කෘතිම බුද්ධිය සහ ජනමාධ්‍ය පිළිබඳ පැරිස් ප්‍රඥප්තිය

2023 නොවැම්බර් 10, පැරිස්

පූර්විකාව

අපි, මාධ්‍ය සහ පුවත්පත් ප්‍රජාවේ නියෝජිතයන් ලෙස, මානව වර්ගයා සඳහා කෘතිම බුද්ධියේ (AI) පරිවර්තනීය ඇඟවුම් පිළිගනිමු. මානව හිමිකම්, සාමය සහ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමටත් අපගේ පොදු අභිලාෂයන් සහ සාරධර්ම සමඟ පෙළ ගැසීමටත් කෘතිම බුද්ධිය භාවිතා කරන බවට සහතික කරනු පිණිස අපි ගෝලීය සහයෝගීතාවය ජය ගැනීමට කටයුතු කරන්නෙමු.

ප්‍රවෘත්ති සහ තොරතුරු ඉතිහාසය තාක්ෂණික ප්‍රගතිය සමඟ බද්ධ වී ඇත. මූලික ස්වයංක්‍රීයකරණයේ සිට විශ්ලේෂණාත්මක සහ නිර්මාණාත්මක පද්ධති දක්වා විහිදෙන කෘතිම බුද්ධිය මානව චින්තනය, දැනුම සහ නිර්මාණශීලිත්වය සමඟ සංයුග්ම වීමට අසමසම හැකියාවක් සහිත නව තාක්ෂණික කාණ්ඩයක් හඳුන්වා දෙයි. එය තොරතුරු රැස් කිරීම, සත්‍ය සෙවීම, වාර්තාකරණය සහ අදහස් ව්‍යාප්තිය ආදියෙහි සැලකිය යුතු විතැන් වීමක් නියෝජනය කරයි. එබැවින්ම, එය ජනමාධ්‍යයේ සහ කතෘ අභ්‍යාසයන්ගේ තාක්ෂණික, ආර්ථික සහ සමාජීය තත්ත්වයන් ගැඹුරු වෙනසකට භාජනය කරනු ඇත. කෘතිම බුද්ධි පද්ධතිවල සැලසුම, පාලනය සහ භාවිතය මත පදනම්ව ගෝලීය තොරතුරු සන්ධර්භයේ විප්ලවීය වෙනසක් කිරීමට ඊට හැකියාව ඇත. කෙසේ වෙතත්, එම හැකියාවන්ම තොරතුරු දැනගැනීමේ අයිතියට ව්‍යුහාත්මක අභියෝගයක් ද ඉදිරිපත් කරයි. තොරතුරු දැනගැනීමේ අයිතිය සමන්විත වන්නේ විශ්වසනීය තොරතුරු සෙවීමට, ලැබීමට සහ ප්‍රවේශ වීමට ඇති නිදහසෙනි. එය මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය, සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය සහ තොරතුරු සහ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන ජාත්‍යන්තර හවුල්කාරිත්වය ඇතුළු අන්තර්ජාතික නීති රාමුව තුළ මුල් බැස ඇත. මෙම අයිතිය මතයක් දැරීමේ සහ ප්‍රකාශනයේ මූලික නිදහස සඳහා අනුබලය සපයයි.

ජනමාධ්‍ය කලාවේ සහ මාධ්‍ය ආයතනවල සමාජ භූමිකාව – සමාජයට සහ පුද්ගලයන්ට විශ්වාසවන්ත අතරමැදියන් ලෙස සේවය කිරීම – ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රධාන ප්‍රතිෂ්ඨාවක් වන අතර සැමට තොරතුරු දැනගැනීමේ අයිතිය වැඩි දියුණු කරයි. මාධ්‍ය ආයතනවලට මෙම කාර්යභාරය ඉටු කිරීම සඳහා බෙහෙවින් උපකාර කිරීමට කෘතිම බුද්ධියට හැකි නමුත් ඒ ඒවා විනිවිදභාවයෙන්, සාධාරණව සහ වගකීමෙන් යුතුව මාධ්‍ය ආචාර ධර්ම දැඩි ලෙස තහවුරු කරන කතෘත්ව පරිසරයක් තුළ භාවිත කරන්නේ නම් පමණි.

මෙම මූලධර්ම තහවුරු කිරීමේදී, අපි කෘතිම බුද්ධිය යුගයක් තුළ තොරතුරු දැනගැනීමේ අයිතිය, ස්වාධීන ජනමාධ්‍ය විශිෂ්ටත්වය, විශ්වාසදායක පුවත් සහ මාධ්‍ය ආයතන සඳහා කැපවී සිටිමු.

1. මාධ්‍ය ආයතන සහ මාධ්‍යවේදීන් තාක්ෂණය භාවිතා කරන ආකාරය සඳහා මාධ්‍ය ආචාර ධර්ම මග පෙන්වයි.

ගුණාත්මක, විශ්වාසදායක තොරතුරු සඳහා සෑම පුද්ගලයෙකුටම ඇති අයිතිය සහතික කරමින් මාධ්‍ය ආයතන සහ මාධ්‍යවේදීන් ඔවුන්ගේ මූලික මෙහෙවර ඉටු කිරීමේදී සිය ධාරිතාව ඉහල නංවන තාක්ෂණයන් භාවිතා කරයි. මෙම ඉලක්කය හඹා යාම සහ සාක්ෂාත් කර ගැනීම තාක්ෂණික මෙවලම් සම්බන්ධයෙන් ඔවුන්ගේ තේරීම් මෙහෙයවිය යුතුය. ජනමාධ්‍ය සඳහා කෘතිම බුද්ධි පද්ධති භාවිතය සහ සංවර්ධනය සත්‍යවාදී බව සහ නිරවද්‍යතාවය, සාධාරණත්වය, අපක්ෂපාතීත්වය, ස්වාධීනත්වය, අගතිගාමී නොවීම, වෙනස්කොට නොසැලකීම, වගවීම, පෞද්ගලිකත්වයට ගරු කිරීම සහ මූලාශ්‍රවල රහස්‍යභාවය ඇතුළු මාධ්‍ය ආචාර ධර්මවල මූලික වටිනාකම් ආරක්ෂා කළ යුතුය.

2. මාධ්‍ය ආයතන මානව ශක්තියට ප්‍රමුඛත්වය දෙයි.

දිගුකාලීන උපාය මාර්ග සහ දෛනික කතෘත්ව තේරීම් යන ද්විත්වයේදීම මානව තීරණ කේන්ද්‍ර විය යුතුය. කෘතිම බුද්ධි පද්ධති භාවිතය මිනිසුන් විසින් හිතාමතා සහ දැනුවත්ව ගත් තීරණයක් විය යුතුය. කතෘ මණ්ඩල සාමාජිකයන් විසින් එක් එක් කෘතිම බුද්ධි පද්ධති සඳහා ඉලක්ක, විෂය පථය සහ භාවිතයේ කොන්දේසි පැහැදිලිව නිර්වචනය කළ යුතුය. භාවිතයට ගන්නා කෘතිම බුද්ධි පද්ධති වල බලපෑම් අඛණ්ඩව අධීක්ෂණය කිරීම, ඒවායේ භාවිත රාමුව සමඟ දැඩි ලෙස අනුකූල වීම සහ ඕනෑම අවස්ථාවක ඒවා අක්‍රිය කිරීමේ හැකියාව රඳවා තබා ගැනීම ඔවුන් විසින් සහතික කළ යුතුය.

3. ජනමාධ්‍ය සඳහා භාවිතා කරන කෘතිම බුද්ධි පද්ධති පූර්ව ස්වාධීන ඇගයීමකට ලක් කරනු ලැබේ.

මාධ්‍ය සහ මාධ්‍යවේදීන් විසින් භාවිතා කරන කෘතිම බුද්ධි පද්ධති ජනමාධ්‍ය ආධාරක කණ්ඩායම් වල ද සහභාගීත්වයෙන් ස්වාධීන, විස්තීර්ණ සහ පුර්ණ ඇගයීමකට ලක් විය යුතුය. මෙම ඇගයීම් මාධ්‍ය ආචාර ධර්ම වල මූලික වටිනාකම්වලට අනුගත වීම ප්‍රබල ලෙස පෙන්නුම් කළ යුතුය. මෙම පද්ධති පෞද්ගලිකත්වයට, බුද්ධිමය දේපළ සහ දත්ත ආරක්ෂණ නීති වලට අනුගත විය යුතුය. මෙම අවශ්‍යතා සපුරාලීමට අසමත් වීම වලක්වා ගැනීම සඳහා පැහැදිලි වගවීමේ රාමුවක් ස්ථාපිත කළ යුතුය. පුරෝකථනය කළ හැකි පරිදි ක්‍රියාත්මක වන සහ සරලව පැහැදිලි කළ හැකි පද්ධති වඩාත් යෝග්‍ය වේ.

4. මාධ්‍ය ආයතන ඔවුන් ප්‍රකාශනය කරන අන්තර්ගතය සඳහා සැමවිටම වගකියනු ලැබේ.

තොරතුරු රැස් කිරීම, සැකසීම හෝ බෙදා හැරීම සඳහා කෘතිම බුද්ධිය භාවිතය ඇතුළුව කතෘත්වය පිළිබඳව වගකීම අදාල මාධ්‍ය ආයතන විසින් දරනු ලැබේ. ඔවුන් ප්‍රකාශයට පත් කරන සෑම අන්තර්ගතයක් සඳහාම ඔවුන් වගකීම සහ වගවිම දැරිය යුතුය. කෘතිම බුද්ධි පද්ධති භාවිතය හා බැඳී ඇති වගකීම් අපේක්ෂා කිරීම, ආකෘති ගත කිරීම සහ මාධ්‍ය ආචාර ධර්ම සහ කතෘත්ව මාර්ගෝපදේශ පිළිපැදීම සහතික කිරීම සඳහා මානවයන්ට පැවරීම කළ යුතුය.

5. මාධ්‍ය ආයතන ඔවුන්ගේ කෘතිම බුද්ධි පද්ධති භාවිතයේ විනිවිදභාවයක් පවත්වා ගනී.

මාධ්‍ය අන්තර්ගත නිෂ්පාදනයට හෝ බෙදා හැරීමට සැලකිය යුතු බලපෑමක් ඇති කරන ඕනෑම කෘතිම බුද්ධි භාවිතයක් එම තොරතුරු ලබන සෑම කෙනෙකුටම අදාළ අන්තර්ගතය සමග පැහැදිලිව අනාවරණය කළ යුතුය. මාධ්‍ය ආයතන ඔවුන් භාවිතා කරන සහ භාවිතා කර ඇති කෘතිම බුද්ධි පද්ධති පිළිබඳව ඒවායේ අරමුණු, විෂය පථයන් සහ භාවිතයේ කොන්දේසි ඇතුලත් පොදු වාර්තාවක් පවත්වා ගත යුතුය.

6. මාධ්‍ය ආයතන විසින් අන්තර්ගතයේ ප්‍රභවය සහ අනාවරණය කර ගැනීමේ හැකියාව සහතික කරයි.

මාධ්‍ය ආයතන, හැකි සෑම විටම, ප්‍රකාශිත අන්තර්ගතයේ සත්‍යතාව සහ ප්‍රභවය සහතික කෙරන පරිදි එහි සම්භවය සහ පසුකාලීනව සිදුවූ වෙනස්කම් පිළිබඳ විස්තර ලබා දිය හැකි නවීන මෙවලම් භාවිතා කළ යුතුය. සත්‍යතා ප්‍රමිතීන්ට නොගැලපෙන ඕනෑම අන්තර්ගතයක් නොමඟ යවන සුළු අන්තර්ගතයක් ලෙස සැලකිය යුතු අතර පූර්ණ සත්‍යාපනයකට ලක් විය යුතුය.

7. ජනමාධ්‍ය විසින් තථ්‍ය සහ සංස්ලේෂිත අන්තර්ගතයන් අතර පැහැදිලි රේඛාවක් සටහන් කරයි.

සැබෑ ලෝකයෙන් ලබාගත් ඉන්ද්‍රිය ගෝචර අන්තර්ගතයන් (ඡායාරූප, සහ ශ්‍රව්‍ය සහ දෘශ්‍ය පටිගත කිරීම් වැනි) සහ කෘතිම බුද්ධි පද්ධති භාවිතයෙන් නිර්මාණය කරන ලද හෝ සැලකිය යුතු ලෙස වෙනස් කරන ලද අන්තර්ගතයන් අතර පැහැදිලි සහ විශ්වාසනීය වෙනසක් සහතික කිරීමට මාධ්‍යවේදීන් සහ මාධ්‍ය ආයතන විශාල වෙහෙසක් දරනු ලැබේ. සැබෑ සිදුවීම් නිරූපණය කිරීම සඳහා සත්‍ය දර්ශන සහ පටිගත කිරීම් භාවිතා කිරීමට ඔවුන් උනන්දු විය යුතුය. කෘතිම බුද්ධි තාක්‍ෂණය භාවිතයේදී ජනතාව නොමග යැවීමෙන් වැළකී සිටීමට මාධ්‍ය කටයුතු කළ යුතුය. විශේෂයෙන්ම, ඔවුන් සැබෑ ලෝකයේ සිදුවීම් අනුකරණය කරන හෝ සැබෑ පුද්ගලයන් තාත්වික ලෙස නිරූපනය කෙරෙන කෘතිම බුද්ධි උත්පාදිත අන්තර්ගතයන් නිර්මාණය කිරීමෙන් හෝ භාවිත කිරීමෙන් වැළකී සිටිය යුතුය.

8. කෘතිම බුද්ධි ප්‍රේරිත අන්තර්ගත පුද්ගලායනය සහ නිර්දේශය මගින් තොරතුරු විවිධත්වය සහ ඒකාග්‍රතාව තහවුරු කරයි.

මාධ්‍ය ආයතන වල ස්වයංක්‍රීය අන්තර්ගත පුද්ගලායනය සහ නිර්දේශ සඳහා කෘතිම බුද්ධි පද්ධති සැලසුම් කිරීම සහ භාවිතය මාධ්‍ය ආචාර ධර්ම මගින් නියාමනය විය යුතුය. එවැනි පද්ධති තොරතුරු ඒකාග්‍රතාවට අනුකූල විය යුතු අතර අදාළ කරුණු සහ දෘෂ්ටිකෝණ පිළිබඳ අවබෝධාත්මක එකඟතාවක් ප්‍රවර්ධනය කළ යුතුය. ඔවුන් විවෘත මනසක් සහ ප්‍රජාතන්ත්‍රවාදී සංවාදයක් පෝෂණය කරමින් විවිධ මාතෘකා පිළිබඳ විවිධ සහ සියුම් සන්දර්භයන් ඉස්මතු කළ යුතුය. එවැනි පද්ධති භාවිතය විනිවිද භාවයෙන් යුතු විය යුතු අතර, අන්තර්ගතය වෙත තෝරා බේරා ගැනීමකින් තොර ප්‍රවේශය සහතික කිරීම සඳහා පරිශීලකයින්ට හැකි සෑම විටම ඒවා අක්‍රිය කිරීමට අවස්ථාව ලබා දිය යුතුය.

9. මාධ්‍යවේදීන්, මාධ්‍ය ආයතන සහ මාධ්‍ය සහායක කණ්ඩායම් කෘතිම බුද්ධිය භාවිතය පාලනයේ නිරත වේ.

තොරතුරු දැනගැනීමේ අයිතියේ අත්‍යවශ්‍ය භාරකරුවන් ලෙස, මාධ්‍යවේදීන්, මාධ්‍ය ආයතන සහ මාධ්‍ය සහායක කණ්ඩායම් කෘතිම බුද්ධි පද්ධති පාලනයේදී ක්‍රියාකාරී භූමිකාවක් ඉටු කළ යුතුය. කෘතිම බුද්ධි පාලනය සහ නියාමනය පිළිබඳ ඕනෑම ගෝලීය හෝ ජාත්‍යන්තර ආයතනික අධීක්ෂණයකට ඒවා ඇතුළත් කළ යුතුය. කෘතිම බුද්ධි පද්ධති පාලනය ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම්වලට ගරු කරන බවටත්, මානවයාගේ සහ සංස්කෘතීන්ගේ විවිධත්වය කෘතිම බුද්ධි සංවර්ධනය තුළ පිළිබිඹු වන බවටත් ඔවුන් සහතික විය යුතුය. ඔවුන් කෘතිම බුද්ධි ක්ෂේත්‍රය පිළිබඳ දැනුමේ ඉදිරියෙන්ම සිටිය යුතුය. නිවැරදිව, සියුම්ව සහ තීක්ෂණ මනසකින් යුක්තව කෘතිම බුද්ධි භාවිතයේ බලපෑම් පරීක්ෂා කිරීමට සහ වාර්තා කිරීමට ඔවුහු කැපවී සිටිති.

10. කෘතිම බුද්ධිය පීළිබඳ සංවිධානයන් සමඟ සම්බන්ධ වීමේදී ජනමාධ්‍ය විසින් මාධ්‍ය ආචාර ධර්ම සහ ආර්ථික පදනම තහවුරු කරයි.

කෘතිම බුද්ධි පද්ධති මගින් මාධ්‍ය අන්තර්ගතයට ප්‍රවේශ වීම් ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ තිරසාර බව සහ මාධ්‍යවේදීන්ගේ සහ මාධ්‍ය ආයතන වල දිගුකාලීන ලැදියාවන් තහවුරු කෙරෙන පරිදි විධිමත් එකඟතාවන්ගෙන් පාලනය විය යුතුය. කෘතිම බුද්ධි පද්ධති හිමිකරුවන් විසින් මූලාශ්‍රවලට හිමි කීර්තිනාමයන්ට සහ බුද්ධිමය දේපළ අයිතිවාසිකම්වලට ගරු කළ යුතුය. තව ද, හිමිකම් හිමියන්ට සාධාරණ ගෙවීමක් සිදු කළ යුතුය. මෙම ගෙවීම් සාධාරණ වේතනයක් හරහා මාධ්‍යවේදීන්ට ලබාදිය යුතුය. කෘතිම බුද්ධි පද්ධති හිමිකරුවන් විසින් ඔවුන්ගේ පද්ධති පුහුණු කිරීම සහ පෝෂණය කිරීම සඳහා භාවිතා කරන මාධ්‍ය අන්තර්ගතය පිළිබඳ විනිවිද පෙනෙන සහ සවිස්තරාත්මක වාර්තාවක් පවත්වා ගැනීම අවශ්‍ය වේ. තොරතුරු ඒකාග්‍රතාව සහ මාධ්‍ය ආචාර ධර්ම වලට අනුකූල වෙමින් හිමිකම්ධාරීන් විසින් ඔවුන්ගේ අන්තර්ගතය නැවත සකස් කිරීම කළ යුතුය. කෘතිම බුද්ධි පද්ධති උසස් තත්ත්වයේ, බහුත්වවාදී සහ විශ්වාසදායක තොරතුරු සහතික කරන ආකාරයෙන් නිර්මාණය සහ භාවිතා කිරීමේ ඇති අවශ්‍යතාව එක්ව අවධාරණය කළ යුතුය.

Hot this week

The Diplomat, the Chameleon, the Bloodhound: Understanding Newsroom Personalities

Investigative journalists are a bit peculiar. Many of us...

Dilrukshi Handunnetti Delivers Presidential Address at MICC 2026

CIR Co-founder Dilrukshi Handunnetti delivered the Presidential Address at...

Shifting sands, sinking communities 

Beneath the Sands, published in 2023, is a collaborative...

Seven years later, Easter Sunday attack verdict brings long-awaited convictions

Speed Read Ending a five-year trial, a Colombo High Court...

Sri Lanka’s campaign finance law shows higher compliance but transparency lags

Speed read Sri Lanka’s campaign finance law has produced high...

Topics

The Diplomat, the Chameleon, the Bloodhound: Understanding Newsroom Personalities

Investigative journalists are a bit peculiar. Many of us...

Dilrukshi Handunnetti Delivers Presidential Address at MICC 2026

CIR Co-founder Dilrukshi Handunnetti delivered the Presidential Address at...

Shifting sands, sinking communities 

Beneath the Sands, published in 2023, is a collaborative...

Seven years later, Easter Sunday attack verdict brings long-awaited convictions

Speed Read Ending a five-year trial, a Colombo High Court...

Sri Lanka’s campaign finance law shows higher compliance but transparency lags

Speed read Sri Lanka’s campaign finance law has produced high...

Call for Applications: 2027 Ochberg Fellowships

Ends on Wed, Oct 21, 2026 2:30 AM The GCJT...

AI women, political deepfakes and Facebook’s failure

Colombo— What began as a disturbing experiment in manufacturing...

DBS Jeyaraj, remembering a journalist who kept truth alive

David Buell Sabapathy Jeyaraj (DBS) left behind more than...

Related Articles

Popular Categories