ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය ගැන රෝ ඔත්තු සේවයේ සමීක්ෂණය පිළිබඳ අශෝක අබේසිංහගේ ප්‍රකාශය මහජනතාව නොමඟ යවයි.

ශ්‍රී ලංකාවේ ඉදිරි ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කරන බවට ඉන්දියාවේ රෝ ඔත්තු සේවය මගින් සිදුකළ සමීක්ෂණයකින් හෙළි වී ඇති බව අශෝක අබේසිංහ මහතා ප්‍රකාශ කර ඇත. එම ප්‍රකාශය ඇතුළත් සටහන් මහජනතාව නොමඟ යවනු ලබයි.

ශ්‍රී ලංකාවේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය පාදක කර ගනිමින් විවිධ ආකාරයේ කතාබහ විටින් විට සමාජය තුළ ගොඩනැගෙයි. එකී කතා බහ තුළ ජාතික හා ජාත්‍යන්තර මට්ටමින් සිදු කරනු ලබන සමීක්ෂණ, විවිධ ඇගයීම් ආදිය ඉස්මතු කර ගෙන එනු ලබයි. මෙලෙස ගෙන එන  සමීක්ෂණ සහ ඇගයීම්වලින් සැලකිය යුතු කොටසක් ගොතන ලද සහ අසත්‍ය තොරතුරුවලින් සමන්විතය. මැතිවරණ කාලවකවානුවක එවැනි තොරතුරු සංසරණය වීම,  මැතිවරණ ක්‍රියාවලිය තුළ ව්‍යාකූලත්වයක් ගොඩනැගීමට ද  හේතු විය හැකිය. 

ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳව ඉන්දියාවේ රෝ (RAW) ඔත්තු සේවය මගින් සිදුකළ සමීක්ෂණයක් සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ සිදු කළ ප්‍රකාශයක් මුල් කරගනිමින් පසුගිය දා සමාජ මාධ්‍ය සටහන් කිහිපයක් සංසරණය විය. 

“රෝ ඔත්තු සේවයේ සමීක්ෂණය ආවා. සජිත් මීලඟ ජනාධිපති. ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සිදුකර ඇති සියලුම සමීක්ෂණ වාර්තා වලින් මේ වන විට සජිත් ප්‍රේමදාස මහතා ඉදිරියෙන් බව එම පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා සඳහන් කරයි. ඉන්දියාවේ රෝ ඔත්තු සේවය විසින්ද සිදු කරන ලද සමීක්ෂණ අනුව සජිත් ප්‍රේමදාස මහතා ඉදිරියෙන් සිටින බව දැනුම් දී ඇති බවත් හෙතෙම කියා සිටියේය. එම සමීක්ෂණය අනුව අනුර කුමාර දිසානායක මහතා දෙවන ස්ථානයේ පසුවන බවත් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තුන්වන ස්ථානයේ පසුවන බවත් පැවසූ ඔහු එනිසා ජනාධිපතිවරණය කල් දමා ගැනීම සඳහා විවිධ උපරවැටී යොදමින් සිටින බවද තවදුරටත් පැවසීය,” යනුවෙන් Upul Devapriya නම් පෞද්ගලික ෆේස්බුක් ගිණුම තුළ මෙම පුවත සටහන් වී තිබුණි. 

ඊට අමතරව A5 News Sri Lanka ෆේස්බුක් පුවත් පිටුව තුළ ද මෙම පුවත වාර්තා කර තිබුණේ “ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සිදුකර ඇති සියලුම සමීක්ෂණ වාර්තා වලින් මේ වන විට සජබනායක සජිත් ප්‍රේමදාස ඉදිරියෙන් බව එම පක්ෂය පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ පවසනවා. ඔහු කියා ඇත්තේ ඉන්දියාවේ රෝ ඔත්තු සේවය විසින්ද සිදු කරන ලද සමීක්ෂණ අනුව සජිත් ප්‍රේමදාස මහතා ඉදිරියෙන් සිටින බව දැනුම් දී ඇති බවයි. එම සමීක්ෂණය අනුව අනුර කුමාර දිසානායක මහතා දෙවන ස්ථානයේ පසුවන බවත් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තුන්වන ස්ථානයේ පසුවන බවත් පැවසූ ඔහු ඒ නිසා ජනාධිපතිවරයා ජනාධිපතිවරණය කල් දමා ගැනීම සඳහා විවිධ උප්පරවැට්ටි යොදමින් සිටින බව ඔහු සඳහන් කරනවා,” යනුවෙනි. 

තවද “පාදඩ දේශපාලනයට එරෙහි සංසඳය” නම් ෆේස්බුක් පිටුව තුළ ද “සජිත් ඉස්සරහින්ම ඉන්නවා ඒක රෝ ඔත්තු සේවය කිව්වා” යන ප්‍රකාශය ඇතුළත් සටහනක් දක්වා තිබුණි. එමෙන් ම Lanka C News පුවත් වෙබ් පිටුව තුළ ද “ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සිදුකර ඇති සියලුම සමීක්ෂණ වාර්තාවලින් මේ වන විට සජිත් ප්‍රේමදාස මහතා ඉදිරියෙන් බව එම පක්ෂය ගම්පහ දිස්ත්‍රික් දිස්ත්‍රික් පාර්ලිමේන්තු  මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා සඳහන් කරයි” යනුවෙන් එම පුවත දක්වා තිබුණි.

මේ ආකාරයේ ප්‍රකාශයක් අශෝක අබේසිංහ විසින් සිදු කර තිබේ ද යන්න පැහැදිලි කර ගැනීමටත්, විශේෂයෙන් ම රෝ ඔත්තු සේවය වැනි රහස් ඔත්තු සේවයක් විසින් සිදු කළ සමීක්ෂණයක් යැයි සඳහන් කිරීමත් නිසා මේ පිළිබඳව වැඩිදුර තොරතුරු විමසා බැලීමට අපි තීරණය කළෙමු.

ඒ අනුව පළමුවෙන් ම අශෝක අබේසිංහ විසින් මෙවැනි ප්‍රකාශයක් සිදු කර තිබේද යන්න විමසා බැලිණි. එහිදී අශෝක අබේසිංහ විසින් මාධ්‍ය වෙත එවැනි ප්‍රකාශයක් සිදු කරනු ලබන වීඩියෝව අපට හමුවිය. අශෝක අබේසිංහ විසින් සිදු කරන ප්‍රකාශය තුළ හිරු පුවත් විකාශය වී තිබූ අතර SJB News නම් ෆේස්බුක් පිටුවේද පළ කර තිබුණි.

“ජනාධිපතිවරණයට අනිවාර්යයෙන්ම සජිත් ප්‍රේමදාස මැතිතුමා තරඟ කරනවා. මේ වන විට සියලුම සමීක්ෂණ වාර්තා අනුව ඉදිරියෙන් සිටින්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමා. මං හිතන්නේ ඉන්දියාවේ රෝ ඔත්තු සේවය කරපු සමීක්ෂණ වලිනුත් කියලා තියෙනවා සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරියෙන් ඉන්නවා කියලා. වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉන්නේ තුන්වන ස්ථානයේ. ඒ නිසා තමයි එතුමා නොයෙක් උප්පරවැට්ටි යොදන්නේ මේ මැතිවරණය කල් දාන්න…,” යනුවෙන් අශෝක අබේසිංහ මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණි.

ඒ අනුව සමාජ මාධ්‍ය සටහන් ඔස්සේ පළ වී තිබූ ආකාරයට අශෝක අබේසිංහ, ශ්‍රී ලංකාවේ ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් රෝ ඔත්තු සේවය විසින් සිදු කළ සමීක්ෂණයක් පිළිබඳව ප්‍රකාශ කර ඇති බව පැහැදිලි විය.

තවද මෙම රෝ ඔත්තු සේවය ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය පිළිබඳව සිදු කළ සමීක්ෂණය සම්බන්ධව වැඩිදුර තොරතුරු දැනගැනීමට සමාජ මාධ්‍ය තුළ සංසරණය වූ සටහන් Google Reverse Image වෙත යොමු කර බැලිණි. එහිදී RAW ඔත්තු සේවයේ ලාංඡනය සහිත ඡායාරූප සඳහා RAW ඔතුත් සේවයේ තොරතුරු ද, ඇතැම් සටහන් මඟින් අශෝක අබේසිංහගේ ෆේස්බුක් පිටුවේ තොරතුරු වෙත ද අපව යොමු විය. කෙසේ නමුත් ඒ කිසිවකින් ශ්‍රී ලංකාවේ ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් රෝ ඔත්තු සේවය සිදු කළ සමීක්ෂණයක් පිළිබඳ තොරතුරක් අප වෙත නොලැබුණි. 

ඉන්පසු අන්තර්ජාලය හරහා key word search මඟින් තොරතුරු සොයා ගැනීමට තීරණය කළේය. මෙම තොරුතුරට අදාළ මූලික වචන යොදා අන්තර්ජාලය හරහා පිරික්සා බැලූ අතර එහිදී රෝ ඔත්තු සේවය සිදු කළ  සමීක්ෂණය සම්බන්ධයෙන් lanka C news වෙබ් පුවත් පිටුවේ පළ වූ පුවත නැවත වරක් අපට හමුවිය. 

කෙසේ වෙතත් රෝ ඔත්තු සේවය වැනි අන්තර්ජාතික මට්ටමේ රහස් ඔත්තු සේවා ආයතනයක් සාමාන්‍යයෙන් මෙවැනි සමීක්ෂණ ප්‍රසිද්ධියේ පැවැත්වීම හෝ සමීක්ෂණ ප්‍රතිඵල ප්‍රසිද්ධියේ නිකුත් නොකරන බව සඳහන් කිරීම අත්‍යවශ්‍ය වේ. තවද මෙම ආයතනය රහස් ඔත්තු සේවා ආයතනයක් බැවින් ඔවුන්ට අදාළව නිල වෙබ් පිටුවක් දැක ගත නොහැක.

RAW ඔත්තු සේවය නැතිනම් Research and Analysis Wing යනු ඉන්දියාවේ විදේශ රහස් ඔත්තු සේවා ආයතනයකි. බුද්ධි තොරතුරු රැස් කිරීම, ත්‍රස්තවාදයට එරෙහි වීම, ඉන්දියානු ප්‍රතිපත්ති සම්පාදකයින්ට උපදෙස් දීම සහ ඉන්දියාවේ විදේශ උපායමාර්ගික අවශ්‍යතා ඉදිරියට ගෙන යාම මෙම ආයතනයේ මූලික කාර්යයන් වේ. ඊට අමතරව වර්තමානය වන විට RAW ඔත්තු සේවයේ අරමුණ අතර ඉන්දියාවේ ජාතික ආරක්ෂාවට සහ එහි විදේශ ප්‍රතිපත්ති සැකසීමට ඍජුව බලපාන රටවල දේශපාලන, හමුදා, ආර්ථික සහ විද්‍යාත්මක වර්ධනයන් නිරීක්ෂණය කිරීම, ජාත්‍යන්තර මහජන මතය සකස් කිරීම සහ විදේශ ආණ්ඩුවට බලපෑම් කිරීම හා ඉන්දියාවේ ජාතික අවශ්‍යතා ආරක්ෂා කිරීම සඳහා රහසිගත මෙහෙයුම් සිදු කිරීම ආදිය ඇතුළත් වේ. කෙසේ නමුත් RAW ඔත්තු සේවය ශ්‍රී ලංකාවේ ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සිදුකළ සමීක්ෂණයක තොරතුරු නිල භාවයකින් තොරව ඉදිරිපත් නොකරන බවත් ඔවුන් ප්‍රසිද්ධියේ මෙවැනි සමීක්ෂණ සිදු නොකරන බවත් ඔවුන්ගේ ක්‍රියාවලිය සම්බන්ධ තොරතුරු විමසීමේදී අපට පැහැදිලි විය. 

තවද මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා අපි ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ පුවත්පත්, තොරතුරු සහ සංස්කෘතික කටයතු අංශයේ ප්‍රධානී නව්යා සින්ග්ලා මහත්මියගෙන් විමසීමක් කළෙමු. ඔවුන් මෙවැනි සමීක්ෂණයක් සම්බන්ධයෙන් හෝ මෙවැනි ප්‍රතිඵලයක් සම්බන්ධයෙන් දැනුවත් නොමැති බව අප කළ විමසීමේදී නව්යා සින්ග්ලා මහත්මිය තහවුරු කළේය.

ඒ අනුව ශ්‍රී ලංකාවේ ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් රෝ ඔත්තු සේවය සිදුකළ සමීක්ෂණයක් පිළිබඳව අශෝක අබේසිංහ සිදු කළ ප්‍රකාශය මහජනතාව නොමඟ යවන බව නිගමනය කළ හැකිය. මැතිවරණයක් ආසන්න වන විට මෙවැනි ප්‍රකාශ, සිදුවීම් බහුලව සිදුවිය හැකි නිසා විචාරාත්මකව තොරතුරු විමසා බලන ලෙස අපි මහජනතාවගෙන් ඉල්ලීමක් කරන්නෙමු.

Bullet Point : 

  • රෝ ඔත්තු සේවය ප්‍රසිද්ධියේ සමීක්ෂණ සිදු නොකරන සහ ප්‍රසිද්ධියේ සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් නොකරන ආයතනයකි.
  • රෝ ඔත්තු සේවය මෑතකදී සිදු කළා යැයි සඳහන් සමීක්ෂණය සම්බන්ධයෙන් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය දැනුවත් නොවීම.
  • ශ්‍රී ලංකාවේ ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් රෝ ඔත්තු සේවය සිදු කළ සමීක්ෂණයක් පිළිබඳව අශෝක අබේසිංහ සිදු කළා යැයි සඳහන් සමාජ මාධ්‍ය සටහන් මහජනතාව නොමඟ යවයි.

Hot this week

Sri Lankan worker Anojan’s death sentence overturned, but release from Saudi detention remains uncertain

Speed Read Saudi Arabia’s Supreme Court set aside the death...

In some part of Sri Lanka, Malaiyaha Tamil children fight for equal access to education

Speed Read A grade 4 student’s mastery of the periodic...

Why Buddhist monks may have to wear lay clothes in court?

COLOMBO— Controversial Sri Lankan Buddhist monk and Bodu Bala...

DBS Jeyaraj, the journalist who explained one Sri Lanka to another

Speed Read Jeyaraj reported on Sri Lankan politics and the...

Why so many of Dhaka’s children remain on the streets

Hunger and violence push children from home. Drugs, criminal...

Topics

In some part of Sri Lanka, Malaiyaha Tamil children fight for equal access to education

Speed Read A grade 4 student’s mastery of the periodic...

Why Buddhist monks may have to wear lay clothes in court?

COLOMBO— Controversial Sri Lankan Buddhist monk and Bodu Bala...

DBS Jeyaraj, the journalist who explained one Sri Lanka to another

Speed Read Jeyaraj reported on Sri Lankan politics and the...

Why so many of Dhaka’s children remain on the streets

Hunger and violence push children from home. Drugs, criminal...

The Diplomat, the Chameleon, the Bloodhound: Understanding Newsroom Personalities

Investigative journalists are a bit peculiar. Many of us...

Dilrukshi Handunnetti Delivers Presidential Address at MICC 2026

CIR Co-founder Dilrukshi Handunnetti delivered the Presidential Address at...

Shifting sands, sinking communities 

Beneath the Sands, published in 2023, is a collaborative...

Related Articles

Popular Categories