරගැනීමේ අරමුණින් විවිධ පුවත් ඉතා ඉක්මනින් පළ කිරීමට උත්සාහ ගන්නා ෆේස්බුක් පිටු ද මෙම පුවත ව්‍යාජ ඡායාරූපයම යොදා ගනිමින් පළ කර තිබුණේය.

ධාරිතාවය කොපමණ ද?

කොවිඩ් අසාදිතයන් සංඛ්‍යා සීග්‍රයෙන් ඉහළ යෑමත් සමග පසගිය ඔක්තෝබර් මාසය අවසානය වන විට රෝහල් ධාරිතාවය ඉක්ම යමින් තිබීමත් ඊට මාධ්‍ය අවදානය දැඩි ව යොමු වී තිබීමත් සමග පූනානි විශ්වවිද්‍යාලය තුළ නව ප්‍රතිකාර මධ්‍යස්ථානය ඉදි කළ බව රජය නිවේදනය කර තිබුණේය. ඉදි කළ ප්‍රතිකාර මධ්‍යස්ථානයේ රෝගීන් 1200කට පහසුකම් සපයා ඇති බව ඔක්තෝබර් මස අවසානයේත් පසුව නොවැම්බර් මුල දී 2200කට පහසුකම් ඇති බවත් විවිධ මාධ්‍යවල ප්‍රචාරය වූ අතර මෙවැනි ව්‍යාජ ඡායාරූප ද පළ වූ බව අනාවරණය වීමත් මත අපි එහි සත්‍ය අසත්‍යතාවය අදාල අංශ වලින් විමසා බැලීමු.

ශ්‍රී ලංකා යුද හමුදාව පූනානි කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය සූදානම් කිරීම වෙනුවෙන් දායක වී තිබූ බැවින් එහි පවතින ධාරිතාවය සම්බන්ධයෙන් අපි යුදහමුදා මාධ්‍ය අංශයෙන් විමසූ අතර ඔවුන්ගේ පිළිතුර වූයේ එහි කොවිඩ් ආසාදිතයන් 1000කට ඇඳන් ධාරිතාවය තිබෙන බවය. එසේ වුව ද මාධ්‍යවල පළ වූ සංඛ්‍යා වෙනස් වීම සම්බන්ධයෙන් කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුදහමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගෙන් විමසීමට උත්සාහ කළ අතර ඔහු සම්බන්ධ කරගැනීමට නොහැකි වූයේය. මාධ්‍යවල පසුගිය දිනවල පූනානි විශ්වවිද්‍යාලයේ ධාරිතාවය සම්බන්ධයෙන් විවිධ සංඛ්‍යා පළ වූ බැවින් එහි නිවැරදි ධාරිතාවය කුමක් දැයි අපි සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා) වෛද්‍ය ලාල් පනාපිටියගෙන් ද විමසුවෙමු. ඔහු සඳහන් කළේ, එහි ධාරිතාවය 1000ක් දක්වා වැඩි කිරීමේ හැකියාව පවතින නමුත් ඊට අඩු සීමාවක  එම මධ්‍යස්ථානය පවත්වාගෙන යන බවය. එහෙත් පූනානි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ධාරිතාවය 1200 බවත් පසුව 2200 ලෙසත් වාර්තා වී තිබීම සම්බන්ධයෙන් හා සමාජ මාධ්‍යවල වූ ව්‍යාජ ප්‍රචාරයන් සම්බන්ධයෙන් විමසූ විට ඔහු පැවසුවේ විශ්වවිද්‍යාලයක් තුළ එවැනි සංඛ්‍යාවකට රැඳී සිටීමේ ඉඩ පැවතුනත් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන යෑමේ දී අවශ්‍ය දුරස්ථභාවයත් අනෙකුත් වෛද්‍ය හා සේවාවන් හි ධාරිතාවයත් සැලකූ විට එවැනි රෝගීන් සංඛ්‍යාවකට පූනානි ප්‍රතිකාර මධ්‍යස්ථානය තුළ පහසුකම් සැපයිය නොහැකි බවය. ඒ අනුව අනාවරණය වන්නේ සමාජ මාධ්‍ය ජාලවල පළ වූ ඡායාරූපය ව්‍යාජ එකක් වූවා පමණක් නොව බොහෝ මාධ්‍ය විසින් පූනානි ප්‍රතිකාර මධ්‍යස්ථානය සම්බන්ධයෙන් වාර්තා කර තිබූ සංඛ්‍යා දත්ත ද සැබෑ ලෙසම එහි පවතින දත්ත වලට වඩා වෙනස් බවය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ කොවිඩ් සම්බන්ධයෙන් වන දෛනික වාර්තාවලට පූනානි ප්‍රතිකාර මධ්‍යස්ථානය එක්ව තිබුණේ 2020.10.28 දින සිට වන අතර එහි ප්‍රතිකාර ලබමින් සිටින රෝගීන් සංඛ්‍යාව සෑම විටම දහසකට අඩු සංඛ්‍යාවක් විය. ඔක්තෝබර් 28 දින වාර්තාවට අනුව එහි කොවිඩ් රෝගීන් 250ක් ප්‍රතිකාර ලබමින් සිට ඇති අතර 2020 දෙසැම්බර් 13 වන දින පෙ.ව 10 වන විට පුනානි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටින කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 646ක් බව එම වාර්තා දක්වයි. එමෙන්ම වසංගත රෝග විද්‍යා අංශයේ දත්ත වලට අනුව දෙසැම්බර් 13 පෙ.ව. 10 වන විට කොවිඩ් රෝගීන් 8193ක් දිවයින පුරා පිහිටි කොවිඩ් ප්‍රතිකාර රෝහල් හා මධ්‍යස්ථාන 62ක ප්‍රතිකාර ලබමින් සිටී.

වැඩබලන නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් දැනට මෙරට කොවිඩ් රෝගීන් සඳහා වන රෝහල් ධාරිතාවය පිළිබඳ දැක්වූයේ මෙවන් අදහසකි. “පසුගිය කාලයේ සිට රෝගීන් වාර්තා වීම වැඩි වීමත් සමග විවිධ ස්ථානවල ප්‍රතිකාර මධ්‍යස්ථාන ආරම්භ කිරීම පටන් ගත්තා. සමහර ප්‍රතිකාර මධ්‍යස්ථාන සූදානම් කිරීමට දින කීපයක් ද ඇතැම් ඒවා සූදානම් කිරීමට සති කීපයක් ද ගත වුවත් ඒ සියල්ල එකවර ලබා ගෙන ඒ සඳහා සූදානම් කිරීම ආරම්භ කළා. එලෙස සූදානම් කර අවසන් වන ආකාරය අනුව ඒවාට රෝගීන් ඇතුළත් කළා. ඒ ආකාරයට ක්‍රමානුකූලව ධාරිතාවය වැඩි කරගනිමින් මේ වන විට දිවයින පුරා ඇති සියලු කොවිඩ් ප්‍රතිකාර රෝහල් හා මධ්‍යස්ථානවල මුළු ධාරිතාවය 10,000 දක්වා වර්ධනය කර ගන්න පුළුවන් වෙලා තියනවා.” මාධ්‍යවල පූනානි ප්‍රතිකාර මධ්‍යස්ථානය පිළිබඳ පළ වූ සංඛ්‍යා දත්ත වැරදි වීම සම්බන්ධයෙන් විමසූ විට ඔහු ප්‍රකාශ කළේ විවිධ ස්ථානවල එවැනි විවිධ ප්‍රවෘත්ති පළ වුවත් ඒවා සම්බන්ධයෙන් කටයුතු කිරීමට වඩා සෞඛ්‍ය අංශයේ කටයුතු සම්බන්ධයෙන් පියවර ගනිමින් සිටින බවය.

කෙසේ වෙතත් ප්‍රධාන ධාරාවේ මාධ්‍යවල මෙන්ම සමාජ මාධ්‍යවල හුවමාරු වන ව්‍යාජ පුවත් සම්බන්ධයෙන් සැලකිල්ලක් දක්වන ආරක්ෂක අංශ හා රාජ්‍ය ආයතන මෙම පූනානි ප්‍රතිකාර මධ්‍යස්ථානය සම්න්ධයෙන් හුවමාරු වූ ව්‍යාජ දත්ත හා අන්තර්ගතයන් සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වීමට කටයුතු කර තිබුණේ නැත. ඉහත සියලු කරුණු පිරික්සීම් අනුව තහවුරු වූයේ පූනානි පෞද්ගලික විශ්වවිද්‍යාලයේ කොවිඩ්-19 රෝගීන් සඳහා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ආරම්භ කර ඇතත් එහි ඡායාරූප ලෙස දක්වමින් සමාජ මාධ්‍යවල හුවමාරු වූ ඡායාරූපය ව්‍යාජ වන අතර එහි ධාරිතාවය සම්බන්ධයෙන් මාධ්‍ය මගින් වාර්තා කර තිබූ සංඛ්‍යා දත්ත ද නිවැරදි නොවන බවය. මෙම වසරේ ඔක්තෝබර් මාසය වන විට කොවිඩ් ආසාදිතයන් සඳහා වූ රෝහල් සහ මධ්‍යස්ථානවල වූ ඇඳන් සංඛ්‍යා ඉක්ම යෑමේ අවදානමක තිබිය දී සහ ඊට මාධ්‍ය අවදානය ද දැඩි ලෙස යොමු වෙද්දී පූනානි ප්‍රතිකාර මධ්‍යස්ථානය ආරම්භ කිරීමට වැඩි අවදානයක් යොමු කර ගැනීම මෙම ව්‍යාජ පුවත් ප්‍රචාරය ඇති කිරීමට හේතු වී ඇතැයි මෙම කරුණු අනුව අනාවරණය වන්නේය.

All digital tools for verifying information
Google Search/ Bing Image Match / Yandex Search / TinEye Search

Hot this week

From Sri Lanka to Gaza’s waters: Sameera’s chilling account of detention, defiance and hope

After days in detention and treating injured activists with...

Sri Lanka faces rising inflation and economic strain as rupee weakens against USD

Speed Read: Rupee slides past Rs. 350 as Sri Lanka...

Displaced Asian cybercrime operatives find a new operational home in Sri Lanka

Speed Read In coordinated cybercrime raids conducted within 24 hours,...

Sri Lanka Airbus probe shaken by ex-CEO’s death

Speed Read Ex-CEO of SriLankan Kapila Chandrasena found dead under...

Sri Lanka’s Treasury heist exposes gaps in debt management system and 24/7 security shield

Speed Read: A debt payment to Export Finance Australia was...

Topics

Sri Lanka faces rising inflation and economic strain as rupee weakens against USD

Speed Read: Rupee slides past Rs. 350 as Sri Lanka...

Displaced Asian cybercrime operatives find a new operational home in Sri Lanka

Speed Read In coordinated cybercrime raids conducted within 24 hours,...

Sri Lanka Airbus probe shaken by ex-CEO’s death

Speed Read Ex-CEO of SriLankan Kapila Chandrasena found dead under...

Sri Lanka hit by fuel storage capacity, not supply

Speed read Sri Lanka’s fuel system is constrained by limited...

Sri Lanka’s air quality crisis: where data gaps meet drifting pollution

Speed read In Sri Lanka, air quality consistently deteriorates between...

Related Articles

Popular Categories